free stats

පසු ප්‍රසව විශාදය ගැන අපි නිතර කතා කරලා තියෙනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් දැනුවත් කර නිසි ප්‍රතිකාර තුළින් රෝගය වළක්වා ගන්න පුළුවන් බවත්  අපේ ලිපි මගින් දැනුවත් කරලා තියෙනවා. අද කියන්න යන්නේ පසු ප්‍රසව විශාදය වගේම මව්වරුන්ට වද දෙන තවත් රෝගී තත්ත්වයක් ගැන. ඒ තමයි පසු ප්‍රසව බිය හෙවත් Postpartum Anxiety තත්ත්වය. 

පසු ප්‍රසව බිය තත්ත්වයට මුහුණ දීමෙන් පසුව තමාගේම උත්සාහයෙන් සහ අවබෝධයෙන් නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වුණු මවකගේ කතාවක් අද අපේ වෙබ් අඩවිය තුළින් ඔබට ගෙන එනවා. 

“මගේ දෙවැනි බබා ලැබුණට පස්සේ එක පාරම මට හිතෙන්න ගත්තා දෙවැනි බබා ගේන්න තරම් මම සූදානම් වුණේ නෑ නේද කියලා. ඒත් එක්කම ඇත්තටම මට ඇති උනේ ලොකු බයක්. ඒ කාල සීමාවේ ලෝකයම දරුණු ලෙස කොවිඩ් වසංගතයට මුහුණ දීලා තිබුණා. ඒ නිසාම මම වැඩ කළේ ගෙදර ඉදලා. ඔබ දන්නව ඇති කාර්යාලයට යනවට වඩා ගෙදර ඉදලා වැඩ කරන එක ටිකක් අමාරුයි. ඒ නිසාම මම ගොඩක් තැන්වලදී අපහසුතාවයටත් බියටත් පත් වුණා. මේ හේතුව නිසාම වෙන්න ඇති මට anxiety තත්ත්වය වර්ධනය වෙන්න ඇත්තේ. 

බබා ලැබිලා හරියටම අවුරුද්දක් වගේ යද්දි මට තේරුණා මගේ තත්ත්වය සාමාන්‍ය නෑ කියලා. මුලින්ම මම හිතුවේ මට තියෙන්නෙ පසු ප්‍රසව විශාදය කියලා. නමුත් මම තේරුම් ගත්තා මේක ඊට වඩා වෙනස් බව. හැමදාම උදේට මට ලොකු බයක් දැනුණා. ඒක ලොකු පීඩනයක්, ඒ වගේම දුකක්, කණගාටුවක්, ලොකු ආතතියක් හැම දවසකම මට දැනෙන්න ගත්තා. මට හිතුනේම මට බබාව හරියට බලාගන්න බැරි වෙයි කියලා.”

මෙතැනදී කිව යුතු වැදගත්ම කාරණය වෙන්නේ මේ තත්ත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් කියන එකයි. ඒ නිසා මෙවැනි තත්වයක් ඇති උනාට පස්සේ තමන්ටම චෝදනා එල්ල කර ගැනීම, මේක තමන්ගෙ වරදක් කියල හිතන එක නතර කරගන්න ඕන. මේ තත්ත්වය ඇති වෙන්නේ හෝමෝන වෙනස්වීමක් නිසා. එක කිසිම වෙලාවක ඔබේ වරදක් නෙමෙයි. ඔබට හිතෙනවා නම් දරුවව නිවැරදිව හරියාකාරව බලා ගන්න බෑ කියලා ඒ වෙනුවෙන් දෛනික ක්‍රියාපටිපාටියක් සකස් කරගන්න. 

තමන්ට හිතෙනවා නම් තමන් දැන් ඉන්න තත්ත්වය සාමාන්‍ය නැහැ කියලා මෙන්න මේ ලක්ෂණ තියනවද කියලා ටිකක් කල්පනා කරලා බලන්න. 

රාත්‍රියේදී හොඳ නින්දක් නොලැබීම

ආහාර අරුචිය

ඔක්කාරය සහ උදරයේ වේදනාව

හදවත ගැහෙන වේගය වැඩිවීමක්

කෙටි හුස්ම ගැනීමක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක්

ආතතිය

බර අඩුවීම

නුරුස්සනා බව සහ කලකිරීම

ඉක්මනින් කේන්ති යාම

අමතක වීම, යමකට එක අරමුණකින් කටයුතු කිරීමට නොහැකි වීම

යම් විනාශයක් පිළිබඳව නිරන්තර බියක් ඇතිවීම

ඇඬීම හෝ දුක ඇතිවීම

සිදු නොවන යමක් ගැන බියට පත්වීම

ඔබ කරන දේවල් වැරදි යයි ඇතිවන ලැජ්ජාව සහ වරදකාරී බව

නොසන්සුන්තාවය සහ ආතතිය

“මට ඇත්තටම දැනුනේ මගේ ශක්තිය හීන වෙලා කියලා. තව දුරටත් ජීවත් වෙන්නවත් ශක්තියක් නෑ කියලා මට හිතුණා. මගේ බය වැඩි වෙන්න හේතුවක් වුණේ ඒ සිතුවිල්ල. ඒ වෙලාවෙදි මම හිතන්න ගත්තා මේක සාමාන්‍ය නෑ කියලා. මම ම තමයි තේරුම් ගත්තේ  මේ තත්ත්වයට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි කියලා. සමහර වෙලාවල් වල මට ගොඩක් කේන්ති ගියා. වැඩ වැඩි වෙද්දි ආයතනයක ප්‍රශ්න තියෙන මට්ටමටම ඒ කේන්තිය දුරදිග ගියා. ඒ නිසාමයි මට මේ තත්ත්වය පාලනය කරගන්න ඕන වුණේ.”

ඇය වැඩිදුරටත් එහෙම කිව්වා. 

නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් අනතුරුව උපදේශනය හා ඖෂධ ප්‍රතිකාර මඟින් ඇය මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත් කර ගැනීමට සමත් වුණා. වඩාත් වැදගත්ම දෙය වුණේ මේ කාලසීමාවේදී ඇයගේ සමීපතමයන්ගෙන් ඇයට ලැබුණු සහය. ඒ සහාය ඇයගේ තත්ත්වය සමනය කරන්නට ප්‍රතිකාර වලටත් වඩා ලොකු හේතුවක් වුණා. 

තමන් මුහුණ දෙන තත්ත්වය සඟවන්නේ නැතිව වෛද්‍යයවරයා වෙත හෙලි කිරිම මගින් නිසි ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව උදා වුණු බව ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.