free stats

පුංචි බබාලා ඉන්න අම්මලාට තියෙන ඉතාම වැදගත් ප්‍රශ්නයක් තමයි බබාලා අහිතකර ආහාර වලට ඇබ්බැහි වීම. මේ අතරිනුත් පැණි රස වලට ඇබ්බැහි වීම දරුවන් අතර වැඩියෙන් දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ තත්ත්වයට හේතුවක් වෙන්නේ ඔවුන්ට නිතර පැණි රස ආහාර ගැනීමට අවස්ථාවක් ලැබීම. ඒවගේම ලේසියට සහ පහසුවට සමහර ආහාර වෙනුවට  ආදේශකයක් ලෙස පැණි රස ආහාර ලබා දීම. 

පැණි රස ආහාර වලට ඇබ්බැහි වීම නිසා අනෙක් ආහාර වර්ග වලට ඇති කැමැත්ත නැති වීම, තරබාරු වීම, පෝෂණ ඌණතා ඇති වීම, දත් ආශ්‍රිත රෝග වැඩි වීම, බුද්ධි වර්ධනය අඩාල වීම වැනි ගැටලු ඇති වන්නට පුළුවන්. 

ඒ නිසා අද අපි හිතුවා පැණි රස ආහාර වලට ඇබ්බැහි වෙලා ඉන්න පුංචි පැටවු වෙනුවෙන් එයාලගේ අම්මලාට පොඩි උදව්වක් කරන්න. මේ තියෙන්නෙ තමන්ගේ දරුවාව පැණි රස ආහාරවලින් ඈත් කරන්න පහසු ක්‍රම 5ක්. 

  1. පලතුරු සහ කිරි ආශ්‍රිත පාන වර්ග වලට හුරු කිරීම. 

පලතුරු කියන්නේ ස්වාභාවිකවම පැණි රසයට හුරු රසයක් තියෙන ආහාර වර්ගයක්. එහි යුෂ පානය කිරීම සිරුරට ඉතාම හිතකරයි. ඒ වගේම දිනකට පලතුරු දෙකක් ආහාරයට ගැනීමත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ඉතාම වැදගත් පුරුද්දක්. කිරි වර්ග ආහාරයට ගැනීම මෙන්ම එළකිරි පානය කිරීම මගින් සිරුරට අත්‍යාවශ්‍ය කැල්සියම් ලබාගත හැකියි. ජලය කියන්නේ අපේ සිරුරට අත්‍යවශ්‍යම පානයක්. ඒ නිසා පිපාසයක් දැනෙන වෙලාවට වෙනත් පාන වර්ග වෙනුවට මෙවැනි පාන වර්ග වලට දරුවා හුරු කරන්න. 

  1. 02. ආදරයට පැණි රස පොරොන්දු එපා

කියන දේ අහන නිසා, පාඩම් වැඩ ඉක්මනින් ඉවර කරපු නිසා, කාර්ටුන් බැලුවෙ නැති නිසා කියලා විවිධ හේතු වලට දරුවන්ට පැණි රස දෙන එක නවත්වන්න.

 “අද පුතා ගොඩක් කලා පාඩම් කරපු නිසා මම ඔයා ආසම පැණි රස කෑමක් දෙනවා” 

ගොඩක් අම්මලා මෙහෙම කරන්නේ දරුවා ලවා අදාල කාර්යය හොඳින් කරවා ගැනීමට. නමුත් එයින් දරුවාට සිදුවන හානිය අධිකයි. පැණිරස කන්න තියෙන ආසාවට දරුවා කියන දේ ඇහුවත් මෙවැනි දේවල් නිසා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වලට දරුවා ඇබ්බැහි වෙන්න ඉඩ තිබෙනවා. 

03. සීනි අඩංගු ආහාර වගේම ආදේශක ආහා

ගොඩක් සීනි අඩංගු ආහාර වෙනුවට ආදේශක ආහාර ලබා දෙන්න දැන් දැන් පුරුදු වෙලා ඉන්නවා. ඒක හොඳ තත්ත්වයක්. මේ ලිපිය පළමු කාරණයේ දී අපි සඳහන් කළා වගේ පලතුරු කැබලි, පලතුරු හෝ එළවළු යුෂ වර්ග ආදේශක ආහාර විදිහට ලබා දෙන්න පුළුවන්. 

04. ආහාරයේ ප්‍රමාණය සීමා කරන්න

පැණි රස ආහාර සිරුරට අවශ්‍යයි. ඒවා සම්පූර්ණයෙන්ම අපිට භාවිතයෙන් අත්හරින්න බැහැ. පැණි රස ආහාර, කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර සිරුරේ වර්ධනයට ඉතාම වැදගත් මෙහෙවරක් ඉටු කරනවා. ඒ නිසා පැණි රස ආහාර දුන්නට කමක් නැහැ. නමුත් එහි ප්‍රමාණය සීමා සහිත වෙන්න ඕනේ. මොකද වර්ධනයට අවශ්‍ය පැණි රස සහ සීනි අපි ගන්නා බත්, පාන් වැනි ආහාරවලින් අපිට ලැබෙනවා. 

05. නිවාඩු දවසට පැණි රස.

ඔබ මොන තරම් දරුවා පැණි රස ආහාරවලින් සීමා කළත්, නිවාඩු දවසට පැණි රස කෑම දෙනවා නම්, ෆිල්ම් එකක් බලන වෙලාවට පැණි රස කන්න ඉඩ දෙනවා නම්, එළියට ගිහින් එද්දී බබාට ගෙනත් දෙන්නේ පැණි රස ආහාර නම් එයා පැණි රසට ඇබ්බැහි වෙන එක නවත්තන්න බෑ. 

මේ මොන ක්‍රමය අපි අත්හදා බැලුවත්, දරුවාට පහසුවෙන් පැණි රසට ඇබ්බැහි වෙන එක හේතුවක් හරි තවමත් ඉතුරු වෙලා තිබුනොත් එයා නැවතත් පැණි රස ආහාරයට ගැනීමට පෙලඹෙනවා. ඒ නිසාම ගෙදර අනිත් අයත් පැණි රස ආහාර ගැනීමෙන් වැළකීම වගේම, ශීතකරණයේ පැණි රස ආහාර ගබඩා කිරීමෙන් වැළකීමත් ඉතාම වැදගත්. එයින් බබාගෙ විතරක් නෙවෙයි ගෙදර අය සෞඛ්‍ය සම්පන්න භාවයත් ආරක්ෂා කරගන්න පුළුවන්.