free stats

විවාහක යුවලක් යම් උපත් පාලන ක‍්‍රමයක් භාවිත නොකර සාමාන්‍ය පරිදී අඹුසැමි සම්බන්ධතා පැවැත්වුවත් වසරක කාලයක් තුළ දරුඵල නොලැබීම නැතිනම් ගැබක් හට නොගැනීම නිසරු භාවය නැතහොත් වන්ද්‍යාභාවය ලෙස හදුන්වනවා. සාමාන්‍යයෙන් සියයට 10ත් 15ත් අතර පිරිසක් වන්ද්‍යාභාවයට පත්වන අතර ඒ සදහා කාන්තාවගේ මෙන්ම පුරුෂයාගේත් යම් යම් දුර්වලතා බලපානු ලබනවා. ඒ අතරිනුත් සියයට 40ක්ම කාන්තාවන්ගේ දෝශයන් ලෙස හදුන්වන්න පුළුවන්.

වන්ද්‍ය භාවයට පත්වීම සදහා බලපාන හේතු කිහිපයක් පිළිබදවම ආයුර්වේදයේ සදහන් වෙනවා. පෝෂණ ඌනතා, යෝනි මාර්ගයේ දෝශ සහ පිටියුටරි, තයිරොයිඞ්, අනුවෘක්ක වැනි ග‍්‍රන්ථීන්ගේ දෝශ, මානසික දෝශ, සංසර්ග දෝශ මෙන්ම ඩිම්බ ග‍්‍රන්ථි දෝශ කාන්තාවගේ වන්ද්‍යාභාවයට හේතු වන දෝශ වශයෙන් සදහන් කළ හැකියි.

මේ අතරින් ගැබ්ගෙල ප‍්‍රදාහ තත්ත්ව, රක්ත ප‍්‍රදර, ශවේත ප‍්‍රදර වැනි තත්ත්ව නිසාද කාන්තාවන් වන්ද්‍යාභාවයට පත්වවන අතර මෙම තත්ත්වය ශරීරයේ උෂ්ණාධික භාවය ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හදුන්වනු ලබනවා.

නමුත් ශරීරයේ උෂ්ණාධික බව යනු කුමක්ද? ඇති වන්නේ කෙසේද? වළක්වා ගන්නේ කෙසේද සහ ප‍්‍රතිකාර මොනවාද යන්න පිළිබදව කාන්තාවන්ගේ ඇත්තේ අඩු අවබෝධයක්.

ශරීරයේ තිබෙන වා, පිත් , සෙම් යන තුන්දෝශයන් කෝප වීම උෂ්ණරෝග ඇතිවීමට බලපාන බව ආයුර්වේදයේ සදහන්. රත්තයා ලෙස හදුන්වන සමේ රෝගය, සෙම් රෝග, සමේ ඇති වන රත්පැහැ බිබිළි සහ විළුඹ පැලීම  මෙන්ම අධික ලෙස දහදිය පිටවීම ආදී විවිධ රෝග උෂ්ණ රෝග ගණයට ගැනෙනවා.

එමෙන්ම සම අවපැහැ ගැන්වීම මෙන්ම අධික කෝපය, කොතරම් ආහාර පාන ගත්තද අධික කුසගින්නක් දැනීම මෙන්ම බඩ පුරවා දැමීම වැනි ලක්ෂණ උෂ්ණ රෝග වල මූලික ලක්ෂණයි. ශරීරයේ දුර්වල බව, අලස බව, අත් පා වැනි අවයව වල ඇති වන වේදනාව මෙන්ම ශරීරයේ සන්ධි ඉදිමීමත්, සිරුරෙන් රස්නයක් පිටවන බව දැනීමත් ශරීරයේ උෂ්ණත්වය අධික  වීමෙන් හටගන්නා රෝග ගණනට ගැනෙනවා. එසේම සිරුරේ සුන්දරත්වයද දිනෙන් දිනම අඩු කිරීමටද උෂ්ණ රෝග හේතු වන බව ආයුර්වේදයේ සදහන්.

එමෙන්ම යෝනි මාර්ගය ආශ‍්‍රීතව සාමාන්‍ය තෙත් භාවයට වඩා අධික තෙතමනයක් පැවතීමත්, මී කිරි වැනි උකු ශ‍්‍රාවයක් යෝනි මාර්ගයෙන් පිටවීම සහ මාස් ශුද්ධිය (මාසික ඔසප් වීම) අධික ලෙස පැවතීමත් උෂ්ණ රෝග පවතින කාන්තාවන්ගේ ලක්ෂණයක්. මෙම උෂ්ණ රෝග වලින් පීඩා ලබන දරු ඵල අපේක්ෂා කරන කාන්තාවක් නම් ඒ සදහා ප‍්‍රතිකාර ගැනීමෙන් අනතුරුව ගැබ් ගැනීමට සූදානම් විය යුතුයි.

මෙවැනි රෝග ලක්ෂණ පහල වූ අවස්ථාවේදීම කල් නොයවා ප‍්‍රතිකාර ලබාගැනීම තුළින් රෝගය ජීර්ණ අවස්ථාවට පත්ව කාන්තාවන් නිසරු භාවයට පත් වීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම රෝගයට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රථමයෙන් රෝගය ඇති වීමට හේතු වූ රෝග නිධානය සොයා ප‍්‍රතිකාර කිරීමත් රෝගය සුව කර ගැනීමට අවශ්‍ය පරිදී සන්සුන්  මානසික තත්ත්වයක් පවත්වා ගැනීමත් ඉතාමත් වැදගත්,

හරක් මස්, ඌරු මස්, අමු අඹ, ඇබරැල්ලා සහ බිලින් මෙන්ම මී කිරී, අධික ලූණු ඇඹුල් සහිත ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීමත් උෂ්ණ රෝග හටගැනීමට මූලික හේතුවක් වනවා. එමෙන්ම පණු රෝග, බහු පුරුෂ සේවනය මෙන්ම ශරීරය හොදින් පිරිසිදුව තබා නොගැනීමත් නිතර දුකෙන් පසුවීම, අධික ලිංගික සංසර්ගය වැනි හේතුත් උෂ්ණ රෝග ඇති වීමට හේතු වන බව සදහන්.

උෂ්ණ රෝග වලින් පීඩා විදින්නන් ඒ සදහා ප‍්‍රතිකාර ගැනීමේදී විශේෂයෙන් තමන් ගන්නා ආහාර පාන පිළිබදවත් අවධානයක් දැක්විය යුතුයි. නිතරම ශරීරය නිවන ආහාර පාන ගැනීම මෙහිදී ඉතා වැදගත් වනවා. උෂ්ණ රෝගීන් සදහා හේන් අල, කුකුලල, රතු සහ සුදු බතල මෙන්ම තලන බටු, කටු අල යන ආහාර ගුණදායක බව ආයුර්වේදයේ සදහන් වෙනවා.

ඒ වගේම කොළ කැද, තේ වෙනුවට නුග අරළු තම්බා බීමත්, හාතාවාරිය අල වලින් සාදා ගත් කැද පානය කිරීමත් , පොකුරු වදමල් පානය, කූර තම්පලා ව්‍යංජන, අලූකෙසෙල් ව්‍යංජන සහ පලාකොල මැල්ලූම් මෙන්ම තැඹිලි වතුර පානය කිරීමත් උෂ්ණ රෝගීන්ට විශේෂ ගුණදායක ආහාර වර්ග වෙනවා. එමෙන්ම දිනපතා ස්නානය කිරිමෙන්ද ශරීරයේ උෂ්ණාධික බව සමනය කර ගැනීමට පුළුවන්.

එසේම උෂ්ණරෝග වලින් පීඩා විදින කාන්තාවන් අධික කුළු බඩු යෙදු ආහාර, අච්චාරු, මාලූ මිරිස් මෙන්ම බලමාලූ, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සහ තක්කාලි, අන්නාසි වැනි ආහාර සහ තෙල් අධික ආහාර වලින් වැළකී සිටීමටත් ප‍්‍රවේශම් විය යුතුයි. එමෙන්ම මත්පැන් , දුම්වැටි පානය කිරීම කිසිසේත්ම මෙම රෝගීන්ට ගුණදායක වන්නේ නැහැ.

කෙසේ වුවත් උෂ්ණරෝගය යනු බිය යුතු රෝගී තත්ත්වයක් නොවන අතර  ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවය අතරම සුලභ රෝගී තත්ත්වයක්ද වනවා. එසේම මනා ආහාර පාලනය මෙන්ම විධිමත් ජීවන රටාව තුළින් මගහැර ගත හැකි රෝගී තත්ත්වයක්. එබැවින් උෂ්ණරෝගය හේතුවෙන් දරුඵල මෙතෙක් නොලද කාන්තාවන් කල යුත්තේ වෛද්‍ය උපදස් ලබාගෙන හැකි තරම් රෝගය පාලනය කිරීමට තම ජීවන රටාව හැඩ ගස්වා ගැනීමයි.

ඉංගිරිය වික‍්‍රමආරච්චි වෙදමැදුරේ
ආයුර්වේද වෛද්‍ය
අශෝකා වික‍්‍රමආරච්චි

ප්‍රෙමිලා ධර්මසිරී