free stats

දරුවෙක් ලැබුනට පස්සේ ශරීරය යථා තත්ත්වයට පත් වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ගොඩක් අම්මලා හිතන්නේ බබා ලැබුනට පස්සේ ඉක්මනින්ම උදරය අඩු වෙලා තිබුන විදිහටම ශරීරය සකස් වෙයි කියලා. පිළිසිඳ ගැනීමත් එක්ක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වුණු උදරය අඩු වීමත් සිදු වෙන්නේ ක්‍රම ක්‍රමයෙන්. මේ හින්දම සමහර වෙලාවට අම්මලා මානසික පීඩාවටත් ලක්වෙනවා. විශේෂයෙන්ම අනිත් අය නිතරම ර්ධනය වෙලා තියෙන උදරය ගැන අහන ප්‍රශ්න නිසා අම්මා කෙනෙකුට ලොකු මානසික පීඩාවක් දැනෙන්නත් පුළුවන්. 

ඇත්තටම ප්‍රසූතියත් එක්ක සිදු වෙනවා හෝමෝන වෙනස්කම් නිසා උදරය නැවත පෙර තිබූ තත්ත්වයට අඩු වීමට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. පැහැදිලි වෙනසක් දැනෙන්න නම් අඩුම වශයෙන් සති හතරක් පහක් අතර කාලයක් ගත වෙනවා. මේ කාලෙදි දරුවාට හොඳින් මව්කිරි ලබා දෙනවා නම් ඒකත් සිරුරේ බර අඩු කර ගැනීමට හොඳම උදව්වක්. 

උදරය වර්ධනය වීමත් එක්කම ඇති වෙන ස්ට්‍රේචි මාර්ක් මානසික පීඩාව ඇතිවීමට බලපාන තවත් හේතුවක්. සමහර විට උදරයේ විතරක් නෙමෙයි, කලවා වල, උකුලේ, උදරය අවට පවා ස්ට්‍රෙච් මාක් දකින්න ලැබෙනවා. මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව නොවුනත් කාලයත් එක්ක එහි අඩුවීමක් සිදු වන නිසා ඒ පිළිබඳව විශේෂයෙන් කණගාටුවට වෙන්න අවශ්‍ය නැහැ. 

කොහොම වුණත් බර අඩු කර ගැනීමට මෙන්න මේ කියන කාරණාවල වැඩි බලපෑමක් තිබෙනවා. 

  1. පිළිසිඳ ගැනීමට පෙර ඔබේ සිරුරේ ස්වභාවය

දරුවෙක් පිලිසිද ගන්න කලින් ඔබට තිබුණේ සිහින් සිරුරක් නම්, ඉක්මනින් සිරුර යථා තත්ත්වයට පත්වෙන්න ඉඩ තිබෙනවා. 

  1. නිසි පරිදි මව්කිරි ලබාදීම

මේ සඳහා මව් කිරි ලබාදෙන කාලය සහ ලබා දෙන ආකාරය ඉතාම වැදගත්. මුලින්ම බබාට හොඳට මව්කිරි ලබා දෙන්න. ඒක තමයි ඔබට තිබෙන පහසුම සහ ඉතාම වැදගත්ම ක්‍රමය. මව් කිරි ලබා දෙන මවකගේ සිරුර යථා තත්ත්වයට පත්වීම මව්කිරි ලබා නොදෙන මවකගේ සිරුර යථා තත්ත්වයට පත් වීමට යන කාලය සීමාවට වඩා ඉක්මන්. හැබැයි ඉතින් දහනය වන කැලරි ප්‍රමාණයට සාපේක්ෂව ගන්නා ආහාර ප්‍රමාණය වැඩි නම් සිරුර යථා තත්ත්වයට පත්වෙන්න කාලයක් ගත වෙනවා. 

  1. මව් කිරි ලබා දෙන ගමන් ආහාර පාලනය කරන්න පුලුවන්ද

ආහාර ටිකක් පාලනය කරා කියලා එයින් මවුකිරි දීමට බාධාවක් ඇති වෙන්නේ නෑ. නමුත් අලුත උපන් දරුවෙක් රැකබලා ගන්න ඔබට ශක්තිය අවශ්‍යයි. ඉතින් මේ ශරීරය අඩු කරගන්න අනවශ්‍ය විදිහට මහන්සි වෙන්න ගියොත් එයින් ඔබව තෙහෙට්ටුවට පත් වෙන්න පුළුවන්. ඒක දරුවාගේ සෞඛ්‍යය තත්ත්වයටත් එතරම් හොඳ දෙයක් නෙමෙයි. පෝශදායි ආහාර ගැනීමත් සරල ව්‍යායාම් කිහිපයකට හුරුවීමත් පමණක්ම කලේ දී වැදගත් වෙනවා. 

  1. හොඳට වතුර බොන්න. 

බර අඩු කරගන්න හිතන කෙනෙක් ආහාර පාලනයට යොමු වෙනවා නම් හොඳින් වතුර පානය කරන එක ඉතාම වැදගත්. මොකද සමහර විට එයාට ආහාරවලින් ලැබෙන ජලය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යන්න පුළුවන්. එවැනි අවස්ථාවක ශරීරය අනවශ්‍ය වියලි භාවයක් ඇතිවෙනවා. 

5. අනවශ්‍ය නින්ද අඩු කරන්න. 

බබා එක්ක වැඩ කරාට පස්සේ මහන්සියක් දැනෙන කොට ටිකක් නිදා ගත්තට කමක් නැහැ. හැබැයි උවමනාවට වඩා නින්දට යන එකනම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද අනවශ්‍ය නින්ද ඔබේ සිරුරේ සීනි මට්ටම ඉහළ දාන්නත් හේතුවක් වෙනවා. 

6. ලුණු සීනි තෙල් පමණට වඩා ගැනීම අඩු කරන්න

මේවායේ “පමණ” පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. මේ කියන්නේ සම්පූර්ණයෙන්ම පාලනය කරල සිරුරට සීනි ලුණු තෙල් ටිකක් වත් ගන්න එපා කියන එක නෙමෙයි. අනවශ්‍ය ප්‍රමාණයට ලුණු අධික ආහාර සීනි අධික ආහාර තෙල්ල දික් ආහාර ගන්නෙ නැතුව නිවසේ පරිභෝජනය කරන ප්‍රමාණය පමණක් ආහාරයට ගැනීමෙන් ඔබේ “පමණ” ආරක්ෂා කරගන්න පුළුවන්. 

උදරය අඩු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ව්‍යායාම පිළිබඳව අපි ඉදිරි ලිපියකින් ඔබ සමග කතා කරන්න සූදානමින් ඉන්නවා.