තාත්තා ටික කාලෙක ට ලංකාවෙන් යනවා කියලා තිසරු පුතා දැනගත්තේ දවසක් දා හවස. එයාට මුලින් නම් ඒ තරම් ගානක් තිබුණේ නැ. ඒත් මංගලිකා ඇන්ටි කියපු දේ ටිකක් තද ට දැනුනා.
“තිසරු තාත්තා ආපහු එන්නේ නැතිව එහෙ නතර වෙයි ද දන්නේ නෑ. අම්මයි ඔයයි එපා කියලා. ඔයා ඉතින් දග කරනවනේ. කියන දේ අහන්නෙත් නෑ නේ.”
තිසරු ගොඩක් වෙලා පැත්තක ඉඳගෙන කල්පනා කළා.
“මම දග කරන්නේ නෑ නේ”
ඇත්තට ම තිසරු කියන්නේ ගොඩක් හොඳ ගතිගුණ තිබුණු දරුවෙක්. එයා තවම පෙර පාසල් යන වයසේ හිටියා වුණත් කවදාවත් කිසිම දඟ වැඩකට ගෙදරින් බැනුම් අහලා නෑ.
තිසරුට මතක් උනා නංගී ගෙදර ආපු දවස.
“ටිකක් දුක හිතුනා උනත් මම ඇඬුවේ නෑනේ… අනික නංගී ඇවිත් කාලයක් යද්දී මම නංගී එක්ක යාලු උනා නේ.”
තිසරු තව හිතුවා.
ලෝචනා හැමදාම පෙර පාසල් එන්නේ අඩ අඩ. අකිල හැමදාම කාටහරි ගහනවා. ඒත් ඒ දෙන්නාගේම තාත්තලා රට ඉදලා සල්ලි ගොඩක් අරන් ගෙදර ආවා.
තිසරු ට ටීචර් ගොඩක් ආදරෙයි. එයාව එක්කකරගෙන එන්න ආතම්මා ආවාම ටීච ටිකක් වෙලා කතා කර කර ඉන්නවා. අම්මා උදේට ඔෆිස් ගිහිල්ලා එන්නේ හවස. තාත්තා නම් ටිකක් රෑ වෙනවා. ඒ වෙලාවට වෙන එකම වරද ඇහැරලා ඉන්න බැරි වෙන එක විතරයි. බත් කාපු ගමන් අම්මා නංගිව නිදි කරවන වෙලාවට තිසරු ට ත් නින්ද යනවා.
“අනේ තාත්තා ආයේ එන්නේ නැත්තේ ඒ නිසාද”
මේ ගැන අම්මගෙන් තාත්තාගෙන් අහන්න හිතුනත් එයා ඒකට ඉස්සර උනේ නෑ. ඒ වෙනුවට කළේ දිගින් දිගටම කල්පනා කරපු එක.
මේ විදිහට සති එකහමාරක් විතර ගත වුණා. මුලින්ම තිසරුගේ වෙනසක් දැනුණේ ලෝචනා ගේ අම්මට. ලෝචනා ගේ අම්මා අනෝජා. එයා තිසරුගේ අම්මා ගේ හොඳම යාළුවෙක්. තිසරුගේ තාත්තා රට යන කතාවත් අනුව අනෝජා දැනගෙන හිටියා. පන්තිය දක්ෂ දරුවෙක් වුණු, කවදාවත් අඬපු නැති, කියන දේ අහගෙන හිටිය දරුවා වෙනස් වෙලා කියලා අනෝජාට තේරුණා.
එයා මේ ගැන තිසරුගේ අම්මා එක්ක කතා කරන්න කලින් කතා කළේ පෙර පාසලේ ගුරුතුමිය එක්ක.
ඒ වෙද්දී ගුරුතුමියත් මේ වෙනස ගැන අවදානයෙන් හිටියේ.
දවසක් දා උදේ මහ පුදුම වැඩක් වුණා. වෙනදා වගේම අකිල හිමාෂ එක්ක රණ්ඩුවක් පටන් අරගෙන. හිමාෂ කියන්නේ ගොඩක් අහිංසක ළමයෙක්. මේ රණ්ඩුව දිහා එක එල්ලේ බලාගෙන හිටිය තිසරු එකපාරටම කලන්තේ දාලා බිමට වැටුණා. ටීචර් මේ වෙලාව පන්තියේ හිටියේ නැහැ. ඒත් පන්තියේ හිටිය තවත් දරුවෙක් දුවගෙන ගිහිල්ලා ටීචර් ට පණිවිඩයේ කිව්වා.
අවසානෙදි මේ කතාව කෙළවර වුණේ රෝහලෙන්.
“අම්මා”
ටීචර් කතා කරන්න ගත්තා.
“මම කාලයක් තිස්සේ තිසරු දිහා බලාගෙන හිටියා. මට එයාගෙ ලොකු වෙනසක් දැනෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝචනාගේ අම්මා අනෝජා ත් මේ ගැන මාත් එක්ක කතා කළා. එයාටත් දරුවාගේ ලොකු වෙනසක් දැනෙන්න පටන් අරගෙන. අම්මා මේ ගැන ටිකක් හොයල බලන්න. ගෙදර පරිසරයේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. පෙර පාසලේ ගැටලුවක් තියෙනවා ද කියලා මම අවධානෙන් ඉන්නම්.”
ටීචර් කිව්වේ එච්චරයි.
තිසරු අම්මා එක හවස ගෙදර ආවා. තිසරුගේ ආත්තම්මා ඒ කියන්නේ තිසරුගේ තාත්තගේ අම්මා.
“අම්මේ අම්මා පුතාව කොච්චර හොඳට බලා ගන්නවා ද කියලා මම දන්නවා. ඒත් පුතා පහුගිය කාලේ හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා තියෙනවා. එයා කලබලෙන් වගේ තමයි පෙර පාසලේ ඉඳලා තියෙන්නේ. කිසිම අවධානයක් යොමු කරල නෑ කිසිම දේකට. අම්මට මේ ගැන ටීච කිව්වේ නැද්ද”
තිසරුගේ තාත්තා කරුණාවෙන් ඒ ගැන ඇහුවා.
“වෙනසක් තියෙනවා කියලා කිව්වා පුතේ. ලොකුවට පැහැදිලි කළේ නැහැ. දුවට පෙර පාසලට එන්න කියන්න කියලා ටීච කිහිප දවසක්ම කිව්වා. අනෝජා දුව හම්බ වුණාමත් මට කිව්වා දුවට පණිවිඩය කියන්න කියලා. එයා කීප දවසක්ම calls අරං තිබුනත් දුව ආන්සර් කරේ නැහැ ලු.”
“පුතාට මොකක්ද උනේ කියලා හරියටම දැනගන්න කොහොමද අරවින්ද?”
තිසරු ගේ අම්මා ඇහුවේ බිඳුණු හඬකින්.
“අපි පුතාගෙන් අහමු” තාත්තා යෝජනා කළා.
අවසානෙදි අම්මයි තාත්තයි දෙන්න ඉස්සරහ තිසරු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“තාත්තා ඔෆිස් එකෙන් රට යනවා කියලා දැන ගත්තහම මට සතුටු හිතුනා. ලෝචනාගෙ අකිලගේ තාත්ත ලා වගේ තාත්තත් මට සෙල්ලම් බඩු, ගොඩක් චොක්ලට් අරන් එයි කියලා මම සතුටින් හිටියේ. ඒත් දවසක් මංගලිකා අත්තම්මා මට කිව්වා මම වැරදි වැඩ කරන නිසා තාත්තා රට ගියොත් ආයි එන එකක් නෑ කියලා. ඉතින් මං මුළු දවසම ගත කලේ මං කරපු වැරදි වැඩ ගැන මතක් කරන්න. මට කිසිම වැරදි වැඩක් මතක් වුණේ නෑ තාත්තේ. මං හැමතිස්සෙම බයෙන් හිටියා මම මොකක් හරි වැරදි වැඩක් කරයි කියල. ඒ නිසා මං වෙනදට කරපු කිසිම දෙයක් කළේ නැහැ.
අද උදේ අකිල හිමාෂට ගහනකොට මට ගොඩක් බය හිතුනා. මොකද හිමාෂ ගුටි කාලා ඇවිත් මට කියනවා කියලා ට ගහන්න කියලා. ඒත් මගේ අතින් වැරදි වැඩක් වෙයි කියල මං ගොඩක් බයෙන් හිටියේ. ඉතිං හිමාෂ ඇවිල්ලා මට කිව්වොත් මට හිමාෂට උදව් කරන්නත් බෑ, අකිලට ගහන්නත් බෑ. ඒක නිසයි මට කලන්තෙ හැදුනේ”
තිසරු කිව්ව කතාව අහලා ගෙදර මිනිස්සු සේරම මූණෙන් මූණ බලාගත්තා.
“මංගලිකා අත්තම්ම විතරක් නෙමෙයි අපි ත් වැරදියි පුතේ. අපිට ඔයාගේ පුංචි වෙනස්කමක් වත් අඳුර ගන්න බැරි වුණා. ටීචර් දවස් ගානක් එවපු පණිවිඩය අපිට හම්බුනේ නෑ අත්තම්මාට එක කියන්න අමතක වෙලා. අත්තම්මා වයස නිසා එයාට එහෙම අමතක වෙන එක සාමාන්‍ය දෙයක්.
අපිට වගකීමක් තිබුණා ඔයා ගැන ටීචර් ඊට මොකද කියන්නෙ කියලා ටීචර් ට කෝල් එකක් දීලා හරි දැනගන්න. අනෝජා මට කෝල් කරේ හැමදාම ඔෆිස් වෙලාවේ. ගෙදර ආවහම එයාට කෝල් එකක් ගන්නම් කියලා හිතුවත් ඔෆිස් එකේ වැඩ ගෙදර උස්සන් ආපු නිසා මට ඒක කරන්න බැරි වුණා.”
තිසරුගේ අම්මා තිසරු බදාගෙන අඬන්න ගත්තෙ එහෙම කියලා.
තාත්තයි අත්තම්මයි ටික වෙලාවක් කල්පනා කලා.
තිසරුගේ අම්මා කියන කතාව ඇත්ත තමයි. දරුවෙක් ලෝකෙට බිහි කළා නම්, එය දරුවාගේ වගකීම කාට කාට හරි පවරලා නිදහස් වෙන්න දෙමව්පියන්ට අයිතියක් නැහැ. අනිත් කාරණාව තමයි දෙමාපියෝ විදිහට දරුවාගේ පාසලේ ගුරුවරුන්ට, අනිත් දෙමව්පියන්ට කතා කරලා පාසලේ එදිනෙදා තොරතුරු දරුවන්ගේ චර්යාවන් පිළිබඳ ගැටලු මොනවා හරි තිබුණද කියන එක දැනගන්න එක වගකීමක්.
විශේශයෙන් රැකියාවක් කරන අම්මලාට දරුවාගේ පාසලේ හෝ පෙර පාසලේ රැස්වීම් වගේ දේවල් මග ඇරෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල ඉඩ ලැබුණු විට ගුරුතුමිය හමුවෙලා අවශ්‍ය තොරතුරු දැනගන්න එක දෙමව්පියන්ගේ වගකීමක්. ඒක අම්මගේ විතරක් නෙමෙයි තාත්තගෙත් වගකීමක්.
අවට වටපිටාවේ වැඩිහිටියන් සහ මේ ලිපිය කියවන ඔබ වුණත් අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණාවක් තියෙනවා. කිසිම වෙලාවක පුංචි දරුවෙකුට අනවශ්‍ය විහිළු කරන්න එපා. ඔබේ හිතේ පුංචිම වත් කහටක් නැති වෙන්න පුළුවන්. මේ නිකන් කටට එන කතාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කතාව අහගෙන ඉන්න කෙනාට ඒ කතාව තමන්ගේ මුළු ජීවිතේම කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා දරුවෙකුට විතරක් නෙමෙයි වැඩිහිටියකුට වුණත් දෙයක් කියනකොට ටිකක් සැලකිලිමත් වෙන්න.