free stats

විශේෂඥ වෛද්‍ය ඉන්දික සේනාරත්න

කාන්තාවක් ගැබ් ගත්තට පස්සේ එයාව බලන්න කෑමක් බීමක් හදාගෙන’එක අපේ සාමාන්‍ය සම්ප්‍රදායක්. ගමේ අහල පහල එහෙම කාන්තාවක් ඉන්නවානම් කන්න ආස මොනවද කියලා අහලා ඒ දේවල් හදල ගිහින් දෙන එක අපි තාමත් කරනවා. නමුත් වර්තමානයේ පවතින තත්ත්වයත් එක්ක ගර්භණී කාන්තාවක් බලන්න යද්දි අපි සැලකිලිමත් විය යුතු කරුණු බොහොමයක් තිබෙනවා. විශේෂයෙන්ම අපි මේ මොහොතේ ඉන්නේ බෝවන රෝගයක් සමග ඉතාම අවදානම් තත්ත්වයක. රෝගයේ එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිර යන්නේ බොහොම ඉක්මනින්. ඒ බව අපි කවුරුත් හොඳින්ම දන්නවා. ඒ නිසා ගැබිනි මවක් බලන්න යනකොට සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ.’

අම්මා ඉන්න ගෙදර වුණත් රෝහලේ වුණත් අපි බලන්න යද්දි සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මුලින්ම ඇය රෝහලේ නම් ඉන්නේ ඇය දරු ප්‍රසූතියට කලින් රෝහල්ගත වුණේ ඇයි කියන එක වැදගත් කාරණයක්. සාමාන්‍යයෙන් මවක් රෝහල් ගත වෙන්නේ කාරණා දෙකක් නිසා. එක්කෝ අසනීපයක් නිසා ඒහෙමත් නැත්නම් ප්‍රසූති දින ළං වුණු නිසා.’මෙතනදි මුලින් කියපු කාරණය ඉතාම වැදගත්. අම්මා රෝහල් ගත වුණේ පුර්ව ප්‍රසව සමයේ දී ඇති වුණ යම් සංකූලතා නිසා නම්, අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි හේතු නිසා වෙන්නත් පුළුවන්. ඒ නිසා අම්මව බලන්න යද්දි ඒ සියලු‍ කරුණු ඉතාම වැදගත්. ඒ පිළිබඳව අපි මේ ලිපියෙන් ඔබට විස්තරාත්මකව කියන්නම්.’

පිටින් අරගෙන යන දේවල් ගෙනියන එක සාමාන්‍ය පුරුද්දක් නේ.

හැබැයි ගෙදරින් හදාගන්න පුළුවන් පිරිසුදු දෙයක් අරගෙන යනවා නම් වඩාත් හොඳයි. ගොඩක් වෙලාවට කඩෙන් අරන් යන දේවල් වලට වඩා ගෙදරින් අරන් යන දේවල් වල සෞඛ්‍යය ආරක්ෂිත බව රසය වගේම ගුණයත් හොඳින් අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි මුලින් කිව්ව වගේ අම්මා රෝහල්ගත වෙලා ඉන්නේ දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය නිසා නම් රෝහලෙන් කියන රෝහලෙන් නිර්දේශ කළා හාර හැරෙන්න වෙනත් ආහාර වර්ග හෝ පාන වර්ග ගන්න හොඳ නෑ. ඒ නිසා මොනවා හරි කෑම ජාතියක් හදාගෙන යනවා නම් යන්න කලින් පොඩ්ඩක් අම්මගෙන් අහලා ඉන්න. තෙල් අඩු, සීනි ලු‍ණු අධිකව අඩංගු නොවන, පෝෂණීය ආහාරයක් අරගෙන යන එක වඩාත් සුදුසුයි. ඒ අම්මට නියම කරපු විශේෂ කෑම වර්ග තියෙනවා නම් ලයිස්තුව අහලා ඒ අනුව සුදුසු ආහාර වර්ග අරගෙන යන්න පුළුවන්. පළතුරු වර්ග ගෙනියනවා නම් දේශීය පලතුරු වර්ග වඩාත් හොඳයි.’

ප්‍රශ්න කතා කරන්න එපා

අම්මා රෝහල් ගත වෙලා ඉන්න කාරණය මොකක් උනත් ඔබ ඇයව බලන්න යනවා නම් එයා එක්ක කතා කරන්න මොනවද කියන එක කලින්ම සැලසුම් කරලා යන්න. ගෙදර ප්‍රශ්න, ඕපදූප, පවුල් ප්‍රශ්න, ඔෆිස් එකේ දේවල් එතන ගිහිල්ලා කතා කරන්න එපා. මොකද අම්මා ඉන්නේ දරුවෙක් ලැබෙන්න. එවැනි කාන්තාවක් හොඳ මානසික මට්ටමකින් ඉන්න ඕනේ. සමහර වෙලාවට ඔෆිස් එකේ එයාට අදාළ ප්‍රශ්නයක් කියනවා වෙන්න පුළුවන්. නමුත් එයින් අම්මට පුංචි හරි පීඩනයක් ඇති වීම ඒ මොහොතේ ඇය සූදානම් වන කාරණයට එතරම් හොඳ දෙයක් නෙවෙයි.’

බෝ වන රෝග

ලිපිය පටන් ගන්නකොටම කිව්වා වගේ මේ දවස් වල ජදඩසා-19 වසංගත රෝග තත්ත්ව නිසා අපි ගොඩක් පරිස්සම් වෙනවා. ගැබිනි මවටත් මේ කාරණය අදාලයි. ඒ නිසා උණ, සෙම් අමාරු, කැස්ස, සෙම්ප්‍රතිශාව වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් යුතුකමක් විදියට සලකලා ගැබිනි මව බලන්න යන එක නවත්තන්න. නීරෝගි කෙනෙක් විදිහට ඔබ රෝහලට ගියත් මීටරයක් දුරින් ඉදලා අදාළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කතාබහ කරල එන්න. මොකද ඔබ බලන්න යන ගර්භණී අම්මා විතරක් නෙවෙයි රෝහලේ තවත් ගර්භණී මව්වරුන් ගොඩක් ඉන්නවා. ඒ අයටත් යම් රෝගයක් පිටතින් බෝ වුණොත් දැනෙන පීඩාව, වේදනාව සහ සංකූලතා එක සමානයි.’

අත්‍යවශ්‍යම කෙනෙක් විතරක් යන්න.

කෙනෙක් රෝහල් ගත වුණාම හැමෝම රෝහලට යනවා. මේ කාලයේ තියෙන තත්ත්වයත් එක්ක රෝහල් වලට රෝගීන් බලන්න යන එක සීමා කරලයි තියෙන්නේ. හැමෝම යන එකෙන් වෙන්නේ ගෙදර ඉන්න යන්නම ඕන අත්‍යවශ්‍යම කෙනාට යන්න තියෙන අවස්ථාව නැති වෙන එකයි. සමහරවිට අම්මට බබා ලැබිලා නම් බබා ඉන්නෙත් අම්මත් එක්ක. බබාට ලෙඩ බෝ වෙන්න තියෙන අවස්ථාව එක හුඟක් වැඩියි. ඒ නිසා දෙරින් අවශ්‍යම එක්කෙනෙක් සියලු‍ අවශ්‍ය ද්‍රව්‍යයත් අරගෙන අම්මා බලන්න යන එක ප්‍රමාණවත්. පිටින් යනවනම් කිසිම හේතුවක් නිසා බබාව නම් අල්ලන්න එපා. මොකද එයාගේ සියුම් සමෙන් පවා විෂබීජයක් ශරීරගත වෙන්න පුළුවන්.’

වැඩි වෙලා රැf​ඳන්න එපා

ගැබිනි මව බලන්න ගියානම් එහෙමත් නැත්නම් අම්මයි බබයි බලන්න ගියානම් අවශ්‍ය කාරණා කතා කරලා ඉක්මනින් රෝහලෙන් පිට වෙන්න වග බලාගන්න ඕන. මොකද වැඩිවෙලා ළඟ රැf​ඳන එක ඒගොල්ලන්ගෙ විවේකයට හා නිදහසට බාධාවක්. ඒ වගේම විසබීජ ශරීරගත වෙන්නත් බලපාන්න පුළුවන්. ඔබ යන්නේ රෝහලකට. ඔබ මොනතරම් නිරෝගී පුද්ගලයෙක් වුණත් සමහර විට ඔබටත් විසබීජයක් ශරීරගත වෙන්න පුළුවන්. Covid 19 රෝගීන් තාමත් රෝහල් වල ඉන්නවා. ඒ නිසා ඔබ ඔබ ගැනත් සැලකිලිමත් විය යුතුයි. ගැබිනි මව බලන්න ගියා නම් ඇයගේ අඩුපාඩු ගැන හොයලා බලලා අවශ්‍ය දේවල් සකස් කරලා ඇයට අවශ්‍ය උදව් කරලා සෞඛ්‍යය ආරක්ෂිත විදිහට කටයුතු කරලා ඉක්මනින් රෝහලින් පිට වෙන්න වග බලා ගත යුතුයි.’

උදව් කරනවා නම් සැලකිලිමත් වෙන්න

සමහර වෙලාවට අම්මට බබා ලැබිලා නම් එයා ඉන්නේ කවුරු හරි උදව්වක් ඉල්ලගන්න එනකල්. මේ වගේ වෙලාවට බබාගෙ නැපි මාරු කරන එක, අම්මා වොෂ් රූම් එකට ගිහිල්ලා යනකම් බබා ගාවට වෙලා ඉන්න එක වගේ උදව් කරන්න ඔබට සිදු වෙනවා. එවැනි අවස්ථාවක සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ඒ කටයුතු කරන්න මවට උදව් වෙන එක ඔබේ වගකීමක්. නැත්නම් අනවශ්‍ය ගැටලු‍ ඇති වෙන්න පුළුවන්.

අම්මා බලන්න ගෙදරට ගියත් ඉහත කාරණා හැම එකක්ම වලංගුයි. බබා ලැබුණට පස්සෙ නම් අපි සාම්ප්‍රදායිකව මාස තුනක් යනකම් බබා බලන්න යන්නෙ නෑ. ඒ නිසා අම්මව වුණත් බබාව වුණත් බලන්න යනකොට මේ තියෙන තත්ත්වයත් එක්ක ඔබ වඩාත් පරිස්සම් වෙන එක ඔබට වගේම අම්මටයි බබාට යි දෙන්නටත් ඉතාම වැදගත්.

සටහන චාපා හංසිනි ආටිගල