free stats

පැටියා ගෙදර එක්ක ආවට පස්සේ අම්මට ඉස්පාසුවක් නෑ. පැටියා ගේ වැඩ එක්ක අම්මා හොදටම කාර්‍ය බහුල වෙනවා. සමහර වෙලාවට මේ නිසාම අම්මට එයාගේ සනීපාරක්ෂාව සෞඛ්‍ය පිළිබදව හිතන්නත් අමතක වෙන්න පුලුවන්. කොහොම වුණත් පැටියා නිරෝගීව ඉන්න නම් අම්මා නිරෝගීව ඒ වගේම පිරිසිදුව ඉන්න ඕන. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. හැම අම්මා කෙනෙකුටම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් මේ පිළිබදව අම්මලාට හොද දැනුමක් ලැබෙනවා.

දරු සම්පතක් ලැබුණට පස්සේ අම්මා ටිකක් දුර්වල වෙනවා. එහෙම වෙන්නේ දරුවා ලැබෙන වෙලාවේ ඇය දරන මහන්සිය නිසා. ඒ වෙලාවේ රුධිරය වැඩි ප්‍රමාණයක් පිටවෙන එකත් දුර්වල වෙන්න හේතුවක්. ඉතින් එතනින් පස්සේ අම්මා දිගටම මාස හයක් නොකඩවා බබාට කිරි දෙනවා. අවුරුදු දෙකක් යනකල් කිරි දීම නවත්වන්නේ නැහැ.  ඉතින් මේ කාලෙදි අම්මා එයගේ නින්ද ගැන ටිකක් වැඩි පුර හිතන්න ඕන. මොකද නින්ද එයාට වැදගත්. දුර්වල වුණු සිරුර නැවත යතා තත්ත්වයට පත් කරගන්න නින්ද කියන්නේ හොදම ඔසුවක්.

ඒ වගෙම මේ කාලෙදි මුලින් කිව්ව විදියට අම්මා දුර්වල වෙන නිසා එයාට වෛරස් හෝ විශ බීජ ආසාදන එන්න පුලුවන් ඉඩකඩ බොහොම වැඩියි. මේ නිසා අම්මා නිතර පිරිසිදුව ඉන්න අවශ්‍යයි. ඇදුම් අදින විටත් පිරිසිදු ඇදුම් ඇදීම වඩාත් සුදුසු වෙනවා වගේ ම ඒවා හොදින් සෝදලා අව්වේ වනලා වේලල ගන්න ඕන. යට ඇදුම් හොදින් සෝදන්න ඕන. සබන් හෝ සේදුම් කුඩු හොදින් ඉවත්ව යන තුරු සෝදලා වේලලා ගන්න එක වඩාත් හොදයි. නැත්නම් සබන් හෝ සේදුම් කුඩු රැදිලා යෝනී මාර්ගය ආශ්‍රිතව ආසාදන එන්න පුලුවන්.

හැමදාම අම්මා නෑවේ නැතත් නාන්නේ නැති දවසට ඇග සේදිම නම් කරන්නම ඕන දෙයක්. එයින් දහදිය කුණු ඉවත් කරගන්න පුලුවන්. සම අපිරිසිදු වීමත් වලකිනවා. නානවා නම් නාන්න හොදම වෙලාව උදේ දහය තමයි. ඒ වෙලාවට නෑවාම අම්මට කොණ්ඩේ වියලා ගන්න වෙලාව තියෙනවා. සෙම් රෝග එහෙම තියෙනවා නම් දොලහට කලින් නාන එක වඩාත් හොදයි. ඒ වගේම අම්මා එදාට එදාට රෙදි හෝදනවා නම් රෙදි ගොඩ ගහගෙන කරදර වෙනවට වඩා පහසුයි. ඒ වගේම පිරිසිදුකමටත් ඒක හොදයි.