free stats

පළමු බබාට මව්කිරි

අම්මා ගර්භණී වුණත් දැනට සිටින බබාට මව්කිරි ලබා දීම අනිවාර්යයි. මොකද එයාට අවුරුද්දක් වනතුරු නිසි පරිදි මව්කිරි ලබාදිම ඉතාම වැදගත්. ඒ වගේම පළමු මාස හය දරුවාට මව්කිරි ලබාදීම අත්‍යාවශයෙන්ම කළයුතුයි. අලුත උපන් දරුවෙකුට විෂබීජ අසාදන සඳහා මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිදේහ නිෂ්පාදනය කරගැනීම අපහසුයි. දරුවාට ප්‍රතිදේහ ලැබෙන්නේ මව්කිරිවලින්. ඒ වගේම රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය, සහ තවත් ශක්ති පදාර්ථ රැසක් මව්කිරි මඟින් ලැබෙනවා. මේ නිසා දරුවාට මව්කිරි අනිවාර්යයි.

නැවත ගැබ්ගැනීම බාධාවක් ද

නැහැ. ඇයට සාමාන්‍ය පරිදි මව්කිරි ලබාදෙන්න පුළුවන් නම් පවතින තත්ත්වය එයට බාධාවක් නෙවෙයි. නමුත් අවසාන මාස කිහිපය කුස තුල සිටින දරුවා වේගයෙන් වර්ධනය වන නිසා දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය නිසි ආකාරයෙන් නොලැබුණොත් මව්කිරි ලබාදීම පාලන කරන්න සිදුවෙනවා.

එවිට පළමු දරුවාගේ පෝෂණය

මේ කාලය වෙද්දි පළමු දරුවා මාස හය සම්පූර්ණ කර තිබෙන නිසා අතිරේක ආහාර ලබාදෙන්න පුළුවන්. ඒ නිසා මව්කිරි දීමේ අඩුවක් ඇතිවුණා කියලා විශේෂ ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. එතැනදි දරුවාට වැඩි පෝෂණයක් ලැබෙන ආහාර වර්ග ලබාදීම වැදගත් වෙනවා. අතිරේක ආහාර වේල් කොටස් තුනකට බෙදලා හොඳ පෝෂණීය සමබල ආහාර වේල් තුනක් දෙන්න පුළුවන්. එයට අමතරව අතිරේක කෙටි ආහාර වේල් දෙකක් දෙන්නත් පුළුවන්. එයින් පෝෂණ ඌණතා මඟහැරෙනවා.

මවට උදෑසන සංකූලතා ඇත්නම්

ගැබ් ගැනීමෙන් පසු පළමු මාස තුන මවට ගර්භණී බව නිසා ඇතිවෙන සංකූලතා පිළිබඳ අවධානමක් තිබෙනවා. මේ කාලයේ දී අපහසුතා නිසා මවට දරුවා මඟහැරෙන්න පුළුවන්. ඒ කාලේ මවට ඇදේ වැතිරිලා කිරි දෙන්න පුළුවන්. ඒ වගේම රාත්‍රි කාලයේ නින්දට යනතුරු මව්කිරි ලබාදීමත් වඩාත් සුදුසුයි.

මව්කිරි දොවා දීම

මවට සාමාන්‍ය කටයුතු කරගැනීමට අපහසු තරම් ගර්භණී සමයේ අපහසුතා ඇතිවුණොත් මව්කිරි දොවා ලබාදීම වඩාත් සුදුසුයි. මවට අපහසුතාවයක් නොමැති වෙලාවක කිරි ටික දොවාගෙන දරුවාට අවශ්‍ය වෙලාවට ලබාදෙන්න පුළුවන්. දොවන ලද මව්කිරි පැය හයක (6) කාලයක් එළියේත් පැය විසිහතරක (24) කාලයක් ශීතකරණයේත් තියලා භාවිත කළ හැකියි. ශීතකරණයේ තැබු මව්කිරි භාවිතයට පෙර උණුවතුර බඳුනක තබා ශිත ගතිය ඉවත් වනතුරු රත්කරලා ගන්න පුළුවන්.

ගැටලුව කාට ද

අම්මා ගැබ් ගත්තා කියලා දැනට ඉන්න බබාට ගැටළු ඇතිවෙන්නේ නැහැ. එයාට නිසි පරිදි මව්කිරි ලැබෙනවා නම් කිසිම ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. නමුත් කුස තුළ ඉන්න බබාට සහ මවට පෝෂණ ඌණතා මතුවෙන්න පුළුවන්. මව එක් දරුවෙක්ට කිරි දුන්නත් ඒ වෙනුවෙන් විශාල කැලරි ප්‍රමාණයක් හා ශක්ති ප්‍රමාණයක් වැය කරනවා. මේ නිසා ඇයට ප්‍රමාණවත් පෝෂණයක් අවශ්‍යයි. තව දරුවෙක් ක-ුස තුළ වර්ධනය වන නිසා ඇයට ලැබිය යුතු පෝෂණය තවත් වැඩිකළ යුතු වනවා. මේ නිසා කුස තුළ සිටින දරුවාට යම් පෝෂණ ඌණතාවක් තිබෙන බව වෛද්‍යවරුන් හඳුනාගතහොත් හෝ ප්‍රසූතිය ලංවුණොත් මව්කිරි නවත්වන්න මවට සිදුවනවා.

දෙවන දරු උපතින් පසු

දරුවා ඉපදුනාට පස්සේ තරමක් ගැටළු මතුවෙනවා. මේ වෙද්දි බබාලා දෙන්නම කිරි බොනවා නම් එය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අලුත් දරුවාට හොඳ අලුත් මව්කිරි අවශ්‍යයි. නමුත් සමහර විට පළමු දරුවා අලුත උපන් දරුවාගේ මව්කිරි ටිකත් බීමට ඉඩ තිබෙනවා. මෙයින් අලුත් දරුවාගේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්. අවුරුද්දෙන් පස්සේ පළමු දරුවාට ඒ තරම් මව්කිරි අවශ්‍ය නැති නිසා එයාට මව්කිරි දීම වෛද්‍ය උපදෙස් මත පාලනය කළාට කමක් නැහැ. නමුත් ඒ වෙනුවට හොඳ පෝෂ්‍යදායි ආහාර වේලක් දරුවාට ලබාදීම කළයුතු වෙනවා.

මෙහි දී ඇතිවන ගැටළුව නම්,

දෙවනි දරුවා මව්කිරි බොන බව දැක්කොත් පළමු බබාට නැවත මව්කිරි අවශ්‍ය වනවා. සමහර මව්වරුන් පළමු දරුවාට සම්පූර්ණයෙන්ම මව්කිරි දීම නවත්වලා එයාව ආහාරවලට හුරුකරවනවා. සමහර මව්වරු ගැටළුවක් නොමැතිව දෙදෙනාටම මව්කිරි ලබාදෙනවා. කොහොම වුණත් මේ කාලෙදි පළවෙනි බබා අම්මාට හුරුවෙලා ඉන්න නිසාත් එයාට හොඳින් මව්කිරි අවශ්‍ය නිසාත් එයා නිතරම අම්මාගේ උණුසුම බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය ගැටළුවක් වෙන්න පුළුවන්.

මානසික කම්පනය

පළමු දරුවා මෙවැනි තත්ත්වයක් තේරුම් ගතහැකි වයසක කෙනෙක් නොවන නිසා අලුත් සාමාජිකයාගේ පැමිණිම එයාට මානසික කම්පනයක් ඇතිකරන්න හේතුවෙන්නේ නැහැ. නමුත් එයාට තේරෙන්නේ නැති නිසා එයා අලුත් බබාගේ ඇඟෙන් අදින්න එයාට එක එක දේවල් කවන්න ඒ වගේම එයා එක්ක සෙල්ලම් කරන්න උත්සහ කරන නිසා අනතුරු සිදුවෙන්න පුළුවන්. ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්.

සටහන චාපා හංසිනි ආටිගල

විශේෂඥ වෛද්‍ය පුණ්‍යානි බන්දුතිලක
දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල
කළුබෝවිල