free stats

ගහල බැනලා දරුවෝ හදන්නේ නැත්නම් ඒගොල්ලෝ කවද හරි දවසක ජීවිතේ අසරණ භාවයට පත්වෙනවා කියලා වැඩිහිටියන් අතර මතයක් තියෙනවා. ඒකනෙ එයාලා කියන්නේ හැඳි නොගා හදන හොද්ද කිසිම වැඩක් නෑ කියලා.

ඒ නිසා දරුවො ලිපේ තියල හදන හොද්දක් කියල හිතාගෙන හැමතිස්සෙම හැඳි ගාන්න ඕනේ කියලා අදහසක් ඔළුවේ මවාගෙන, පුංචි දේවල් වලටත් දරුවන්ට ගහන්න බනින්න පුරුදුවෙලා ඉන්නවා. දරුවන්ට ගැහුවා බැන්නා කියලා ලැබුණු දෙයක් තියෙනවද?

ඔයාලා දන්නවද දන්නෙ නෑ විදෙස් රටවල් බොහෝ මේක දරුවන්ට ශාරීරික දඬුවම් දීම තහනම්. ඒ නිසාම දරුවන්ට ත් වැඩිහිටියන්ගෙන් පහර දීමක් හෝ යනු අඩන්තේට්ටමක් සිදුවුනොත් පොලිසියට කතා කරලා කියන්න පුංචි කාලෙ ඉඳලම උගන්නලා තියෙනවා.

ඒකට හේතුව දරුවෙකුට එල්ල වෙන ශාරීරික, මානසික සහ සමාජීය අපයෝජන සහ අඩන්තේට්ටම් එයාගේ මුළු ජීවිතයටම බලපෑම් එල්ල කිරීම. උදාහරණයක් විදිහට අද දවසේ ඔයාගෙන් බැනුම් අහන එයා හෙට දවසේ සමාජයට ටොක්සික් මනුස්සයෙක් වෙන්නත් පුළුවන්, කිසිම දේකට ඉස්සරහට යන්නේ නැති බැක්වර්ඩ් මනුස්සයෙක් වෙන්නත් පුළුවන්.

දැන් අපි පොඩ්ඩක් බලමු දරුවෙකුට සිද්ධ විය හැකි අපයෝජන වර්ග මොනවද කියල.

ළමා අපයෝජන වර්ග හතරක් තියෙනවා…

ශාරීරික අපයෝජනය, ලිංගික අපයෝජනය, මානසික අපයෝජනය සහ නොසලකා හැරීම.

මේ අතරින් අපේ රටේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ ශාරීරික අපයෝජනය. හරියට ඇස්තමේන්තු කරලා කිව්වොත් ලෝකයේ වසරකට දරුවන් බිලියන 1.8 ක් ශාරීරික හිංසනයට ලක් වෙනවා.

ශාරීරික දඬුවම් අතර පහරදීම, ශරීරයේ කොටස් වලට සිදු කරන හානි, ටොකු ඇනීම, දණ ගැස්සීම, වගේ දේවල් උදාහරණ හැටියට කියලා දෙන්න පුළුවන්.

දැනට ලෝකෙ රටවල් 165ක් ශාරීරික දඬුවම් පාසල් වලින් ඉවත් කරලා තිබුණත් එයිනුත් රටවල් 67 ක් පමණ නිවෙස් වල, රැඳවුම් මධ්‍යස්ථානවල, ළමා නිවාස වල ට ශාරීරික දඬුවම් නවත්වලා නෑ. මේ රටවල් 67 ට ශ්‍රි ලංකාව අයත් නැහැ.

දන්න නීති සංග්‍රහයට අනුව ඒ අපරාධමය වරදක් ලෙස සැලකුවත් එම නීති සංග්‍රහයේම අසූ දෙවන කණ්ඩයට අනුව අවුරුදු දොළහට වඩා අඩු දරුවන් ට යහපතක් සැලසීමේ අදහසින් දඬුවම් කළොත් එය සාපරාධිය ක්‍රියාවක් නෙමෙයි. 341 – I වගන්තියට අනුව ගුරුවරයෙක් හිත හොඳින් සිදුකරන පහර දීමක් සාපරාධි වරදක් නෙවෙයි. නමුත් දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන මේ පරස්පර විරෝධීතාවයන් සංශෝධනය කරලා කැබිනට් අනුමැතිය ලබාගෙන ගැසට් නිවේදනයන් නිකුත් කිරීමට බලාපොරොත්තුව තිබුණත් තාම එය ඉටුවී නැහැ.

නමුත් නීතිය කෙසේ වෙතත් “ගහලා බැනලා දරුවන් හදන්න බෑ” කියන මතය අපි වැඩිහිටියන් තුළ ඇති කළ යුතුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2025 පෙබරවාරි මාසයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දරුවන්ට එරෙහිව ඇතිවන ප්‍රචණ්ඩත්වයේ විපාක සඳහා වැයවන මුදල සෞඛ්‍ය සේවා සඳහා වැයවන මුදලින් හයවුනයකට වඩා වැඩි බවයි. එය එක්තරා අතකින් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, නීතිමය පැත්තට සහ සමාජ සේවා ආරක්ෂණයට දරාගත නොහැකි පිරිවැයක් බව තමයි ඔවුන් අදහස් කරන්නේ.

මේ සඳහා නීති රීති පද්ධතියක් සකස් විය යුතුයි. නීති වක්‍රාකාරව තිබෙන නිසා ආකල්ප වෙනස් කිරීමේ ගැටළුත් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම ළමාරක්ෂණය කියල කියන්නේ සාමූහික වගකීමක්. එය අනාගත පරම්පරාව වෙනුවෙන් සිදුකරන යුතුකමක් වගකීමක් මෙන්ම සාර්ථක ආයෝජනයක්.

ශාරීරික දඩුවම් පැනවීමෙන් තොරව දරුවන්ගේ විනය සකසා ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුහුණුවීම් පැවැත්වීම ද ඉතාම හොඳ ප්‍රවණතාවයක්. දඬුවම සෘණාත්මක දෙයක් බවත්, විනය ධනාත්මක දෙයක් බවත් වැඩිහිටියන් අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්.

1929 දුරකථන අංකය ඔස්සේ දරුවන්ට තමන් ට සිදුවන අකටයුතුකම් පිළිබඳව දැනුම් දිය හැකියි. ..