free stats

උපදේශන මනෝ විද්‍යාඥ භාග්‍යා අබේසිංහ

පුංචි දරුවන් සමහර වස්තූන්වලට, සමහර තත්ත්වයන්ට බියක් දක්වන බව ඔබ අත්දැකලා ඇති. සමහරවිට ඔබේ දරුවා තුළින් වුණත් යම් යම් දේවලට ඔහු හෝ ඇය බියක් දක්වන බව ඔබට මේ වෙනකොටත් නිරීක්ෂණය වෙලා ඇති. ඔබ අහලා ඇති භීතිකා තත්ත්වයන් ගැන. ෆෝබියා කියලා හඳුන්වන තත්ත්වය තමයි අපි සිංහල භාෂාවෙන් භීතිකා කියලා හඳුන්වන්නේ.

දරුවෙක් යමකට බියක් දක්වනවා නම් සමහර දෙමාපියෝ ඒක වැඩිය ගණන් ගන්නෙ නැහැ, පොඩි දරුවොනේ ඕක හරි යයි කියලා හිතනවා. සමහරවිට මේ ලිපිය කියවන ඔබත් එය එතරම් ගණන් ගන්නේ නැතුව ඇති. බියක් දක්වන හැම දෙයක්ම භීතිකා තත්ත්වයක් නොවෙන්න පුළුවන්. නමුත් අපි දරුවෙකු තුළ පවතින භීතිකා තත්ත්වයක් නොසලකා හැර ඉන්නවා නම් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. අපි බලමු භීතිකාවක් හඳුනාගන්න පුළුවන් කොහොමද, දරුවා යම් භීතිකාවකින් පෙළෙනවා නම් ඔබ කළ යුත්තේ කුමක් ද සහ භීතිකා තත්ත්වයක් නොසලකා හැර සිටීම තුළ දරුවාට අනාගතයේ අත්විය හැකි ඉරණම කුමක් ද කියලා.

1.භීතිකා තත්ත්වයක් (ෆෝබියා තත්ත්වයක්) කියන්නේ මොකක් ද?

යම් වස්තුවක් හෝ යම් තත්ත්වයක් පිළිබඳව නිරන්තරයෙන් ඇති වන අධික බියක් සහිත කාංසාමය තත්ත්වයක් තමයි භීතිකාවක් විදියට හඳුන්වන්නේ. එම අධික බිය සහිත තත්ත්වය මාස හයකට වඩා වැඩි කාලයක් පවතිනවා නම් තමයි ඒක භීතිකා තත්ත්වයක් වෙන්නේ.

2.අවුරුදු පහට අඩු කුඩා දරුවන්ටත් භීතිකා තත්ත්ව ඇති විය හැකි ද?

භීතිකා ජානමය වශයෙන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ජානමය නොවන හේතූන් නිසාත් දරුවන් තුළ භීතිකා හටගන්න පුළුවන්. සමහර වෙලාවට අම්මා සතුන්ට බය කෙනෙක් වෙන්න පුළුවන්, ලිෆ්ට් එකක යන්න බය කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාත්තා උස් ස්ථානවලට යන්න බය කෙනෙක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල දෙමාපියන්ට ඒ තිබෙන භීතිකා තත්ත්වය දරුවාටත් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා කාලයේ මුහුණ දෙන යම් යම් අත්දැකීම් නිසාත් දරුවන් තුළ භීතිකා තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දෙමාපියන් අතර රණ්ඩු ඇති වෙනවා නම් නිතර නිතර, අම්මා තාත්තාගේ ආදරය නිසි ආකාරයෙන් දරුවට ලැබෙන්නේ නැත්නම් මේ අත්දැකීම් භීතිකා තත්ත්ව දක්වා වර්ධනය වෙන්න පුළුවන්.මේ හේතු දෙක නිසා වගේම අනවශ්‍ය ආකාරයෙන් දරුවන් පරිස්සම් කරන්න යාම තුළිනුත් දරුවන් තුළ භීතිකා තත්ත්වයන් හටගන්න පුළුවන්.

3.අනවශ්‍ය ආකාරයෙන් දරුවා පරිස්සම් කිරීමෙන් හෝ දෙමාපිය ක්‍රියාකාරකම් නිසා භීතිකා තත්ත්වයන් වර්ධනය විය හැක්කේ කෙසේ ද?

අනවශ්‍ය ලෙස දරුවා පරිස්සම් කරන්නේ වැඩි ආදරේට වුණත් ඒ තුළින් විවිධාකාරයේ බලපෑම් ඇති විය හැකියි. පවුලේ පළමුවෙනි දරුවාට බොහෝ වෙලාවට වැඩි ආදරය නිසාම හැමදෙයක්ම නිවසේ වැඩිහිටියෝ විසින් කරලා දෙනවා. ඒ වගේම ගොඩක් පරිස්සම් කරන්න බලනවා. මේ දේවල් දරුවත් පුරුද්දක් විදියට පවත්වාගෙන යන්න බලනවා. එතකොට වැඩිහිටියන් මේ විදියට දරුවාව අනවශ්‍ය ආකාරයෙන් පරිස්සම් කරගෙන ගෙමිදුලටවත් බහින්න නොදී ගෙදරටම කරගෙන හැදුවම සමාජ භීතිකාවන් අනාගතයේදී දරුවන්ට ඇති වෙනවා. සමාජයේ මිනිසුන් එක්ක ගැවසෙන්න වුණාම දරුවෝ පසුකාලීනව ඒ නිසා බියට පත්වෙලා හුදෙකලා වෙන්න බලනවා.ඒ වගේම සමහර දරුවන්ව ගෙමිදුලේවත් ඇවිදින්න, දුවන්න, පනින්න නොදී සීමා දානවා දෙමාපියන් විසින්. එහෙම සමහර දරුවෝ ඉන්නවා පාසල් යන වයසට ආවම පාසලේදී පිට්ටනියක් මැදින්වත් යන්න බයයි. මොකද පුංචි කාලේ මිදුලේ ඇවිදිනවට සීමා දැම්ම නිසා ලොකු වුණාමත් ඒ බය ඒ දරුවො තුළ වර්ධනය වෙලා නිසා. ඒ වගේම පුංචි දරුවන්ට කවන්න හරි අමාරුයි. එහෙම වෙලාවට අම්මලා තාත්තලා කරන දෙයක් තමයි කවුරු හරි කෙනෙක් පෙන්නලා බබාව බය කරනවා කෑම කවා ගන්න ඕන නිසා. එහෙම නැත්නම් කාමරයකට දාලා තියනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ඇඳුම් ඇඳගත්ත පුද්ගලයෙක්ට වඩා වෙනස් ආකාරයේ ඇදුම් ඇඳගත්ත පුද්ගලයන් පෙන්නලා බබාව බය කරන්න උත්සහ ගන්නවා. උදාහරණ විදියට නිල ඇඳුම් ඇඳගෙන ඉන්න පුද්ගලයන් පෙන්නලා බබාව බය කරලා කෑම කවන්න සමහර දෙමාපියෝ උත්සහ ගන්නවා. ඉන්පස්සෙ වෙන්නේ ඒ අදාළ ඇඳුම ඇඳන් ඉන්න පුද්ගලයෙක් දැක්කොත් බබා පස්සෙ කාලෙක වුණත් ඒ ඇඳුම ඇඳන් ඉන්න පුද්ගලයන්ට බියක් දක්වන්න ගන්නවා.ඒ වගේම තමයි කෑම කවාගන්න බැරි වුණාම සමහර බබාලව බය කරන්නේ සතුන්ව පෙන්නලා. එහෙම වුණාම සමහර බබාලා තුළ ඒ සතුන්ට බයක් වර්ධනය වෙන්න ගන්නවා. ඉන්පස්සෙ බබා ලොකු වුණාට පස්සෙත් අර සතුන් කෙරෙහි අසීමිත බියක් දක්වන්න ගන්නවා.

සමහර බබාලාව ගෙදර වාහනයක විතරක් කොහේ හරි යනකොට එක්කගෙන යන්න දෙමාපියො ප්‍රවේසම් වෙනවා. පොදු ප්‍රවාහන සේවයක කවදාවත් එක්ක යන්නෙ නැහැ. එහෙම වුණාම දරුවා ලොකු වුණත් පොදු ප්‍රවාහන සේවයක යන්න සිද්ධ වුණොත් එදාට ඒකට බියක් දක්වනවා. සමහර දරුවෝ හැම දෙයක්ම ප්‍රශ්න කරලා ඉන්නවා. ඒත් සමහර දරුවෝ එහෙම නැහැ. ඒ නිසා යමකට දරුවන්ව බය කළොත් සමහර දරුවන්ගේ හිතේ ඒ බය තැන්පත්වෙලා තිබිලා පසුකාලීනව ඒක භීතිකා තත්ත්වයක් විදියට එළියට එන්න පුළුවන්.

4.භීතිකා තත්ත්වයක් තිබෙන දරුවෙකු තුළින් දකින්න පුළුවන් ලක්ෂණ මොනවාද?

දරුවා භීතිකාවක් දක්වන දෙයකදි දරුවන් තුළ විවිධ වෙනස්කම් ඇති වෙනවා. මුහුණ රතුවෙලා, අධික ලෙස දහදිය දාන්න පුළුවන්. ඒ වගේම වෙව්ලීම, හෘද ස්පන්දනය වැඩිවීම, අනවශ්‍ය ලෙස හැඬීම, ඔක්කාරය වගේ ලක්ෂණත් භීතිකා තත්ත්වයකදී ඇති වෙනවා. ඊට අමතරව කතා කරන වේගය වැඩිවෙන්න පුළුවන්, වචන පටලැවෙන්න පුළුවන්. මේ වගේ ලක්ෂණ දකින්න පුළුවන් භීතිකාවක් තිබෙන දරුවන් තුළ. ඊට අමතරව සමහර දරුවෝ බඩ රිදෙනවා කියලා අඬනවා. ඒ සමහර අවස්ථාවල දරුවට ඇත්තටම බඩේ කැක්කුමක් නැහැ. යම් දෙයකට දක්වන බය නිසා තමයි දරුවා බඩ රිදෙනවා කියලා අඬන්නේ. එහෙම නැත්නම් යම් යම් දේවල් දරුවා ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. පෙර පාසල් යවන කාලේ වෙනකොට යම් බියක් නිසා දරුවා පෙර පාසල් යාම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මාස හයකට වඩා වැඩි කාලයක් මේ තත්ත්වය තිබෙනවා නම් මේ වගේ ලක්ෂණ ගැන දෙමාපියන් අවධානය යොමු කරන්න ඕන.

5. දරුවෙක්ට භීතිකා තත්ත්වයක් තිබෙනවා කියලා හඳුනාගත්තට පසු දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

භීතිකා තත්ත්වයක් දරුවාට තිබෙන බව වැටහුණොත් දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න ඕන. ඕක මඟ ඇරිලා යයි කියලා හිතලා නිගමනවලට ඇවිත් වෛද්‍ය ප්‍රතිකාරවලට දරුවා අරන් යන්නෙ නැතුව ඉන්න එපා. ප්‍රතිකාරවලදී මනෝ වෛද්‍යවරු, මනෝ චිකිත්සකවරු, මනෝ උපදේශකවරුන්ගේ සහය ලබාගන්න පුළුවන්. සමහර දරුවන්ට ඇති වන භීතිකා තත්ත්වවලදි සාර්ථක ප්‍රතිකාරය වෙන්නේ ඖෂධ ලබා දීම. නමුත් සමහර දරුවන්ට විවිධ ක්‍රියාකාරකම්, සිරුර ලිහිල් කිරීමේ ක්‍රමවේද ආදිය අවශ්‍ය වෙනවා භීතිකා තත්ත්වයෙන් මිදෙන්න. එහිදී මනෝ චිකිත්සකවරුන්ගේ සහය වැදගත් වෙනවා.

6. භීතිකා තත්ත්වයක් තිබෙන දරුවෙක් ගැන නොසලකා හැරියහොත් කුමක් සිදු විය හැකි ද?

දරුවෙක්ට භීතිකා තත්ත්වයක් තිබෙන බව හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොකර ඉන්නවා සමහර දෙමාපියෝ. ඔවුන් හිතනවා වයසින් වැඩෙත්ම මේ තත්ත්වයන් මඟ හැරිලා යාවි කියලා. එහෙම ඉඳලා දරුවා ටිකෙන් ටික ලොකුවෙලා සමාජගත වුණාම දරුවා මේ භීතිකාවන් ගැන කාටවත් කියාගන්න විදියක් නැතුව අසරණ වෙන අවස්ථා තිබෙනවා. එහෙම වෙලාවට දරුවට ඒ දේ දරා ගන්න බැරුව සියදිවි හානි කරගන්න වුණත් පෙළඹෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එහෙම ජීවිතය නැති කරගන්න උත්සහ කළ පුද්ගලයන් සමග කතාබහ කළාම ඔවුන් එසේ ජීවිතය නැති කරගන්න උත්සහ කරන්න හේතුව කුඩා කාලයේ ඉඳලා වර්ධනය වුණ භීතිකා තත්ත්වයක් කියලා හඳුනගන්න පුළුවන්වෙලා තිබෙනවා.දරුවෝ වැඩිහිටියෝ වුණාට පස්සේ විභාගවලට, විවාහයට, රැකියාවක් කරන්න ආදී විවිධ දේවලට අසීමිත බියක් දක්වනවා නම් ඒකට හේතුව අවුරුදු 5ට අඩු වයසෙදි පවා භීතිකාවක ලක්ෂණ දරුවා තුළ තිබිලත් ඒක නොසලකා හැරීම නිසා වැඩිහිටි විය දක්වාම එම භීතිකා තත්ත්වය වර්ධනය වී තිබීම වෙන්න පුළුවන්.සමහර වෙලාවට දරුවන්ගේ භීතිකා තත්ත්වයන් විහිළුවට අරන් ඒක හරි යයි කියලා හිතාගෙන හිටියම වෙන්නේ දරුවට දැනෙන්න ගන්නවා තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැහැ කියලා. දරුවට ඒ ප්‍රශ්නෙ කියන්න කෙනෙක් නැති වෙනවා. එහෙම වුණාම දරුවා පුළුවන් තරම් උත්සහ කරන්නේ හුදෙකලා වෙලා ජීවත් වෙන්න. සමහර වෙලාවට දරුවා තරුණ වියට පත්වෙනකොට මත්ද්‍රව්‍යවලට හුරුවීමේ අවදානමකුත් මේ හරහා ඇති වෙනවා. එහෙම වෙන්නේ එයා ඒ භීතිකා තත්ත්වයන්ගෙන් මිදෙන්න ඕන නිසා මත්ද්‍රව්‍ය තුළින් හරි දරුවා ඒකට විසඳුමක් හොයන්න උත්සහ කරන එක.

7.භීතිකා තත්ත්වයක් දරුවෙක් තුළ තිබෙනවා කියලා වැටහුණොත් නොකළ යුතු දේවල් මොනවා ද?

සමහර දෙමාපියෝ, වැඩිහිටියෝ පූර්ව නිගමනවලට එළඹෙනවා දරුවන්ගේ භීතිකා තත්ත්ව ගැන. සමහරු කියනවා බබා අසාමාන්‍ය ලෙස අඬන්නේ ඒ අම්මා තාත්තා ළඟ නැතුව හිටිය නිසා කියලා. ළඟට ආව ගමන් ඒක හරි යනවා කියලා. සමහර වැඩිහිටියෝ කියනවාිමෙයාගේ අම්මත් පොඩි කාලේ ඔහොමයි කැරපොත්තන්ට බයයි, මෙයාගේ තාත්තත් පොඩි කාලේ උස තැන්වලට බයයි’ වගේ කතා. ඔවුන් එහෙම කියලා දරුවාගේ තත්ත්වය මඟ හරිනවා. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් ඔවුන් ඒ කාලේ යොදපු පිළියම් කියලා දෙනවා මේ මේ දේ කරන්න කියලා. මේ වගේ දේවල් නොකළ යුතුයි. මාස හයකට වඩා කාලයක් මේ විදියට බබා බයක් දක්වනව ද යම් දෙයකට කියන එක ගැන අවධානයෙන් ඉන්න ඕන වැඩිහිටියෝ. ඒ වගේම වෙන කෙනෙක්ට වුණ දෙයක් එක්ක සන්සන්දනය කරලා දරුවා ගැන නොසලකා හැරීම නොකළ යුතුයි.විශේෂයෙන්ම දරුවා යම් දෙයකට බයක් දක්වනවා නම් ඒක වෙනත් දන්න කියන අය එක්ක කියන එකත් නොකළ යුතුයි. මොකද ඒකෙන් දරුවට හානියක් වෙන්න ඉඩකඩක් තිබෙනවා. උදාහරණයක් විදියට හිතන්න දරුවෙක් කැරපොත්තන්‍ට බයයි කියලා. ඒ බව තමන් ආශ්‍රය කරන අයටත් දෙමාපියෝ කියලා තිබෙන අවස්ථාවක් හිතන්න. මෙහෙම වෙලාවක දරුවා වෙනත් ගෙදරකට ගියොත් ඒ ගෙදර ඉන්න කෙනෙක්, සමහර විට ඒ ගෙදර ඉන්න තවත් දරුවෙක්ම වෙන්න පුළුවන් අර දරුවගෙ ඇඟට කැරපොත්තෙක් දාන්න පුළුවන් බය වෙනව ද බලන්න. මෙහෙම අවස්ථාවල අර දරුවා තුළ බය තව තවත් ඇති වෙනවා වගේම අපහසුතාවට පත්වෙනවා දරුවා. ඉන්පස්ස්සෙ අර භීතිකා තත්ත්වය තිබෙන දරුවා අර ගෙදරට යාම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.ඒ වගේම දරුවා යම් දෙයකට බයක් දක්වනවා නම් දරුවාව විහිළුවකට නොගත යුතුයි. සමහර වැඩිහිටියෝ අයියෝ මෙයා සත්තුන්ටත් බයයි වගේ කතා කියලා විහිළුවට ගන්නවා. එහෙම වුණාම දරුවා තනි වෙනවා.

8.වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ පමණින් භීතිකා තත්ත්වයක් තිබෙන දරුවෙක් සුව කළ හැකි ද?

වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කළාම සමහර දෙමාපියො හිතනවා දැන් ඩොක්ට මේ දේ බලාගනීවි, මනෝ චිකිත්සකවරු බබාව සනීප කළාවි කියලා. ඒත් වෛද්‍යවරුන්ටත්, මනෝ විද්‍යාඥයන්ට, මනෝ චිකිත්සකවරුන්ටත් දෙමාපියන්ගේ සහය අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. දරුවා සමග වැඩි වශයෙන් කාලය ගෙවන්නේ වෛද්‍යවරයා නෙමෙයි. දෙමාපියෝ. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කළ පසු දෙමාපියන් ඊට සහයෝගය දැක්විය යුතුයි.

සටහන ශානි තේනුවර