free stats

වෛද්‍ය අරුණි ලියනමාන

එකිනෙකට වෙනස් දෙමාපිය භාවිතාවන් ගණනාවක් සමාජය තුළ නිරීක්ෂණය වනවා. මේවායෙ පොදු ලක්ෂණ සලකා බැලීමෙන් ප්‍රධාන කුලකයන් හතරකට වර්ග කළ හැකියි. මේවායින් දරුවාගේ ජීවිතයට සාධනීය මෙන්ම නිශේධනීය බලපෑම් ඇති කරනවා. සෑම දෙමාපියෙකුගේම අපේක්ෂාව තම දරුවාට වඩා යහපත් ජීවිතයක් උරුම කරවීම හා මනා පෞරුෂයකින් හෙබි සාර්ථක පුද්ගලයෙකු සමාජගත කිරීම බව නොරහසක්. නමුත්, ඒ සඳහා හුදු අපේක්ෂාව පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබ අනුගමනය කරන ක්‍රම ශිල්ප හා ඔබේ භාවිතාවන් බොහෝ සෙයින් තීරණාත්මක ලෙස බලපානවා. එනිසා ඔබේ දෙමාපිය භාවිතාව හා භූමිකාව පිළිබඳ නිසි ඇගැයීමක් හා තක්සේරුවක් ඔබට තිබිය යුතුයි. මේ සටහන ඒ වෙනුවෙන් කෙරෙන මගපෙන්වීමක්. මෙයින් කරුණු උකහා ගෙන වඩාත් ඵලදායි ඔබටම අනන්‍ය වූ දෙමාපිය භාවිතාවක් ඔබ විසින්ම ගොඩනගා ගන්න.

  1. අධිකාරීමය භාවිතාව.

මෙහිදී ඔබ ඉතා දැඩිව දරුවාව පාලනය කිරීමට පෙළඹෙනවා. ඔබේ දරුවා කිසිදු ප්‍රශ්නයක් නොනගා කීකරුව උපදෙස් පිළිපැදීම (යඔබ පවසන දේ එලෙසින් ඉටුකිරීම) අපේක්ෂා කෙරෙනවා. පෙරළා ප්‍රශ්න කිරීමේ හෝ හේතු විමසීමේ නිදහසක් දරුවාට නැහැ. යම්හෙයකින් දරුවා එසේ කළහොත් එය එකට එක කීමක් හෝ අකීකරු වීමක් ලෙස සලකා දරුවාව දෝෂාරෝපණයට හෝ දණ්ඩනයට පවා ලක්විය හැකියි. මෙබඳු මාපියන් තම දරුවාගේ හැඟීම් හෝ අදහස් කෙරෙහි තැකීමක් නැහැ. දණ්ඩනයෙන්, නීතිවලින් හා ඉතා සීමාකාරී රාමුවක් තුළ දරුවාව හික්මවීමෙන් දරුවාට යහපතක් වෙතැයි මෙබඳු මාපියන් විශ්වාස කරනවා.

නමුත් ඇත්තටම මෙබඳු මාපිය චර්‍යාවන් දරුවාට අහිතකර ලෙස බලපානවා. මෙලෙස හැදී වැඩෙන දරුවන් බොහෝවිට අනාරක්ෂිත හැඟීමකින් පෙලෙනවා. එමෙන්ම ස්වයං අභිමානය, සමාජශීලීබව, ස්වාධීන බව වැනි නායකත්ව ගුණාංග ඔවුන් තුළ රෝපණය වන්නේ නැහැ. මීට හේතුව පවුල තුළ දරුවාගේ අදහසට, මතයට වටිනාකමක් නොලැබීම හා දෙමාපියන් ඔවුන් වෙනුවෙන් ලොකු කුඩා සියලු තීරණ ගැනීමයි. තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ දරුවාට කිසිදු ඉඩක් නැහැ.

අනෙක් අතට, මෙම කුඩා කල අත්දැකීම් ප්‍රචණ්ඩකාරී වැඩිහිටියෙකු නිර්මාණය කිරීමට අඩිතාලම ද විය හැකියි. දරුවන් බොහෝ දේ දෙමාපියන් දෙස බලා ඉගෙනගන්නවා. අනුකරණය කිරීමට පෙළඹෙනවා. ඔවුන් බොහෝ විට සබඳතා තුළ ප්‍රචණ්ඩකාරී හා ආවේගශීලී විය හැකියි. එනිසා නිරෝගී සබඳතා පැවැත්වීමෙහිලා ඔවුන් බොහෝවිට අසමත් වනු ඇති.

කුඩා කල සිටම මෙබඳු වටපිටාවක වැඩෙන දරුවන් බොරු කීමට පෙළඹෙනවා. මන්ද දෙමාපිය දඬුවමට හා තරවටුවලට ඔවුන් අධික බියක් දක්වන නිසාවෙන්. එනිසා පසුකාලීන වැඩිහිටියාද අවංකභාවයකින් යුක්ත නොවිය හැකියි. තවද, දැඩි පීඩනයන්ට ගොදුරුවීම නිසා හීන පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු වීමටද වැඩි ඉඩකඩක් තිබෙනවා.

  1. ප්‍රජාතාන්ත්‍රික භාවිතාව.

මෙම භාවිතාවේදී සීමාවන්, රීතීන් දෙමාපිය ඔබ විසින් දරුවාට පණවනවා. දරුවාගේ හැසිරීම කෙරෙහි සැලකියයුතු පාලනයක් දෙමාපියන් සතු වනවා. අධිකාරීමය ස්වභාවයේ දෙමාපියන් දරුවන්ව හික්මවන්නේ හේතු නොදක්වා කෙරෙන ඍජු අණකිරීම්, විධානයන් හා තරවටුකිරීම් වලින්. නමුත් මෙහිදී එය එසේ සිදු නොකර, ඔබ යම් විධානයක් කිරීමෙන් අනතුරුව එසේ සිදුකළේ ඇයිද (හේතු), යන්න දරුවාට පැහැදිලි කරනවා. දරුවාගේ මතයද විමසනවා. ඒ පිළිබඳව වන දරුවාගේ අදහසට වටිනාකමක් ලබා දෙනවා. දරුවාගේ එකඟතාව පිළිබඳ සංවේදී වන නම්‍යශීලී ස්වභාවයක් මෙම ප්‍රවේශයේදී දැකිය හැකියි.

තරවටුකිරීම් වෙනුවට අවබෝධය ඇතිකිරීම මෙහිදී වැඩි වශයෙන් යොදාගැනෙනවා. ප්‍රශංසා කිරීම්, දිරිමත් කිරීම්, ස්වයං විනය වර්ධනය කිරීම්වලින් මෙම දෙමාපිය භූමිකාව යුක්තවනවා. දරුවාගේ අදහසද සැලකිල්ලට ගැනෙන, අදාළ තීරණයට හේතු දක්වන නිරෝගී සංවාද පවතින “ප්‍රජාතන්ත්‍රවාදී” මුහුණුවරක් මෙම ප්‍රවේශයේ දැකිය හැකියි. දඬුවමට ලක්නොවී, අත්වැරදීම්වලින් ඉගෙනීමට දරුවාට අවස්ථාව ලැබෙනවා.

මෙබඳු දෙමාපිය භූමිකාවද හැදී වැඩෙන දරුවා ස්වාධීනබවකින්, ස්වයං අභිමානයකින්, සමබර පෞරුෂයකින් යුක්තයි.

  1. පමණට වඩා ලිහිල් භාවිතාව.

මෙබඳු මාපියන් දරුවන් හික්මවීම කෙරෙහි පමණ ඉක්මවා ගිය ලිහිල් ප්‍රවේශයක් අනුගමනය කරනවා. ඇතැම්විට, ඔවුන් දරුවන් වෙනුවෙන් රීතීන් සමූහයක් පණවා, ඒ තුළ දරුවා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා වන්නට පුලුවන්. නමුත්, මෙම කුලකයට අයත්වන මාපියන් ඒ පිළිබඳ පසුවිපරම් කරනුයේ ඉතා අල්ප වශයෙන්. සරලව පැහැදිලි කරන්නේ නම්, ඔවුන් රීතීන් පැණවීම යන කොටස පමණක් ඉටුකර, දරුවා ඒතුළ කටයුතු කරන්නේදැයි සොයා බැලීම හා එසේ නොකරන්නේ නම්, ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම අමතක කරනවා. මෙය තරමක් දුරට වගකීම් විරහිත දෙමාපිය භාවිතාවක්.

මෙබඳු මාපියන් ඉතාම පහසුවෙන් දරුවාගේ වැරදි හැසිරීම්වලට සමාව දෙනවා. පමණට වඩා දරුවාගේ උවමනාවන් කෙරෙහි සංවේදී වන ඔවුන්, දරුවාට නිරතුරුව පාහේ සිතැඟි පරිදි කටයුතු කිරීමට අසීමිත නිදහසක් දෙනවා. ඔවුන් දෙමාපිය භූමිකාව පමණට වඩා “සරල” තැනක ඔවුන් තමා විසින්ම ස්ථානගත කිරීම නිසා දරුවාගේ පාර්ශවයෙන් පෙරළා ලැබිය යුතු නිසි දෙමාපිය ගෞරවයද නිසිපරිදි නොලැබෙනවා වන්නට පුලුවන්. දරුවා, දෙමාපිය උපදෙස් හා මගපෙන්වීම් කෙරෙහි නිසි බරතැබීමක් කරන්නේ නැහැ. එනිසාම, නිශ්චිත රීති රාමුවක ඔවුන් හික්මවීමට මෙම වර්ගයේ ප්‍රවේශයන් අසමත් වන බැව් පුන පුනා කියන්නට අවශ්‍ය නැහැ.

  1. නොසැලකිලිමත් භාවිතාව.

මෙය ඉතාම අහිතකර තත්වයක්. අඩුම තරමින් මෙබඳු මාපියන් ස්වකීය දරුවා හික්මවීම සඳහා රීතීන් සමූහයක් නඩත්තු කිරීමටවත් උනන්දු වන්නේ නැහැ. දරුවාට රිසි සේ වැඩෙන්නට ඉඩ හරිනවා. ඔවුන්ගේ ජීවිතයට දෙමාපිය භූමිකාවක බලපෑම ඉතාම අල්පයි. මෙලෙස හැදී වැඩෙන දරුවාගේ අනාගතය බොහෝදුරට අනාරක්ෂිතයි. ඇතැම්විට දෙමාපියන් සිතාමතා තම දරුවාට ඔබින දෙමාපිය භූමිකාව ඉටු කිරීම මඟහරිනවා නොවන්නට පුලුවන්. එසේ නමුත්, එය නිදහසට කරුණක් නොවන බව දෙමාපියන් සිත් හි තබාගත යුතුයි. මෙම පවුල් තුළ නිරෝගී මාපිය-දූදරු සම්බන්ධයක් නැහැ. දරුවන් තුළ ශාරීරික හා මානසික ගැටලුද නිරීක්ෂණය කරන්නට හැකියි. ඔවුන් නිරතුරුව අනාරක්ෂිත හැඟීමකින්, හුදෙකලාවකින් පෙළෙනවා. විවිධ අපයෝජනයන්ට පවා පහසුවෙන් ගොදුරු විය හැකියි. මෙලෙස පෞරුෂ හීනතාවන්ගෙන් පෙලෙන වැඩිහිටියෙකු ලෙස සමාජගතවන පුද්ගලයන්, වැඩදායී පුරවැසියෙකු වන්නට අසමත් වීම නොරහසක්.

පළමුකොටම දෙමාපිය ඔබ අවබෝධ කරගතයුතු කාරණය වනුයේ දරුවෙකු මෙලොවට බිහිකළ පමණින් මාපියෙකු ලෙස ඔබේ කාර්‍යභාරය සම්පූර්ණ වන්නේ නැහැ. දරුවෙකු යනු හුදු ලිංගික කාර්‍යක ප්‍රතිඵලයක් ලෙස පමණක් යමෙකු සිතන්නේ නම්, දෙමාපිය භූමිකාව සඳහා කිසිලෙසකින් හෝ එවැන්නන් යෝග්‍ය වන්නේ නැහැ. මීට පෙර පළ කළ ලිපි මාලාව පුරාවටම විටින් විට සිහිපත් කළ පරිදි, දරුවා යනු දිගුකාලීන ව්‍යාපෘතියක්. එය භාරදූර වගකීම් ගොන්නක්. මේවා සාක්ෂාත් කිරීම තරමක් අපහසු නමුත්, සාක්ෂාත් කළ නොකැකි දේ නොවෙයි. ඒ සඳහා යම් අධිෂ්ඨානශීලී කැපකිරීමක් කළයුතු වෙනවා.