free stats

Perfect අම්මා කෙනෙක් වෙන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. හුඟක් කාන්තාවෝ විවාහයට කලින් වගේම දරු පිළිසිඳ ගැනීමකට පස්සේ තමන් අනාගතේ සර්ව සම්පූර්ණ අම්මා කෙනෙක් වෙන්නේ කොහොමද කියලා හීන දකින්න පටන් ගන්නවා. හැබැයි ඒ හැම හීනෙකම ඉන්නේ තමන්ගෙ දරුවා විතරයි. හොඳ අම්මා කෙනෙක් වෙනවා කියන්නේ තමන්ගේ මුළු ජීවිතේම දරුවා වෙනුවෙන් කැප කරන එක විතරක්මද? එහෙමත් නැත්නම් සැමියා වෙනුවෙන් පවුල වෙනුවෙන් කැප කරන එක විතරක්මද?

ඇත්තෙන්ම නැහැ. හොද අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. 

මොකක්ද මේ කතාව?

  1. ඔබව ආදරෙන් බලාගන්න. 

පවුලට දෙන්න පුළුවන් පළමු සහ හොදම තෑග්ග ඔබ ඔබව බලා ගැනීමයි. තමන්ගේ සෞඛ්‍යය තත්වය ගැන, සිරුර ගැන, මනස ගැන, හැඟීම් සහ සිතුවිලි පිළිබඳව නිරන්තර අවධානයෙන් හිඳීම ඔබව බලා ගැනීම කියන කාරණයට අයිති වෙනවා. තමන් ගැන හිතන එක අතෑරලා පවුල වෙනුවෙන් වැඩ කරලා අවසානයේදී ඔබ රෝගාතුර වුනොත් මෙතෙක් කාලයක් පවුල වෙනුවෙන් ඔබ්බෙන් ඉටුවන යුතුකම් සියල්ල ඔබට මඟ ඇරෙනවා. එයින් අසරණ වෙන්නේ ඔබේ දරුවන්. ඒ නිසා ඔබව බලා ගැනීම අනිවාර්යයි. ඔබ ශක්තිමත් ව නිරෝගීව ඉද්දි දරුවන් වගේම බවට සිටින අනිත් අයත් ඔබ දිහා බලල සතුටින් ජීවත් වෙනවා. 

  1. ඔබ ඔබටම ආදරේ වෙන්න ඔබවම පිළිගන්න.

අම්මා කෙනෙක් තමන්ගෙ දරුවන්ට දෙන ආදරේට සීමාවක් නැහැ. එහෙම නම් තමන් තමන්ට දෙන ආදරේට ඇයි මෙහෙම සීමාවක්? ඔබ මොනතරම් නම් ඔබව පහලට ඇදලා දානවා ද? ඔබ මොනතරම් ඔබව ම විවේචනය කර ගන්නවද? ඔයා හොද අම්මා කෙනෙක් නෙවෙයි කියලා දවසට කී වතාවක් ඔයා ඔයාට ම කියා ගන්නවද? අසීමිත ආදරයක් හිතේ තියෙන අම්මා කෙනෙක් විදිහට ඇයි මේ ඔබේම වචනවලින් ඔබේම මනස වැරදි විදියට විනිශ්චය කර ගන්නේ? 

දුක හිතෙන වෙලාවට කේන්ති ගිය වෙලාවට තමන්ට ම බැන ගන්නවා වෙනුවට නිශ්ශබ්ද වෙන්න. දරුවො එක්ක ගනුදෙනු කරද්දි ධනාත්මකව හිතන්න පුරුදු වෙනවා නම් තමන් එක්ක ගනුදෙනු කරන වෙලාවටත් ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඔබට පුළුවන් වේවි. 

03. ඔවුන්ට ඉඩ දෙන්න

මේ ජීවන කාල පරාසයේදී ඔබේ දරුවන් ඔබ හැරුණු විට බොහෝ අය සමඟ සබඳතා ආරම්භ කරයි. සබඳතා නතර කරල දායි. ඒ අවස්ථා දෙකේදීම ඔබට පුළුවන් දරුවන්ගේ හැඟීම් තේරුම් ගන්න. ඔවුන් එක්ක ඉන්න. අම්මා කෙනෙකුට තමන් එක තියෙන්නෙ ජීවිත කාලය පුරාම ඇතිවෙන බැඳීමක්. ඒ බැඳීම කවදාවත් නැති වෙන්නේ නැහැ. හැබැයි ඒ බැඳීම ඉස්සරහට දාලා දරුවන්ගෙ තීරණවලදී බලපෑම් කරන්න ඔබට අයිතියක් නෑ. නමුත් ඔවුන් එක්ක ඉන්න, අවවාද දෙන්න, දේවල් කියලා දෙන්න, පරිස්සම් කරන්න, ආදරය දෙන්න ඔබට බාධාවක් නෑ. 

04. දරුවන්ගෙන් තොර ඔබේම ලෝකයක් හදාගන්න.

අම්මා කෙනෙක් විදිහට නිතරම දරුවෝ එක්ක ඉන්න එක හොඳ දෙයක්. නමුත් ඔබටම කියලා ජීවිතයක් තිබිය යුතුයි. පුංචි දරුවෙක් බලා ගනිද්දි එයාව තුරුළු කරගන්න එක, එයාට කන්න බොන්න දෙන එක, එයාව නාවන එක, නිදි කරවන එක ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුයි. හැබැයි මේ දේවල් දරුවාට තනියෙන් කරගන්න පුළුවන් වයසට ආවට පස්සෙත් ඔබ දරුවාගේ පස්සෙන් යන්න අවශ්‍ය නැහැ. එයාලට එයාලගේ යාලුවෝ එක්ක ඉන්න ඕනේ, අධ්‍යාපන කටයුතු එක්ක කාර්යබහුල වෙන්න ඕනේ, කැමති දේවල් කරන්න කැමති ක්‍රියාකාරකම් කරන්න ඔබ ඔවුන්ගෙන් අයින් වෙන්න. 

05.සමාව ඉල්ලන්න ඉගෙනගන්න.

ඔබ අතින් වරදක් සිද්ධ වුණාට පස්සේ එහෙම නැත්නම් කාට හරි හානියක් වෙන දෙයක් සිද්ධ වුණාට පස්සේ, ඒ වගේම යම් දෙයක් ඔබ අතින් නැති උනාට පස්සේ, අමතක උනාට පස්සේ ඒ සිදුවන වරද වෙනුවෙන් සමාව ඉල්ලන්න පුරුදු වෙන්න. “මට සමාවෙන්න” මේ වචන ටික කියන්න අමාරු නෑ. ඒක සබඳතා ආරක්ෂා කරගන්න හොඳ පියවරක්. 

06. දරුවන්ට ඇහුම්කන් දෙන්න

හොඳ අම්මා කෙනෙක් වෙන්න ඕන නම් ඔයාගේ දරුවාගේ ප්‍රතිපෝෂණය එහෙමත් නැත්නම් feedback එක ඉතාම වැදගත්. ඔබ හොඳම කෙනෙක් වුණා කියලා ඔබට විශ්වාසයක් තිබුණ වුණත් ඇත්තටම ඔබ හොඳම කෙනෙක් වුණාද නැද්ද කියලා දන්නේ ඔබේ දරුවා. ඒ නිසා එයාගේ වචන වලටත් ඇහුම්කන් දෙන්න. සමහරවිට එයා කියන දේවල් වැරදි ඇති. ඒ වෙලාවට ඔබ දරුවත් එකා ගෙව් කරන්න යන්න එපා. එයාට ලං වෙලා එයා එක්ක කාලය ගත කරලා ඔබ හොඳම අම්මා කෙනෙක් බව දරුවාට හැඟෙන්න ඉඩ අරින්න. 

07. දරුවා එක්ක කාලෙ ගත කරන්න.

මේ කතා කරන්නේ quality time එකක් ගැන. දරුවා එක්ක කාලය ගත කරනවා කියලා කියන්නේ දරුවා පැත්තකින් වාඩි කරවගෙන ඔයා ෆෝන් එක බලන එකට නෙවෙයි. දරුවා එක්ක කතා කරන්න, එයා එක්ක එයාගෙ ලෝකෙ ඉන්න, එයාට හොඳ යාළුවෙක් වෙන්න එයා වගේම වෙන්න. ඔබ කාර්යබහුල ඇති. පුංචි වෙලාවක් ඒ වෙනුවෙනුත් වෙන් කරන්න. 

08. වැරදි හැසිරීම් සහිත දරුවන් වීම වළක්වා ගන්න. 

ඔබේ අවවාද නිසාම ඔබ නිසාම සමහරවිට දරුවෝ වැරදි හැසිරීම් සහිතයි බවට පත්වෙනවා. ඔබට ඔබ අවට ඉන්න කෙනෙකුගේ ජයග්‍රහණය දරාගන්න බැරි නම්, තවත් කෙනෙකුට ඔබට නැති දෙයක් ලැබෙන එක ඔබට ඉවසගන්න බැරි නම්, අනුන්ව කපන අනුන්ට වැරදි දේවල් කරන නරක දරුවෙක් බිහිවෙන එකෙකුට වලක්ව ගන්න බෑ. ඒ නිසා මුලින්ම ඔබ ආදර්ශමත් වෙන්න. 

09. ඔබේ හැඟීම් පිටට පෙනෙන්න සලස්වන්න.

ඒක දරුවන්ට ඔබේ emotions හඳුනාගන්න හොඳ අවස්ථාවක්. ඔබටත් දුක, සතුට, මහන්සිය දැනෙනවා කියලා ඔවුන් අවබෝධ කරගන්න එතකොටයි. උදාහරණයක් විදිහට යම් හේතුවක් හින්දා ඔබ දුකෙන් ඉන්නවනම් අඩුම වශයෙන් ඔබේ හිත හදන්න ” අම්මේ ඔයා දුකින්ද ඉන්නෙ, ඕන දෙයක් මට කියන්න මම ඔයා එක්ක ඉන්නවා” කියලා ඔබ වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න පුළුවන් දරුවෙක් ඔබට ඉඳීවි. 

10. දරුවන්ට ඔවුන් වෙන්න දෙන්න.

දරුවන් කියන්නේ ඔබට සැබෑ කරගන්න බැරිවුණු හීන හැබෑ කරන්න ආව අය නෙවෙයි. අපිට ඔවුන්ට අවවාද දෙන්න පුළුවන් නමුත් බලපෑම් කරන්න බැහැ. යන මාර්ගය පෙන්නලා දෙන්න පුළුවන් උනාට ඒ මාර්ගයේ අනිවාර්යෙන්ම යන්න කියලා කියන්න අපිට බෑ. ඒ නිසා ඔවුන්ට ඔවුන් කැමති පාරේ යන්න දෙන්න. ඔබ ආලෝකයක් පමණක් වෙන්න.