free stats

රැකියාවේ නිරත වෙන මව්වරුන්ට දරුවා බලා ගැනීම සඳහා වගේම නිසි පරිදි මව්කිරි ලබාදීම සඳහා මාස තුනක කාලයක නිවාඩුවක් ලැබෙන බව අපි දන්නවා. මේ නිවාඩුව හඳුන්වන්න ප්‍රසූත නිවාඩුව නමින්. ප්‍රසූත නිවාඩු අවසන් වුණාට පස්සේ නැවත රැකියාවට පිටත් වෙන මවුවරුන්ට ඇතිවන ප්‍රදාන ගැටලුවක් තමයි බබාට කොහොමද මවුකිරි දෙන්න කියන කාරණය.

මෙවැනි අවස්ථාවකදී මව්කිරි දොවා ලබාදීම තමයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ. මව් කිරි දෙවීමේ දී සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද රාශියක් තිබෙනවා. මෙහිදී පිරිසුදුකම ඉතාම වැදගත්. අම්මා කෙනෙකුට හිතෙන හිතෙන විදියට, හිතෙන හිතෙන උපකරණ පාවිච්චි කරලා මව් කිරි දොවන්න බෑ. ශීතකරණයේ මව්කිරි ගබඩා කිරීමේදී ඒ සඳහා බලපාන නියමිත උෂ්ණත්වයක් තිබෙනවා. ශීතකරණයේ මව්කිරි ගබඩා කරද්දි අවට තිබෙන එළවළු වර්ග, පලතුරු වර්ග, වෙනත් ආහාර වර්ග මස් මාළු එක්ක මව්කිරි ගබඩා කරන්නේ නැහැ. එයින් මව්කිරි වලට විවිධ බැක්ටීරියා සහ විෂබීජ ඇතුළු වෙන්න පුළුවන්. එය මව්කිරි ඉක්මනින් නරක් වීමට වගේම ආසාත්මිකතා ඇති වීමට හේතුවක් වෙනවා.

ඒ වගේම මව් කිරි දෙවීම සඳහා දවසේ සෑම වේලාවක් ම සුදුසු නැහැ. ඒ සඳහා වඩාත් සුදුසු වේලාවන් තිබෙනවා. මේ වේලාව ගලපා ගත යුත්තේ ඔබේ කාර්යබහුල වෘත්තිය ජීවිතයට ගැටලුවක් ඇති නොවන පරිදි ඒ වගේම දරුවාගේ මව්කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කළ හැකි පරිදි යි. දරුවාගේ මව්කිරි බිමේ චර්යාව අනුව ඔබේ කාලය සකස් කරගන්න පුළුවන්. කාලය සොයාගැනීමේ වගකීම ඇත්තේ මව ට යි.

සමහර මව්වරුන් ඒ සදහා උදය කාලය තෝරාගන්නවා. පාන්දර කාලය මේ සදහා වඩාත් යෝග්‍යයි. ඒ වගේම 12 න් පසු අතරමැද කාලයේ මව්කිරි දෙවීම වඩාත් යෝග්‍ය බව පැවසෙනවා. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මවගේ මානසික නිදහස හා වඩාත් සුදුසු තමාට ගැලපෙන කාලය තෝරා ගැනීමයි.

තවත් මව්වරුන් වූ පිරිසක් රාත්‍රී කාලය මව් කිරි දෙවීම සඳහා යොදා ගන්නවා. දරුවා නින්දට ගිය පසු ව සියලු වැඩ කටයුතු අවසන් වී මානසිකව මෙන්ම කායික ව නිරවුල් වූ පසු ව යම් මවක් මෙම කාල සීමාව තෝරා ගැනීම ගැටළුවක් නොවේ. වඩාත් වැදගත් වන්නේ ඔබට සුදුසු කාලය තෝරා ගැනීම සහ එයින් අඛණ්ඩව දරුවාට මවුකිරි ලබාදීමට බාධාවක් ඇති නොවීමයි. දරුවාගේ මුල් මාස 6ක කාලය මව්කිරි පමණක් ආහාරය ලෙස ලබාගන්නා නිසා අඛණ්ඩව නිවැරදිව මව් කිරි ලබාදීම මවගේ වගකීමක් වනවා.