ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති මොල්ලිගොඩ
ඔබගේ ළදරුවාගේ කායික වර්ධනය පිළිබඳව ඔබ උත්සුක වෙනවා හා සමගම ඔබ ඔබගේ දරුවාගේ මානසික වර්ධනය ඒ නියමිත වයස්වලදී නිසි ආකාරයෙන් සිදුවෙනවාදැයි දැනගන්නේ කෙසේද? මානසික වර්ධනය (සංවර්ධනය) හරි ආකාරයෙන් සිදුවෙනවා නම් එම දරුවා ස්වාධිනත්වය කරා යන ගමනේදී ක්‍රම ක්‍රමයෙන් යම් ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්නවා.
මෙවැනි ක්‍රියාකාරකම් කිරීමට කිසියම් ප්‍රමාදයක් තිබෙනවා නම්, සමහරවිට මුලින්ම එය ප්‍රමාද වීමට හේතුව හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාර ලබාදී එමගින් ඇති විය හැකි සංකූලතා අවම කළ හැකියි.උදාහරණ වශයෙන් ඔබගේ දරුවා කතාවට ප්‍රමාද නම් සමහරවිට එය ඇසීමේ දුර්වලතාවයක් නිසා විය හැකියි. ඇසීමේ දුර්වලතාවය නිසි අයුරින් ප්‍රතිකාර කළොත් එම දරුවාට සාර්ථකව කතා පුහුණුවට යොමු කොට එම දරුවා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට සාර්ථකව සමාජ ගත කළ හැකියි.
ඔබගේ දරුවා හිස කෙලින් කරන්න, ඉඳගන්න, ඇවිදින්න ප්‍රමාද වෙනවා නම් එය දරුවාගේ ස්නායු පද්ධතියේ හෝ මාංශ පේශීවල යම් ආබාධයක් විය හැකියි. සමහර රෝග මුලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලැබෙනවා නම් රෝගය සම්පූර්ණයෙන්ම සමහර විට සුව කළ හැකියි. ඉතින් ඔබගේ ළදරුවාගේ මානසික වර්ධනයේ පිය සටහන් ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය වන්නේ ඇයි කියා දැන් වඩා පැහැදිලි ඇති.මේ පිළිබඳව දැනුවත් වෙන්න ඔබ, ඔබගේ දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන හොඳින් කියවා ඒ වගු නියමිත කාලවලදී පුරවා කිසියම් ප්‍රශ්න තිබෙනවා නම් පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දන්වන්න.
දරුවෙකුගේ උපතේ සිට මුල් අවුරුදු 5 දක්වා මානසික වර්ධන පියවර (අපේක්ෂිත සංවර්ධනය) එම සෞඛ්‍ය වර්ධන සටහනෙහි අඩංගුයි. සාමාන්‍යයෙන් එම ක්‍රියාකාරකම් කාණ්ඩ හතරකට වෙන් කිරීමක් සිද්ධවෙනවා. මෙලෙස කාණ්ඩ හතරකට දැමීමෙන් සමහර අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් එකතු කිරීමක් සිද්ධ වෙනවා.
1* ඇසීම හා කතාව
2* පෙනීම සහ අත්වල සියුම් ක්‍රියාකාරකම්
3* චලනයට සහ ඉරියව්වලට වැදගත් ක්‍රියාකාරකම්
4* තම ස්වාධීනත්වයට (එනම් දෛනික ක්‍රියාකාරකම්) සහ සාර්ථකව සමාජගත වීමට අවශ්‍ය නිපුණතා දියුණු කිරීම.
ඇසීම සහ කතාව
ඔබගේ දරුවාගේ කන් ඇසෙනවාද කියා ඔබට උපතේ සිටම නීරික්ෂණය කළ හැකියි. එනම් හදිසි විශාල ශබ්දයකට දරුවා තිගැස්සෙනවාද සමහරවිට දරුවා මවගේ දරු නැලවිල්ලට හෝ මවගේ කටහඬට හැඬීම නතර කර සුවසේ නිදාගන්න පෙළඹෙනවා. එමගින් අපට දරුවාගේ කන් ඇසෙන බවට ඉඟියක් ලැබෙනවා.
ගර්භාෂයේ සිටින අවධියේදී දරුවා මවගේ කටහඬ හොඳින් හඳුනනවා. මාස 4 වැනි වයසකදී මව නොපෙනීම, මවගේ කටහඬට ප්‍රතිචාරයක් ලෙස සිනාසෙන්න හෝ හිස හෝ ඇස් දෙක හරවා බලන්න හැකියාව තිබෙනවා.පෙනීම සහ අත්වල සියුම් ක්‍රියාකාරකම් කිරීමේ නිපුණතාවය.
අලුත උපන් දරුවකු දීප්තිමත් ආලෝකයකදී ඇස් තදින් වසා ගැනීම සහ තම මව දෙස තත්පර කිහිපයකට බැලීමේ හැකියාව තිබෙනවා. මව්කිරි දෙන සෑම විටම දරුවාගේ ඇස් ඔබේ ඇස් වලට හසුකරගන්න උනන්දු වන්න. එය කිරීමෙන් දරුවාගේ මානසික වර්ධනය දියුණු කිරීමට හැකි වෙනවා.
මාස 3-4 ක පමණ වයසේදී ඉතා උනන්දුවෙන් ඔහුගේ හෝ ඇයගේ අත් දෙක දිහා බලනවා සහ අත් දෙකම කට ඇතුලට දමනවා. තම අත් දෙක තමාගෙ මුල්ම සෙල්ලම් බඩුවයි. ඔබ එම සෙල්ලම දරුවාට ඔහුගේ අත් දෙක සමග කිරීමට ඉඩදෙන්න. එය එක්තරා ක්‍රියාකාරකමක්. අතට හසුවෙන සෑම දෙයක්ම කටින් ඔවුන් හඳුනාගන්නවා.
මාස 6 කදී පමණ දරුවකු ඉදිරියෙන් තිබෙන සෙල්ලම් බඩුවක් අත් දෙකම ඉදිරියට ගෙනැවිත් ඒ දෙය අල්ලා ගන්න උත්සහ කරනවා. ඒ වයසේදී එක් අතක් පමණක් දරුවා වැඩිපුර භාවිත කරනවා නම් එය වහාම වෛද්‍යවරයකුට දැන්විය යුතුයි. එය අසාමාන්‍ය තත්ත්වයක්.
මාස 6 සිට 9 දක්වා එක් අතකින් අනික් අතට යම් දෙයක් මාරු කරයි. මාස 9 සිට 12 දක්වා මහපටඟිල්ල සහ දබර ඇඟිල්ල ආධාරයෙන් කුඩා දේවල් අල්ලා ගනී. මාස 12 දී නොයෙක් දේවල් දෙසට අත දිගු කොට ඒවා ඉල්ලන්න උත්සහ ගන්නවා.
චලනය සහ ඉරියව්වලට වැදගත් ක්‍රියාකාරකම
මාස 3 සිට 6 දක්වා මුනින් අතට සිටින විට හිස සහ පපුව ඉහළට ඔසවයි. මාස 6 සිට 9 දක්වා උඩු අතට වැතිර සිටින විට හිස ඔසවයි. මාස 9 සිට 12 දක්වා උදව් නැතිව හිඳගනී. තනිව අල්ලාගෙ සිට ගනියි. මාස 12 සිට 18 දක්වා උදව් නැතිව තනිවම ඇවිදින්න හැකියි. දෛනික ක්‍රියාකාරකම් සහ අන් අය සමග ඇසුරු කිරීමේ නිපුණතාවය ළදරුවකු තමාගේ දෛනික ක්‍රියාකාරකම් උදාහරණ ආහාර ගැනීම, මල මුත්‍රා කළ පසුව තම ශරීරය පිරිසිදුව තබාගැනීම, ඇඳුම් සහ පාවහන් ඇඳ ගැනීම වැනි නොයෙකුත් ක්‍රියාකාරකම් කිරීම සඳහා සම්පූර්ණයෙන්ම තම දෙමාපියන් හෝ තමාට රැකවරණය දෙන අය මත යැපෙන්න සිද්ධ වෙනවා. නමුත් මුල් අවුරුදු කිහිපය පසු කළ පසු ඒ දේල් තනියම කරගන්න පුරුදු වෙනවා.
දෙමාපියන් වශයෙන් දරුවකුට තමාගේ දෛනික ක්‍රියාකාරකම් තනිවම කරන්න පුරුදු කළ යුතුයි.
දරුවාගේ මුල් අවුරුද්ද ගෙවෙන්නේ දරුවාට සමීපම අය සමගයි. එනම් තම මව, පියා සහ නිවසේ සිටින අනෙක් අය සමගයි. ඉතින් මුල් අවුරුද්දේ ඒ අයගෙන් දරුවා ලැබිය යුතු ප්‍රධානම දේ ආදරය සහ රැකවරණයයි. එවිට ඒ ලැබෙන සුරක්ෂිතභාවය දරුවාගේ මානසික සහ චිත්ත වර්ධනයටත් ඉතාමත් බලපානවා. උදාහරණ වශයෙන් මව තම දරුවාට කිරි දෙන සෑම අවස්ථාවේම දරුවා සමග සිනාසෙන්න, කතා කරන්න, ආදරයෙන් හිස පිරිමදින්න. එවිට දරුවා ඉක්මණින්ම මව වෙත ප්‍රතිචාර දක්වාවි. සති 6 කදී පමණ තම මව සමග ප්රතිචාරාත්මකව සිනාසෙයි. මාස 12 ක දරුවකු තමන් හඳුනන පුද්ගලයින් දුටු විටදී ඔවුන් සමග සිනාසී නොහඳුනන පුද්ගලයින් දුටු විටදී හඬයි. ඒ දරුවාට නොහඳුනන පුද්ගලයින් ගැන වැටහීමක් තිබෙනබව එයින් ඔප්පු වේ. දෙමාපියන් දරුවන් සමග නිතර කතා කිරීමෙන් සහ සෙල්ලම් කිරීමෙන් ආදරය දැක්වීමෙන් සමාජීය සම්බන්ධතාවයන් ඇති කර ගත හැකි දරුවකු ඇති වේ.
අවුරුද්දක් පමණ වූ විට තමන් කැමති දෙයකට ඇඟිල්ල දික් කර ඒ දෙය තම මවට පෙන්වීමට දරුවා උත්සහ ගන්නවා. මෙය ඉතා වැදගත් නිපුණතාවයක්. කෙනෙක් දරුවාට කතා කළ විටදී ඒකෙනාගේ ඇස් දෙක දිහා දරුවා හොඳින් බලනවා නම් ඒ දරුවා සමාජයත් සමග සම්බන්ධ වෙන්න කැමතියි. ඕටිසම් නැමැති මොළයේ රෝගී තත්ත්වයකින් පෙලෙන දරුවන් තම අවට සමාජය සමග සහ සම්බන්ධතාවයක් ඇති කිරීමේ හැකියාව ඉතා දුර්වලයි. ඔවුන්ගේ කතාවත් ප්‍රමාදයි. මෙම තත්ත්වය වේලාසනින් හඳුනාගතහොත් නිසි ප්‍රතිකාර කොට ඇතිවෙන සංකූලතා යම් දුරකට අවම කළ හැකියි.