free stats

දරුවෙකුගේ ආත්ම විශ්වාසය බිඳ දාන ඔයා හිතන්නෙවත් නැති කරුණු පහක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. සමහර වෙලාවට මේ දේවල් කරනවා ඇත්තේ දරුවට තියෙන ආදරේට වෙන්නත් ඇති. එහෙමත් නැත්නම් වැඩිය නොහිතා කරන දේවල් වෙන්නත් ඇති. කොහොම වුණත් මේ කරුණු පහ නිසා ඔයාගේ දරුවගේ ආත්ම විශ්වාසය ආයේ කවදාවත් ගොඩනැගෙන විදිහට බිඳවැටිලා යන බව ඔයාට කියන්නයි අපි මේ ලිපිය ලියන්නේ.

දරුවාගේ වැරදි පැවසීම


ළමයින් කියන්නේ වැඩිහිටියන් වගේ සර්ව සම්පූර්ණ අයට නෙවෙයි. එයාලට හොඳ නරක තේරෙන්නේ දෙමව්පියෝ කියල දුන්නොත් විතරයි. සමහර වෙලාවට එයාල අතින් සිද්ධ වෙන පුංචි පුංචි වැරදි, වැරදි බවවත් එයාලා දන්නේ නෑ. මේ වගේ වෙලාවට දරුවා කරන හැම වැරැද්දක්ම අනිත් අය ඉස්සරහ කියල එයා විවේචනය කරනවා නම් ඒකෙන් එයාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා. සමහර විට ජීවිතයේ හොඳ තීරණයක් ගන්න, නිර්මාණයක් කරන්න, කවියක් සිංදුවක් ලියන්න තියෙන විශ්වාසය පවා මේ නිසා බිඳ වැටෙන්න පුළුවන්.

දරුවාව නොසලකා හැරීම


සමහර දෙමව්පියන් කාර්යබහුල බව නිසාම, එහෙමත් නැත්නම් හිතා මතාම දරුවන්ව නොසලකා හරිනවා. එයාලා දන්නේ නැහැ එහෙම නොසලකා හැරීම තුළින් දරුවන්ට සිද්ධ වෙන අකටයුතුකම් මොනවද කියල. චිත්‍රයක් ඇඳගෙන ආවත්, කවියක් ලියාගෙන ආවත්, පාසලේ පන්තියේ වැඩිම ලකුණු ගත්තත් දරුවා ඒ ගැන දෙමව්පියන්ට කියනකොට දෙමව්පියෝ ගොඩක් වෙලාවට ඒ කතා අහගෙනවත් ඉන්නේ නෑ. අවසානයේදී සිදුවන්නේ දරුවා ඊටත් වඩා වැදගත් දෙයක් වත් දෙමාපියන්ට නොකියා සඟවාගෙන ඉන්න උත්සාහ කරනවා.. ඒ විතරක් නෙවෙයි තවදුරටත් එයා කිසිම දක්ෂතාවයක් ඉඩක් වන්නේ නැති නිකන්ම නිකන් ළමයෙක් වෙන්න පවා මේ නොසලකා හැරීම හේතුවක්.

දරුවාගේ කටයුතු මවගේ අතින් සිදුවීම.


සමහර දරුවන්ගේ පාසල් වැඩ කටයුතු සිදුවෙන්නේ අම්මගේ අතින්. සමහර වෙලාවට එහෙම වෙන්න හේතුව දරුවට උදව් කරන්න තියෙන මානසික තත්ත්වය වෙන්නත් පුළුවන්, තවත් කෙනෙක් එක්ක තියෙන තරඟය වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් එයින් වෙන්නේ දරුවා කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැති නිකන්ම නිකන් දරුවෙක් වෙන එකයි. එයාට කිසිම නිර්මාණශීලී හැකියාවක්, සිතීමේ හැකියාවක් නැති වීම නිසා අනාගතයේදී ආත්ම විශ්වාසය පළුදු වුණු දරුවෙක් බිහිවෙනවා.

දරුවා විශ්වාස නොකිරීම.


ගොඩක් දෙමව්පියන් තමන්ගේ දරුවන්ව විශ්වාස කරන්නේ නැහැ. එයාලා හිතන්නේ ඒ දේ දරුවට කරන්න බෑ කියලා. ඒ නිසාම තමන්ගේ ළමයා යම්කිසි දක්ෂතාවයක් පෙන්නුම් කරත් දෙමව්පියෝ ඒ පිළිබඳව උනන්දු වෙන්නේ නැහැ. මේ නිසා ළමයින් තමන්ගේ හැකියාවන් සහ දක්ෂතා සඟවාගෙන නිහඬව ඉන්න උත්සාහ කරනවා. එය එයාගේ ආත්ම විශ්වාසය සහ පෞරුෂත්වය දෙකම විනාශ කිරීමට හේතුවක්.

අනිත් අය සමඟ සංසන්දනය කිරීම


මේ වරද දෙමව්පියෝ බොහෝ දෙනෙක් කරනවා. හොඳ පැත්තට හෝ නරක පැත්තට තමන්ගේ දරුවව තවත් දරුවෙක් එක්ක සංසන්දනය කිරීම හොඳ දෙයක් නෙවෙයි. එයින් දරුවා මානසිකව විශාල පසුබෑමකට ලක්වෙනවා. එහෙමත් නැත්නම් එයා උඩඟු දරුවෙක් වෙනවා. මේ කොයි ආකාරයෙන් වුණත් අවසානයේදී සිදුවන්නේ එයාගේ ආත්ම විශ්වාස සහ පෞරුෂය පලුදු වීමයි.

ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාට කොයිතරම් ආදරේ වුණත් මේ කියන දේවල් නම් කරන්න එපා. එයාගේ ආත්ම විශ්වාසය, පෞරුෂය වර්ධනය වෙන ක්‍රියාකාරකම් වල නිරත වීම තුළින් අනාගතයේදී ශක්තිමත් ආත්ම විශ්වාසයෙන් හෙබි පෞරුෂත්වයෙන් යුත් දරුවෙක් නිර්මාණය කරන්න ඔබටත් පුළුවන් වේවි.