free stats

වෛද්‍ය සත්සරණී ඉලංගකෝන් මහත්මිය,
ආයතන භාර වෛද්‍ය නිලධාරීනී,
ප්‍රාථමික සෞඛ්‍ය ඒකකය
කෙසෙල්වත්ත.

නියපොතු කියන්නෙ තමන්ගෙ ශරීරයේ තියෙන තවත් වටිනා , වැදගත් අංගයක්. මේ නියපොතු විවිධ ස්වභාවයෙන් යුක්තයි. විවිධ ලෙඩ රෝග ගැන දැනගන්න වගේම පිරිසිදුකම මැන බලන සාධකයක් විදියටත් නියපොතු වැදගත් වෙනවා. මේ නිසා බාල මහලු භේදයක් නැතුවම කාටත් නියපොතු වල නිරෝගීකම,පිරිසිදු කම අත්‍යාවශ්‍යයි.

මේ වැදගත්කම නිසාම පුංචි පැටවුන්ගේ නියපොතු වල නිරෝගී බව, නිය ආරක්ෂාව වගේම පිරිසිදුකම ගැනත් කතා කරන්න මේ නිසා අපි අද හිතුවා. අලුත උපන් පැටියාගේ නියපොතු ඉක්මනින් වර්ධනය සිදුවෙනවා. ඒ වගේම කුඩා වියේ ඉන්න දරුවන්ගේ නියපොතුත් ඉක්මනට වර්ධනය වෙනවා. මේ නියපොතු ගොඩක් වැවෙන්න ඉඩ නොතබා කැපීම වැදගත්. ඊට හේතුව දරුවා නොදැනුවත්වම මේ නියපොතු වැදීමෙන් තමන්ගෙ සම සීරීමට ලක් වෙන්න පුළුවන් . කුඩාම වියේ දරුවන්ගේ ඇස් මත හෝ ඇස් අවට නියපොතු වැදීමෙන් සීරීමට ලක්වෙලා තුවාල වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම සෙල්ලම් කරන වයසේ ඉන්න දරුවන්ගේ නියපොතු වල ගොඩක් වෙලාවට කුණු පිරිලා තියෙනවා. ඒක අවලස්සනයි වගේම විවිධ විසබීජ මේ නිය අස්සේ රැඳිලා තියෙන්න පුළුවන් . ඒ විසබීජ දරුවා ඇඟිල්ල කටේ දානකොට , ඇස් අතගානකොට සිරුරට ඇතුල් වෙලා විවිධ ආසාදන, ලෙඩ රෝග ඇති වෙනවා.ගොඩක් වෙලාවට පණු රෝග , පාචනය වැනි ආමාශගත රෝග ඇතිවන්නට මේ තත්වය බලපානවා. ඒ නිසා දෙමාපියන් නිතරම දරුවන්ගේ නියපොතු වල පිරිසිදු බව වගේම ඒවා කොටට කැපීමට වගබලා ගන්න ඕන. නියපොතු නිතරම හැපීමත් දරුවන් අතර බහුලව තියෙන පුරුද්දක්. මේ මගින් නියපොතුවල තියෙන විසබීජ ආමාශගත වීමත් කැඩුනු නිය කොටස් දරුවාගේ ආමාශයට යෑමටත් ඉඩ තිබෙනවා.

                  විවිධ පෝෂණ ඌනතා පෙන්වන කැඩපතක් විදියටත් නියපොතු සලකන්න පුළුවන්.  ඒ මොන වගේ පෝෂණ ඌනතා නිසාද කියන කාරණය දැනගැනීම වැදගත්.
  • විටමින් D- මෙම ඌනතාවය නිසා නියපොතු වෙනස් වීමට පුළුවන් . විටමින් D හා ඛනිජ, කැල්සියම් අතර අන්තර් සම්බන්ධතාවය මෙයට හේතුවයි. සිරුරට කැල්සියම් අවශෝෂණය කර ගැනීමට විටමින් D උපකාරී වෙනවා. විටමින් ඌනතාවය නිසා සිරුරේ ඛනිජ මට්ටම අඩු වෙනවා. Codfish, ටූනා, සැමන් හා කිරි, ධාන්‍ය වර්ග වැනි විටමින් D බහුල ආහාර ගැනීමෙන් මෙම ඌනතාවය වලක්වා ගන්න පුළුවන් .
  • බයෝටින් ඌනතාවය – නියපොතු වල නිරෝගීකමට සම්බන්ධව ඕනෑම පෝෂකයක් අඩු වුවහොත් නියපොතු වල දුර්වලතා හා වෙනස්කම් සිදුවෙනවා. බයෝටින් කියන්නෙත් ඒ වගේම නියපොතු වල නිරෝගීකමට අත්‍යාවශ්‍යයි පෝෂකයක්. එය සාර්ව පෝෂණ පරිවෘත්තීය ක්‍රියාවලියට උපකාරී වෙනවා. මස් , මාළු, බිත්තර, ධාන්‍ය වර්ග වැනි බයොටීන් බහුල ආහාර පරිභෝජනයෙන් මෙම ඌනතාව වලක්වා ගන්න පුළුවන් .

*B12 විටමිනය- මෙම ඌනතාවය නිසා නියපොතු අවපැහැ වෙනවා. ආහාර වේල තුල සත්ත්ව ආහාර නොමැතිකම හෝ අඩුකම නිසා B12 ඌනතාවය හටගන්නවා. මුහුදු ආහාර, කිරි, චීස් හා ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් B12 පෝෂණ ඌනතාවය මග හරවා ගත හැකියි.

  තවද විටමින් A පෝෂණ ඌනතාවයද නියපොතු වල දුර්වල බවට හේතු වෙනවා.  නියපොතු වල අසාමාන්‍යතා හෝ වෙනස්වීම් කීපයක් තිබෙනවා.
  • නියපොතු හරහා බියුගේ රේඛා ඇතිවීම.
    මෙහිදී නියපොත්ත යට තිබෙන කියුටිකල් එක තුවාල වීම සිදු වේ.
    දරුණු උණ , සරම්ප, කම්මුල්ගාය වැනි රෝග නිසාත් නියපොතු වල මෙම බියු රේඛා ඇතිවිය හැකියි.
  • නියපොතු ඉක්මනින් කැඩී යාම
    කොයිලොනිචියා නොහොත් හැඳි නියපොතු තුනී ආකාරයෙන් යුතුයි. ලියුකොනිචියා නියපොතු වල සුදු ඉරි හෝ ලප ඇතිවෙයි. නියපොතු කැඩීම, නිය බුරුල් වීම මෙහිදී දකින්නට හැකියි.සින්ක් ඌනතාවය මෙහිදී බලපානවා. යකඩ ඌනතාවයෙන් ඇතිවන රක්තහීනතාවය නිසාද නියපොතු ඉක්මනින් කැඩී යන්නට ඉඩ තිබෙනවා. නියපොතු සුදුමැලි වීමද සිදුවන්නෙ මෙම ඌනතාවය නිසයි. නියපොතු සමතලා වීම හෝ අවතල බවට පත් වෙනවා.
  • සුදු පැහැ ලප ඇතිවීම
    නිය මල හෙවත් නියපොතු මත සුදු පැහැ ලප ඇතිවීම මෙහිදී සිදුවෙනවා.
    මීට ප්‍රධානවම බලපාන්නේ ආහාර වල පෝෂණයයි. ශක්තිමත් නිය පෙලක් සඳහා ප්‍රෝටීන බහුල ආහාර ගැනීම වැදගත්.
  • එක තැන එක්වීම හෝ නිය පොතු නිල් පැහැ වීම – මෙහිදී නියපොතු ඇඟිලි තුඩු දෙසට තල්ලු වී තිබීම දැකිය හැකියි. රුධිරයේ ඔක්සිජන් අඩුකම මෙමගින් කියනු ලබනවා. ඒ වගේම නිල් පැහැයට හුරුව නියපොතු තිබේනම් එවිටද නියුමෝනියා වැනි පෙනහලු රෝගී තත්වයන්, හෘද රෝග වල ලක්ෂණයක්ද විය හැකියි.

*දිලීර ආසාදන – නියපොත්ත තුවාල වූ විට , කඩතොලු වූ විට නියපොත්ත මෙම ආසාදන වලට ලක් වීමේ ඉඩකඩ වැඩියි. නිය කහ පැහැ වීම මෙහිදී දක්නට ලැබෙනවා. තයිරොයිඩ්, පෙනහලු රෝග , දියවැඩියාව හා සිරෝසීස් වැනි රෝගවල ලක්ෂණයක් ලෙසද මේ තත්වය පෙන්නුම් කරනවා.

මීට අමතරව සමහර සංජානනීයව ඇතිවන විටමින් D සම්බන්ධ රෝග නිසා හා මවගේ කැල්සියම් ඌනතාවයද නිසාද දරුවාගෙ නියපොතු වල රෝගාබාධ ඇති වෙනවා.

නියපොතු කියන්නෙ ඕනෑම කෙනෙක්ගේ ශරීර සෞඛ්‍ය පෙන්වන කැඩපතක්. පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකිරීමේදී නියපොතු සම්බන්ධ යහ පුරුදු කියා දෙන්නටත් , මනා පෝෂණයක් සහිත ආහාර දරුවාට ලබා දෙන්නටත් ඔබ අමතක කරන්න එපා.

      කුමුදිකා ඩී.සපුතන්ත්‍රි