free stats

ගර්භණී සමයේදී ඔබට ඇතිවිය හැකි සුලබ ගැටලුකාරී තත්ත්වයක් ගැන අද අප කතා කරන්නට සූදානම්. ඒ ඇදුම හා ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වෙනත් අපහසුතා පිලිබඳවයි. සාමාන්‍යයෙන් ගර්භණී කාලයේ ඇතිවන ස්වසන අපහසුතා කාණ්ඩ දෙකකට වර්ග කර හඳුන්වන්නට පුළුවන් .

  • ගර්භණීතාවයට සම්බන්ධව ස්වසන අපහසුතා
  • ගර්භණීතාවයට අදාල නොවන ස්වසන අපහසුතා.

මෙහිදී පලමු කාණ්ඩයට අයත් ස්වසන අපහසුතා ඇතිවීමට බලපාන හේතු පිලිබඳ විමසා බලමු.

  • මවගේ ශරීරයේ සිදුවන හෝමෝන විපර්යාස වල බලපෑම
  • කළලයේ ජීව ක්‍රියාවලියට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම හා කළලයෙන් මුදා හරින කාබන්ඩයොක්සයිඩ් එලියට නිකුත් කිරීම සිදුවන්නෙ මවගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය හරහායි. එහිදී සාමාන්‍ය අයෙකු ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට යොදන වෙහෙසට වඩා වැඩි වෙහෙසක් ගර්භණී මවකට හුස්ම ගැනීම සඳහා වැය කරන්නට සිදුවෙනවා. එහිදී සාමාන්‍ය අයෙකුගෙ හුස්ම ගැනීමේ වේගයට වඩා ගර්භණී මවකගේ හුස්ම ගැනීමේ වේගය වැඩිවීමක් සිදු වෙනවා. මෙය ගර්භණීතාවයේ සාමාන්‍ය ලක්ෂණයක්.
  • ගර්භාෂය ප්‍රසාරණයේදී, එනම් ගර්භාෂය විශාල වන විට ගර්භණී සමයේ අවසාන මාස 3 තුල බොහෝ මව්වරුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා.

මේ තත්ත්වයන් වෙනස් විය හැකි රෝග අවස්ථා පිලිබඳ පරික්ෂාකාරීව හඳුනා ගත යුතුයි.

එවැනි අවස්ථා මොනවාද?

  • හෘදය වස්තුවේ හෝ ස්වසන පද්ධතියේ ආබාධයක් තිබුනහොත්,
  • කෙටි දුරක් ඇවිදින විට පවා හතිය ඇති වීම
  • එදිනෙදා වැඩ වලදී හුස්ම ගැනීමේ අපහසුතා පැවතීම
  • පපුවේ කැක්කුම ඇතිවීම

හේතුවිය හැකියි.

ගර්භණී නොවන ස්වසන අපහසුතා ගණයට ඇදුම රෝගය අයිති වෙනවා. මෙය නිට්ටාවටම සුව කල හැකි රෝගයක් නොවෙයි. නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් මත මනාව පාලනය කරගත හැකියි. සාමාන්‍ය අයගෙන් පිරිසකට ඇදුම රෝගය පවතින අතර ඒ ඇදුම රෝගය සහිත කාන්තාවන් ගර්භණී වූ පසු ඇතැම් අයට රෝගය වැඩි වන්නට පුළුවන්. සමහර මව්වරුන්ට අඩු විය හැකියි. තවත් පිරිසකට තමන්ගෙ මේ රෝග තත්ත්වය ගර්භණී බව නිසා අඩු හෝ වැඩි වීමක් සිදු නොවී පවතින තත්ත්වයෙන්ම තිබිය හැකියි. ගැබිනි මවකට නිතර ඇදුම රෝගී තත්ත්වය ඒම අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු තත්ත්වයක්. ඊට හේතුව කුසේ වැඩෙන දරුවාට එහි බලපෑම වැඩි විය හැකි වීමයි.

ඇදුම රෝගය සඳහා භාවිත කල හැකි වඩාත් සුදුසු හා ඵලදායී ප්‍රතිකාර ක්‍රමය වන්නේ ඉන්හේලර් මගින් ඖෂධ ලබා ගැනීමයි. මෙය යොදන්නේ කෙලින්ම පෙනහලු තුලටයි. ඒ නිසා රෝගය ඇතිවන ස්ථානයටම ඖෂධ සෘජුව ක්‍රියාකරයි. අපට ඉන්හේලර් වර්ග දෙකක් හඳුනා ගත හැකියි.

  • රෝගය මතුවීම වැලැක්වීමට භාවිත කරන ඉන්හේලරය
  • රෝගය මතුවූ අවස්ථාවක ක්ෂණික සහනය සඳහා භාවිත කරන ඉන්හේලරය

රෝගය මතුවීම වලක්වන ඉන්හේලරය දිනපතා අඛණ්ඩව පාවිච්චි කල යුතුයි. ඉන්හේලර් භාවිතයෙන් පසුව උගුර හොඳින් සෝදන්න. ඔබට ඇදුම රෝගය තිබේ නම් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සාමාන්‍ය රෝග තත්ත්වයක් තුලදී ඇදුම රෝගය වැඩිවිය හැකියි. තවද අප රට තුල කොරෝනා වසංගතය ද තවමත් පවතින නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඒ රෝගයට අදාලව ද ඇති විය හැකියි. එම නිසා ගර්භණී මව්වරුන් බෝ වන රෝග වලින් ආරක්ෂා වීම ඉතා වැදගත් සේම කෝවිඩ් එන්නත් ලබා ගැනීම ද අනිවාර්යය වෙනවා.

ඇදුම රෝගය සහිත මව්වරුන්ට එය පාලනය කරගැනීම සඳහා කල හැකි දේවල් මොනවාද?

  • ඔබට ආසාත්මිකතා ඇති කරන ආහාර පාන ගැනීමෙන් වලකින්න.
  • සීත ආහාර ගැනීමෙන් වලකින්න
  • දූවිලි, මකුලු දැල්, මල් පරාග වැනි ආසාත්මික වන ද්‍රව්‍යයන්ගෙන් ඈත්ව සිටින්න.
  • සුරතල් සතුන්ගේ ලොම් වලින් ආසාත්මිකතා ඇතිවන නිසා එවැනි සතුන්ගෙන් ඈත්ව සිටින්න.
  • ඇතැම් විට විවිධ දුම් ආඝ්‍රාණය වීම නිසාද මෙම රෝගය වැඩි වීමට පුළුවන් .උදා : හඳුන්කූරු දුම, දර ලිප් වලින් එන දුම, මදුරු දඟර දුම, සිගරට් දුම, රොඩු පිලිස්සීමෙන් එන දුම ආදී. එවැනි අවස්ථා පිලිබඳ සැලකිලිමත්වන්න.
  • පීනස හා ගැස්ට්‍රයිටිස් රෝග පවතින විටද ඇදුම රෝගය ඇතිවිය හැකියි. එහිදී කල යුත්තේ පලමුව පීනස, ගැස්ට්‍රයිටිස් රෝග ඇතිවීම පාලනය කිරීමයි. එවිට ඇදුම රෝගයද පාලනය වෙනවා.

බරපතල ආකාරයේ ඇදුම රෝගයක් ඔබට පවතී නම් බිහිවන දරුවා අඩු බර සහිත දරුවෙකු ලෙස උපත ලැබීමට පුළුවන්. තවද ප්‍රසූතිය අඩු මාසෙන් වුවද සිදුවන්නට හැකියි. එවැනි අවදානම් මග හරවා ගැනීමට නම් ඔබේ ඇදුම රෝගය හරියාකාරව පාලනය කරගත යුතුයි.

ඇදුම රෝගය බරපතල තත්ත්වය පත්ව ඇති බව දන්වන ලක්ෂණ මොනවාද ?

  • පපුවෙ තද ගතිය
  • හුස්ම හිරවීම
  • හුස්ම ගැනීමේ අපහසුව
  • රාත්‍රි කාලයට හෝ උදෑසනම ඇතිවන අධික කැස්ස

ඇදුම රෝගය ඇති කාන්තාවක් ගර්භණී වූ පසුව මෙම රෝගය සඳහා පාවිච්චි කල ඖෂධ දිගටම ලබා ගත යුතුද, නැද්ද, මාත්‍රාව අඩු කල යුතුද යන කාරණා පිලිබඳව අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ස්වසන අපහසුතා මග හරවා ගැනීමට හුමාලය ඇල්ලීම, ස්වසන ව්‍යායාම (breathing exercises ) ආදිය කිරීම ඉවහල් වෙනවා.

මීට අමතරව ක්ෂය රෝගය වැනි ලක්ෂණ තිබේ නම් ප්‍රතිකාර ගැනීම අවශ්‍යයයි. ඇතැම් මව්වරුන්ට නිව්මෝනියා වැනි රෝග අවස්ථාවකදී සිදුකල යුතු x- ray පරික්ෂණ කිරීමට බියක් දක්වනවා. නමුත් එසේ බිය විය යුතු නැහැ. කළලයට මාස 3 කට වැඩි නම් කළලය ආරක්ෂිතව ආවරණය කර x- ray පරික්ෂාව සිදු කල හැකියි.

ගර්භණී කාලයේ නිසි වෛද්‍ය උපදෙස් මත ඔබේ ස්වයං පාලනය තුලින් ඔබට පවතින ඇදුම රෝගය පාලනය කරගත හැකියි. එමඟින් ඔබටත්, ඉපදෙන්නට සිටින කිරිකැටියාටත් සංකූලතාවන් ඇතිවන්නේ නැහැ.

සටහන කුමුදිකා ඩී. සපුතන්ත්‍රි

ප්‍රසව හා නාරිවේද පිලිබඳ විශේෂඥ වෛද්‍ය
පේශල දංගල්ල මහතා
ශික්ෂණ රෝහල
මහමෝදර