free stats

දරුවන් ටිකෙන් ටික වයසෙන් වැඩෙද්දී එයාලා ස්වාධීන වෙන්න පටන් ගන්නවා. එච්චර කාලයක් අම්මගෙ අත අල්ලගෙන ඇවිදපු දරුවා තනියම ඇවිදින්න පටන් ගන්නවා, කාගෙවත් උදව්වක් නැතුව තමන්ගෙ දේවල් තනියම කරන්න පටන් ගන්න කොටම තමයි එයාගේ ස්වාධීනත්වය ආරම්භ වෙන්නෙ. 

මෙහෙම ස්වාධීන වෙන දරුවා වයසකට ආවට පස්සේ දෙමාපියන්ගේ අවවාද උපදෙස් වෙනුවට තමන්ගේ ස්වාධීන තීරණ ගන්න පටන් ගන්නවා. මෙන්න මේ කාලෙ තමයි දෙමාපියන් සහ දරුවන් අතර ගැටුම් ඇතිවෙන්නේ. තමන් කියන දේ අහන්නේ නෑ කියලා දෙමව්පියන්ට තේරෙන්න පටන් ගත්තට පස්සේ දෙමව්පියෝ වැඩි වැඩියෙන් ම අවවාද අනුශාසනා දෙන්න එයාව පාලනය කරන්න උත්සාහ කරනවා. එයින් වෙන්නේ එයා තවදුරටත් මුරණ්ඩු දරුවෙක් වෙන එකයි. 

මෙන්න මේ කාල වකවානුවේදී අම්ම තාත්ත වශයෙන් ඔයා හරිම පරිස්සමින් කටයුතු කළ යුතුය. සමහරවිට ඔයා දෙන පුංචි අවවාදයක්, බැනුමක්, තරවටුවක් දරුවාට මුළු ජීවිත කාලෙම තමන්ගේ අම්ම තාත්තව එපා වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ විදිහට පුංචි හේතුවක් නිසා පවුලෙන් අයින් වුනු දරුවෝ වගේම, අම්ම තාත්තයි පවුලෙන් අයින් කල දරුවන් ගැන ඉතාම අවාසනාවන්ත කතා අහන්න දකින්න ලැබෙනවා. 

අපි තේරුම් ගතයුතු වැදගත් කාරණාවක් තිබෙනවා. කිසිම කෙනෙක් කැමති නෑ තමන් දුර්වලයෙක් විදිහට තවත් කෙනෙක් එක්ක සංසන්දනය වෙනවට. 

“ඔයාට වඩා නම් අරය ගොඩක් හොඳයි”

“බලන්නකෝ අර මල්ශාන් ඔයා වගේ නෙවෙයි. හරිම දක්ෂයි. හැමදේටම ඉදිරිපත් වෙනවා.”

මෙන්න මෙහෙම දරුවා තවත් කෙනෙක් එක්ක සංසන්දනය කිරීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. එයින් එයා තවත් අයත් එක්ක සංසන්දනය වෙනවා. ඒක මානසිකව සෑහෙන්න බලපාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන් එක්ක සංසන්දනය වුණු දරුවා එක්ක තරඟයක්, තරහක් ඇතිවෙන්න ත් මේක හේතුවක් වෙන්න පුළුවන්. 

ඒ වගේම දරුවෙක් ට අවවාද කරනකොට, බනිනකොට

ඔයා ඉපදුනා ට වඩා හොදයි ඉපදෙන්නේ නැතුව හිටියා නම්

මම ඔයා උනා නම් මම නම් මෙහෙම වැඩ කරන්නේ නෑ

අපි නම් ඒ කාලේ ඔයාලා වගේ නෙවෙයි

ඔයා කිසි වැඩකට නැති ළමයෙක්

ඔයා මේක නොකලොත් අද කන්න දෙන්නෙ නෑ

ඉන්නකෝ මම තාත්තා ට කියලා ඔයාට හොඳ වැඩක් කරන්නම්

වගේ දේවල් කියන්න එපා. මේ හැම වචනයක් ම දරුවාගේ පෞර්ෂය කඩලා බිඳලා දාන්න හේතුවක් වෙනවා. එයා ඔයා එක්ක තරහා වෙන්න ඔයාව එපා වෙන්න මෙතනින් එක දෙයක් කිව්වා නම් ඇති. 

මතක තියාගන්න ඔයටත් පුංචි කාලයක් තිබ්බා. ඒ කාලේ ඔයත් හැසිරුණේ මෙහෙම තමයි. පැත්තකට වෙලා හිතලා බලන්න. සමහර විට ඔයාගේ බබා ඔයාට වඩා හොදයි කියලා හිතෙයි. 

ඒ නිසා,

දරුවන්ට අවවාද දෙන්න එපා. එයාලා ට කියලා දෙන්න. 

ඒක පාරම හැමදේම හරියටම හරියයි කියලා හිතන්න එපා. සමහර දේවල්වලට කාලය ඕන. 

ආදරයෙන් අඩුපාඩු කියලා දෙන්න.

හොඳ ඇහුම්කන් දෙන්නෙක් වෙන්න. 

එයා එක්ක සුහදව කතා කරන්න

ප්‍රශ්න අහනවා වෙනුවට කතා බහ කරන්න. උත්තර හොයාගන්න උදව් කරන්න. 

එතකොට එයාලා හිතුවක්කාර නොවී ඔයාට අවනත වෙයි.

ආදරයට කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක අමතක කරන්න එපා.