මෙන්න හේතුව
ඔයාට චූටි බබාලා ඉක්මණින් ආකර්ෂණය වෙනවද? එහෙනම් ඔයත් මේ වගේ කෙනෙක්!බලන්න මේ ගති ලක්ෂණ ඔයා ළඟත් තියෙනවාද කියලා. කවදාවත් දැකල නැති, ආගන්තුක චූටි බබෙක් වුණත් ඔයා දිහා ගොඩක් වෙලා බලන් ඉන්නවා. ඔයත් එක්ක හිනාවෙනවා, හැංගිමුත්තන් කරනවා. එකපාරක් එන්න කියල කිව්වත් ඇති, ඉක්මණට ඔයාගෙ අතට එනවා. ඒ ආවාම, (සමහර විට අම්ම කතා කළත්) ආයෙ යන පාටක් නෑ! හයියෙන් අඬන බබෙක් වුණත්, ඔයා අතට ගත්තම අපූරුවට පරක් වෙනවා. නිදාගන්නෙම නැතිව ඉන්න චූටි බබා, ඔයා අතේ ඉද්දි හොඳට නැලවිලා, නිදාගන්නවා. පවුලේ, සමීප නෑදෑ හිතමිතුරන්ගෙ බිළිඳුන් හැමෝම විශේෂ ආකර්ෂණයක් ඔයාට තියෙනවා. කවදාහරි හිතල තියෙනවද, ඒ ඇයි කියල. මෙන්න මේ පහළ කියන ලක්ෂණ ඔක්කොම නැතත්, ගොඩක් ඒවා ඔයා ගාව තියෙන නිසයි එහෙම වෙන්නෙ.
1. ඔයාගේ මුහුණේ ප්‍රකාශනයන්/ඉරියව් මිත්‍රශීලීයි.
චූටි බබාලා ස්වභාවිකම මිත්‍රශීලී, ආදරබර, සජීවී මුහුණු ප්‍රකාශනයන්ට ආකර්ෂණය වෙනවා. ඔබ හිනාවෙද්දි, සතුටින් ඇස් ලොකු කරද්දි බිළිඳුන් ඒවා සුරක්ෂිත හා කරුණාවන්ත භාවයේ ලක්ෂණ ලෙස හඳුනාගන්නවා. ඔබේ උණුසුම් පිළිගැනීම් සහිත, විවෘත හැසිරීම බිළිඳුන්ට, ඔබට සමීප වීම පහසු කරවනවා. ඔබේ සෙල්ලමට නැඹුරු හිනාවක්, මෘදු ශබ්දයක් වුණත් ඇති බිළිඳාව අපූරුවට සිනහ ගන්වන්න.
2. ඔයාට තිබෙන්නෙ සෞම්‍ය, මිහිරි හා ගීතවත් කටහඬක්.
චූටි බබාලා නාදවලට හා ශ්‍රැතියට සංවේදීයි. ඒ නිසාම ඔවුන්, මියුරු හා නැලවිලි ස්වරූපයේ කටහඬට ආකර්ෂණය වෙනවා. ඔබේ කටහඬ ස්වභාවිකවම මෘදු හා සිහින් නාදයකින් යුතු නම් (හෝ ඔබ සහජයෙන්ම “ළදරු භාෂාව” කතා කිරීමට කුසලතාව ඇති අයෙක් නම්), බිළිඳාට මහත් සුවපහසුවක් ඔබ වෙතින් සන්නිවේදනය වෙනවා. ඔබේ රිද්මයානුකූල, ගීතවත් කටහඬ බිළිඳාට ඔබව හුරුපුරුදු හා ආරක්ෂාකාරී අයෙකු බවට පත් කරනවා.
3. ඔයාගෙ ඇස්, ඔවුන්ගේ බැල්ම ග්‍රහණය කරගන්නාසුළුයි.
ඇස් බැල්ම, චූටි බබාලා ලෝකය සමග සම්බන්ධ වෙන අයුරු ඉගෙනගන්නා මූලිකම ආකාරයක්. ඔබ බිළිඳා සමග නිරන්තර හා සමීප ඇස් බැල්මක් පවත්වා ගන්නවා නම්, එමගින් බිළිඳාට අවධානය සහ රැකවරණය පිළිබඳ හැඟීමක් සන්නිවේදනය කෙරෙනවා. බිළිඳුන් ස්වභාවිකම ඉතා උද්‍යෝගයෙන් නිරතුරුව වටපිට බලනවා. මේ අවස්ථාවෙදි කිහිප වතාවක්, නිතර-නිතර ඔබේ ඇස් ඔවුන්ගේ බැල්මට හසුවීමේදී ඔවුන් ඔබ වෙත අවධානයක් යොමුකිරීම සිදුවෙනවා. ඔබට තිබෙන්නේ “කතා කරන” ඇස් දෙකක් නම්, බිළිඳා ඔබට ආකර්ෂණය වීම පුදුමයක් නැහැ.
4. ඔයාගෙ ඇඳුම් පළඳුම් දිලිසෙන හා තදවර්ණ සහිතයි.
චුටිබබාලාගේ දෘෂ්ටි සන්නිවේදනයන් ඔවුන් කුඩා අවධියේදී වර්ධනය වෙමිනුයි පවතින්නෙ. ඔවුන් විශේෂිතව තද, දීප්තිමත් වර්ණවලට අවධානය දෙනවා. ඒවගේ දිලිසෙන ආභරණ හා පැළඳුම් ඔවුන්ගේ ආකර්ෂණයට ලක්වෙනවා. ඒවගේ විසිතුරු ආයිත්තම් (උදා: අව්කණ්නාඩි) බිළිඳාගේ කුතුහලය වැඩි කරනවා. එනිසා, ඔබ මෙවැනි ඇඳුම්-පැළඳුම් වලින් සැරසී සිටිනවා නම්, බිළිඳාගේ ආකර්ෂණය දිනාගැනීමේ අමතර වාසියක් ඔබට හිමියි.
5. ඔයා පාවිච්චි කරන සුවඳකාරකය (Scent) ප්‍රසන්නයි.
චුටිබබාලාට “සුවඳ” පිළිබඳ තරමක් තියුණු හැඟීමක් තිබෙනවා. ඔවුන් ප්‍රසන්න හා හුරුපුරුදු සුවඳට බෙහෙවින් ආකර්ෂණය වෙනවා. ඔබෙන් වහනය වන්නේ එවැනි සුවඳක් නම් (බොහෝදුරට දරුවාගේ මව හා ඔබ භාවිතා කරන්නේ එකම සුවඳකාරකයක් නම්), බිළිඳා ඔබට ආකර්ෂණය වෙනවා. පොදුවේ ඔබ පිරිසිදුව, පිළිවෙලට ඔබේ බාහිර ස්වරූපය පවත්වා ගැනීම, වටපිටාවේ අනෙක් වැඩිහිටියන් අතර ඔබව විශේෂ කෙනෙකු බවට පත්වීමට හේතුවෙනවා. එනිසා බිළිඳා ඔබට වඩ වඩාත් ළංවීම සිදුවිය හැකියි.
6. ඔයාගේ හැසිරීම සන්සුන්, පැවැත්ම සැහැල්ලුයි.
බිළිඳුන් පුදුම සහගත ලෙස තමා අවට සිටින පුද්ගලයන්ගේ අභ්‍යන්තරික ශක්තීන් පිළිබඳ සංජානනීයයි. ඔබ සන්සුන්, සැහැල්ලු පැවතුම් ඇති, ඉවසිලිවන්ත අයෙක් නම්, ඔබ වෙත පැමිණීම බිළිඳාට පහසුවක්. ඔවුන්ගේ කුඩා “බිළිඳු ලෝකය”ට ඔබ බොහෝ සුවපහසුවක් ගෙන එනවා, ඔබේ සාමකාමී හැසිරීම තුළින්. ආගන්තුක චූටිබබෙක් වුණත්, ඔබ අතට ගත්විටෙක කලබල නොවී, නොහඬා සිටීමට හේතුව ඔබ අභ්‍යන්තරයේ පවතින සන්සුන්බවයි.
7. ඔයාගේ චලනයන් මෘදුයි, ඒවගේම රිද්මයානුකූලයි.
චූටි බබාලා මෘදු හා රිද්මයානුකූල චලනයන්ට ඉතා හොඳින් හා යහපත් ලෙස ප්‍රතිචාර දක්වනවා. ඔබ බිළිඳාව නැළවීමේදී මෘදු, රිද්මයානුකූල හා සියුම් පැද්දීම් සහිත චලනයන් භාවිත කරන්නේ නම් එය ඔහුට/ඇයට හුරුපුරුදු බවක් ඇති කරනවා. ඔවුන් මවගේ ගැබෙහි සිටිද්දීත්, ඔවුන්ට අත්දකින්නට ලැබුණේ මීට සමාන මෘදු චලනයන්. මේ හේතුවෙන් බිළිඳා ඔබේ ඇකයෙහි වැඩිකාලයක් ගත කිරීමට ආශාකරනවා. එය ඔවුන්ට මහත් සුවපහසුවෙක්. මෙකී අපූරු සමානතාව ස්වභාවිකම බිළිඳා ඔබ අතේ සිටිද්දී, සන්සුන් වීමට, නැළවීමට හා ඇතැම්විට නිදාගැනීමට පවා හේතුවෙනවා.ඔබ කුඩා දරුවන් සිටින මාපියෙක් නම්, කුඩා දරුවන් ආශ්‍රිත රැකියාවක (පෙරපාසල් ගුරු, දිවා සුරැකුම් පාලිකා වැනි) නිරත වන අයෙක් නම් මෙම ගති ලක්ෂණ වර්ධනය කරගැනීම සඳහා කටයුතු කරන්න.
වෛද්‍ය අරුණි ලියනමාන.