free stats

විවාහක යුවළක් දරු සම්පතක් ගැන හීන මැව්වද ලිංගික අධ්‍යාපනය පිළිබඳ ඇති අල්ප දැනුම ඒ සඳහා යම් ගැටළුවක් විය හැකිය. දරුවෙකු පිළිසිඳ ගැනීමක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා නම් සරු කාලය පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.

සරු කාලය යනු කුමක්ද?

කාන්තාවකගේ ඔසප් චක්‍රයේ ආරම්භය, දරුවෙකු පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් ගර්භාෂයේ සිදු වන නව සූදානමක් ලෙස හැඳින්විය හැකි අතරම එහි ආරම්භයක දිනයේ සිට අලුතින් ඩිම්බයක් මේරීමට පටන් ගනියි. සාමාන්‍යයෙන් ඔසප් වීම ආරම්භ වී දින 14 ගත වන කල ඩිම්බ මෝචනය සිදුවන අතරම කාන්තාවකගේ ආර්ථවය තුළ ගැබ් ගැනීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් එනම් වැඩි සම්භාවිතාවක් පවතින කාල සීමාව වන්නේ මේ කාල සීමාවයි. එසේ ගත් කළ ක්‍රමවත් ඔසප් චක්‍රයකදී එනම් දින 28කට වරක් සිදු වන ඔසප් වීමකදී අවසන් වරට ඔසප් ඇති වූ දිනයේ සිට දින 12 – 14 අතර කාල සීමාව උපරිම සරු කාලය ලෙස දැක්විය හැකිය. මෙසේ මෝචනය වන ඩිම්බයක ආයු කාලය පැය 24ක කාලයක් වන අතරම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ ශූක්‍රාණුවකට පැවතිය හැකි කාල සීමාව පැය 72කි. සරු කාලය තුළ අවම වශයෙන් දවසක් ඇර දවසක්වත් ලිංගිකව එක්වීම වඩාත් සුදුසු වේ. දරුවෙකු පිළිසිඳ ගැනීමට සුදුසු යම් විශේෂිත ලිංගික ඉරියව්වක් පිළිබඳව තහවුරු වීමක් නොමැති අතර ගැබ් ගෙල ආසාන්නයටම ශුක්‍රාණු තැම්පත් කළ හැකි පුරුෂයා කාන්තාව මත සිටින ඉරියව්ව වඩාත් සුදුසු බවට අදහස් ඉදිරිපත් වී ඇත. තවද දරුවෙකු පිළිසිඳ ගැනීමක් සිදුවීමට කාන්තාවගේ හෝමෝන ක්‍රියාකාරීත්වය ද නිසි පරිදි සිදු වීමද වැදගත් වේ.

නමුත් අක්‍රමවත් ඔසප් චක්‍රයකදී නම් සිදුවන්නේ ඩිම්බ මේරීමට ගත වන කාල සීමාව වෙනස් වීම හෝ එසේත් නැතිනම් ඩිම්බ නොමේරීමයි. අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකගේ සරු කාලය පිළිබඳව නිගමනය කිරීම අපහසු වන්නේ මෙසේ ක්‍රමාණුකූල ඔසප් චක්‍රයක් නොමැති වීම නිසයි.

උපත් පාලන ක්‍රමවලින් ඈත් වූ තරුණ යුවලක් (අවුරුදු 30ට අඩු) වසරක් තුළ ගැබ් ගැනීමේ සම්භාවිතාවය 80%ක් ලෙස වෛද්‍යවරු සඳහන් කරයි. පළමු මාසය තුළ කාන්තාවක් ගැබ්ගැනීමේ සම්භාවිතාව 20%කි. මාස හයක් ඇතුළත කාන්තාව ගැබ්ගැනීමේ සම්භාවිතාවය 75%ක් ලෙසද වසරක් පුරා ගත් කළ එය 80% ක අතර ප්‍රමාණයක් ලෙසද වෛද්‍යවරු සඳහන් කරති. වයස අවුරුදු 30ට අඩු සංකූලතාවලින් තොර කාන්තාවකට තම දරු පිළිසිඳ ගැනීම සම්බන්ධව වසරක කාලයක් බලා සිටීමේ බාධවක් නොමැති වුවත් අක්‍රමවත් ඔසප් චක්‍රයක්/වෙනත් සංකූලතාවයන් ඇති කාන්තාවන් මෙන්ම අවුරුදු 35ට වැඩි කාන්තාවන් ද මාස හයක් පුරා දරුවෙකු වෙනුවෙන් උත්සාහ කොට අසාර්ථක වූයේ නම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් සුදුසුය.

සංසේචන ක්‍රියාවලිය

පැලෝපීය නාලයේ ්පචමකක් නම් ස්ථානයේදී ඩිම්බයක් සහ ඒ වෙත පැමිණෙන ශුක්‍රාණුවක් සංසේචනය ඇරඹෙන අතරම ඒ මගින් සෑදෙන යුක්තානුව ක්‍රමයෙන් බෙදෙමින් කලලයක් බවට පත්වේ. මේ ආකාරයට සෑදුණු කලලය ගර්භාෂය වෙත ගොස් දින හතකට පමණ පසුව ගර්භාෂ බිත්තියේ ඇලේ. එය දිනෙන් දින බිළිදෙකු ලෙස වර්ධනය වන අතරම කලලයට පිටතින් කෝරියම ද ඇතුළතින් කලලාවාරික පටලය ද දැක ගත හැකිය. එම කලලාවාරික පටලය කලලාවාරික තරලයෙන් පිරී ඇත.

ගර්භණී බව තහවුරු කරගැනීම

නියමිත ඔසප් දිනය ප්‍රමාද වී නම් ඒ දිනයෙන් සතියකට පසුව ගැබිනි බව තහවුරු කිරීමේ පරීක්‍ෂණයට යොමු වීමට ඔබට හැකිය. මෙය නිවසේදී තනිව හෝ රසායනාගාරයක සහය ඇතිව හෝ ඔබට සිදුකළ හැකිය. ඔබ තනිව නිවසේදී සිදු කරන පරීක්‍ෂණයේදී සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඔබ යොදා ගන්නා පරීක්‍ෂණ කට්ටලය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි. එහි කල් ඉකුත්වීමේ දිනය මෙන්ම එය නිසි ලෙස ගබඩා කොට ඇති හොඳ තත්ත්වයේ පවතින පරීක්‍ෂණ කට්ටලයක්ද යන්න පිළිබඳව සැලකිලිමත් වෙන්න. එහි සඳහන් උපදෙස් නිවැරදිව කියවා ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. උදෑසන පිටවන මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි බැවින් පරීක්‍ෂණය සඳහා වඩාත් සුදුසු වන්නේ උදෑසන කාලය ලෙස දැක්විය හැකිය.

උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ
ප්‍රසව හා නාරිවේද විශේෂඥ,
මහාචාර්ය ටිරාන් ඩයස් මහතා


සටහන සාරංගි රන්පටබැදි