free stats

ලෝකයේ පිළිගත් ක්‍රමවේදයට අනුව බෝවන රෝග සහ බෝ නොවන රෝග වශයෙන් දෙවර්ගයකි. මෙයින් බෝවන රෝග සැලකිය යුතු තරම් ප්‍රමාණයක් සඳහා දැනට ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබෙන නමුත් බෝ නොවන රෝග සහමුලින්ම තුරන් කිරිම සඳහා නිසි ක්‍රමවේදයක් දියත් කිරිමට වෛi විද්‍යාව සමත් වී නොමැත. මේ අනුව දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, වැනී රෝග බෝ නොවන රෝග කාණඩයට අයත් වන අතර වැරදී ආහාර රටාව මෙන්ම ව්‍යායාම අඩුකම ද බෝ නොවන රෝග වැළදීමට හේතු වේ. එසේම ගර්භණි බව නිසාද බෝ නොවන රෝග වැළදීමට ඉඩ තිබේ. එයට හේතුව වන්නේ ගර්භණි වීමත් සමඟ සිදුවන හෝර්මෝන වෙනස් වීමයි. මේ කුමන හේතුවක් නිසා බෝ නොවන රෝග වැළදුනද රෝගය සඳහා නිසි ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යය.

ගර්භණි සමයේ දී මෙම රෝග සඳහා ප්‍රතිකාර කලයුතු නමුත් දරු ගැබට හානියක් සිදු වේ යයි සිතා මව්වරුන් රෝගවලට ඖෂධ ප්‍රතිකාර නොගෙන සිටිති. නිසි වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන්නේ එබැවිනි.

විශේෂයෙන් තමා ගර්භණි බව නොදැන ඖෂධ වර්ග ගැනීම නිසා දරුවා ගේ අවයවවලට මෙන්ම අභ්‍යන්තර ඉන්ද්‍රින්ට හානි වන්නට පුලුවන. එය අංග විකලතා ඇති වීමට හේතුවකි. මේ නිසා දරුවාගේ වැඩීම බාල විය හැකි අතර සිරුරේ ක්‍රියාකාරිත්වය දුර්වල වීමටද ඉඩ ඇත. එමෙන්ම මුල් මාස තුන කලලයේ ඉන්ද්‍රිය වර්ධනය සිදුවන නිසා ඖෂධ ප්‍රතිකාර ලබාගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි.

දීර්ඝකාලීන රෝග සඳහා ප්‍රතිකාර ගන්නේ නම් ගර්භණී වීමට පෙර ඔබ භාවිතා කල ඖෂධ වෛද්‍යවරයාට පෙන්විය යුතුවේ. එම ඖෂධ තවදුරටත් භාවිත කිරිම සුදුසුද යන්න සහ සුදුසු නොවේ නම් වෙනත් ආදේශක ඖෂධ වර්ගයක් ලබාගැනීම කල හැකි දැයි වෛද්‍යවරයා උපදෙස් දෙනු ඇත. එහි දී ඖෂධයේ මාත්‍රාව, ඖෂධය ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳවද වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරගත යුතුය.

අපස්මාරය, දියවැඩියාව හෝ වෙනත් බෝ නොවන රෝගවලින් පෙළෙන කාන්තාවක් ගර්භණි වීමට පෙර වෛද්‍යවරයා උපදෙස් ලබා ගැනීම මගින් රෝග පාලනය කර ගැනීම අනිවාර්යය.

කිරි දෙන මවක් ඖෂධ ගැනීමේ දී….

මව්කිරි සමඟ ඖෂධ දරුවාගේ සිරුරට ඇතුලු වීමට ඉඩ තිබේ. එම නිසා මව්කිරි දෙන කාලයේ දී ඖෂධ භාවිතය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. හිසරදය වැනි සුලු රෝගාබාධ සඳහා ඇස්ප්‍රින් වැනි ඖෂධ වර්ග භාවිත කරයි නම් සැලකිලිමත් වීම වැදගත්ය. ඇස්ප්‍රින් මව්කිරි සමඟ දරුවාගේ ශරීරගත වීමෙන් ලේ පැල්ලම් සහ කුෂ්ඨ රෝග මතුවිය හැකියි. පීනසය සඳහා භාවිත කරන antihistamine කාණ්ඩයට අයත් ඖෂධ ලබා ගැනීම හේතුවෙන් දරුවා අධික මත් ගතියට පත්වන අතර නින්දේ රටාව වෙනස් වීමටද ඉඩ තිබේ.

එබැවින් ඖෂධ ප්‍රතිකාර ලබාගන්නා විට සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ ගැනීම මවගේ ජීවිතයට පවා හානි පැම්ණවීමට හේතුවිය හැකිය.

කායික රෝග විශේෂඥ වෛද්‍ය
චාමරී වීරරත්න


සටහන -ශ්‍රියාණි විජේසිංහ