පුංචි දරුවන්ගේ සමහර හැසිරීම් ගැන අපට එක පාරම නිගමන වලට එන්න බැහැ. වැඩිහිටියෝ වගේ එයාලට තෝරලා බේරලා තමන්ගේ හැසිරීම් සඟවන්න හෝ නිරාවරණය කරන්නේ තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමතිස්සේම දකින්නේ ඇත්ත හැඟීම්.
මේ ලිපිය ලියන්න හේතුව වෙන්නේ වෙනත් තැනක පළවුණු ප්‍රශ්නයක්. ඉතාම කලහකාරී, අනිත් අයට පහර දෙන, දඟකාරකම් කරන, නිතර වැසිකිලියට යන, නිතර අත සෝදන පුංචි පැටියෙක් ගැන යොමු කරලා තිබුණු ප්‍රශ්නයක්.
අපි මීට පෙර ලිපියකින් සඳහන් කළා වගේ මෙවැනි හැසිරීමක් බොහෝ විට OCD තත්ත්වයක් හෝ ADHD තත්ත්වයක් වෙන්න පුළුවන්.
OCD කියන්නේ Obsessive Compulsive Disorder කියන රෝග තත්වය. මෙතනදී පිරිසිදුකම ගැන අසීමිත විදිහට හිතනවා. නිතර අත සෝදනවා. එයාලා හිතන්නේ අත්වල යම් විෂබීජයක් තියෙනවා කියලා. ඒ වගේම සමහර විට නිතර නාන්න, ගෙවල් අස් කරන්න, හැමතිස්සෙම පිරිසිදුව ඉන්න මේ අය උත්සාහ කරනවා.. පිරිසිදුව ඉන්න එක හොඳ දෙයක් වුණත් ඕනෑම දෙයක් වුවමනාවට වඩා සිදු වෙනකොට ඒක තමන්ටත් අනුන්ටත් කරදරයක් වෙන තත්ත්වයට පත්වෙනවා නම් එය සාමාන්‍ය මානසික තත්ත්වයක් නෙවෙයි.
ඒ වගේම ADHD එහෙමත් නැත්නම් Attention Deficit Hyperactivity Disorder කියන්නේ දරුවන් අතර බහුල තත්ත්වයක්. මේ දරුවන් කලබලකාරී යි. ඒ වගේම කිසිම දෙයක් ගැන එක දිගට අවධානය දෙන්න මේ දරුවන්ට බෑ. ඒ විතරක් නෙවෙයි එයාලා කලහකාරී විදියට හැසිරෙනවා.
තවත් කිවයුතු ප්‍රදාන දෙයක් තියෙනවා. ඒ තමයි ඉහත කාරණා දෙකටම පරිබාහිරව දරුවෙක් තුළ මේ හැසිරීම් තියෙනවා නම් එයා ගෙදර දී යම් පීඩනයකට හසු වෙනවා වෙන්න පුළුවන්. එක්කෝ එයාගේ පවුලේ කෙනෙක් අතින්, යාලුවෙක් අතින්, සහෝදරයෙක් අතින්, අම්මා තාත්තා සීයා අච්චි හෝ කවුරුහරි කෙනෙක් අතින් පීඩනයට ලක් වෙනවා වෙන්න පුළුවන්.
ඒ නිසා දරුවෙක් මේ විදියේ හැසිරීමක් පෙන්වනවා නම් හොදම දේ තමයි වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම. එතනදි වෛද්‍යවරයා නිසි නිගමනයට එළැඹෙනවා. ඒ මගින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන තත්ත්වය සමනය කරගන්න පුළුවන්…
ඔබෙන් ඉල්ලන්නේ “ලොකු උනාම හරි යයි, අපල ගෙවුනා ම හරියයි” කියලා එක එක හේතු හදාගෙන ප්‍රතිකාර ගැනීම නතර කරන්න එපා. මේ වගේ රෝග තත්ත්වයන් හෝ පීඩනයක් එක්ක දරුවාට වැඩිහිටියෙක් වෙන්න දෙන්න එපා. එයින් වෙන්නේ අනිත් අයව පීඩනයට පත් කරන වැඩිහිටියෙක් නිර්මාණය වීම පමණයි. ඒ නිසා කුඩා කාලේම නිසි ප්‍රතිකාර තුළින් මේවා සමානය කරගෙන සාර්ථක දරුවෙක් සමාජ ගත කරන්න දෙමාපියන් විදියට ඔබ වගකීමක් ගන්න..