free stats

දරුවෙක් පෝෂණය කළයුත්තේ ”‍දැනුමෙන්”‍ පමණක් නොවෙයි. ආකල්ප මෙන්ම කුසලතාත් ඒ හා සමාන බර තැබීමකින් සංවර්ධනය කරලීම අත්‍යවශ්‍ය වෙයි. දැනුම, ආකල්ප, කුසලතා යන දැවැන්ත ස්ථම්භයන් මත තමයි කායික හා මානසික නිරෝගී පුද්ගලයෙකු අනිවාර්‍ය්යෙන්ම සතුවිය යුතු සමබර පෞරුෂය ගොඩනැගෙන්නේ. දරුවෙකුගේ දැනුම වර්ධනය කිරීම කෙරෙහි යොමුවන අවධානය නිතැතින්ම වැඩියි. පාසල් අධ්‍යාපනය ඇතුලු‍ බොහෝ දේ කේන්ද්‍රගත වන්නේ ඒ වටා වීම ඊට බොහෝ සෙයින් හේතුවනවා.

නමුත්, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම අප අමතර අවධානයක් හා වෙහෙසක් දරා කළ යුත්තක්. මේ සටහන ඒ වෙනුවෙන් කෙරෙන මගපෙන්වීමක්.

1). තමා වෙනුවෙන් මෙන්ම අනෙකා වෙනුවෙන් නැගී සිටින්නේ කෙසේද?

දරුවාගෙ ලොකු, කුඩා සියලු‍ අවශ්‍යතාවන්ට දෙමාපිය/වැඩිහිටි ඔබ මැදිහත්වීම ඒ දරුවා සෑම විටම අනෙකා මත යැපෙන පරපෝෂිතයෙකු බවට පත්කරවනවා. වැඩිහිටියෙකු බවට පත් වූ පසුවද තමාටම අනන්‍ය වූ මතයක් නොමැති හෙයින් ඉතා පහසුවෙන් වෙනත් අයවලු‍න් වෙනුවෙන් පාවිච්චි වනු දකින්නට පුලු‍වන්. ඒ නිසා දරුවාට තමා වෙනුවෙන් නැගී සිටීමට අවශ්‍ය පෞරුෂය හා කුසලතාව දිරිගැන්වීම ඉතා වැදගත්. දරුවාගේ සීමාව තුළ තමාට කළ හැකි දේ තනිව ඉටුකරගැනීමටත්, එවැන්නක් සාර්ථකව ඉටුකළවිට අගය කිරීම හෝ අසාර්ථක වන බැව් පෙනීයන්නේ නම් අවම සහයක් පමණක් දැක්වීමත් ප්‍රමාණවත්. ඕනෑම ළමුන් කණ්ඩායමක් තුළ ස්වාභාවිකව දුර්වල සිසුන් සිටිනු දක්නට පුළුවන්.

බොහෝ විට ඔවුන් ශාරීරික ආබාධයකින්, නිරන්තර රෝගී තත්වයකින් පෙලෙනවා විය හැකියි. ඒ නිසාම කිසිදු කැපී පෙනෙන දක්ෂතාවක් නොමැති හෝ සෙසු පිරිසෙන් හුදෙකලාව හිඳීමට සිදුවී ඇති පිරිස් වෙත ස්වේච්ඡාවෙන්ම සමීප වන්නට දරුවාට හුරු කරවන්න. උපකාර අවැසි සාමාජිකයින් වෙත එලෙස අවධානයට පාත්‍රකරවීම උසස් නායකත්ව ලක්ෂණයක් බවත් වටහා දෙන්න.

2). ගැටුම්, එකඟ නොවීම් සාමකාමීව විසඳාගැනීම.

ඉතා සුළු කාරණාවලට පවා කුඩා දරුවන් අතර ගැටුම් ඇතිවීම ස්වභාවිකයි. ගැටුම් කිසිවක් නැති ජීවිතයක් කියන්නෙ ප්‍රායෝගික නොවන තත්වයක්. කළ යුත්තේ ගැටුම් නිසිපරිදි කළමනාකරණය කිරීමයි. පාසලේ හෝ පෙර පාසලේ සමවයස් දරුවන් අතර මෙන්ම, නිවසේ සහෝදර සහෝදරියන් අතරද මෙවැනි සිදුවීම් ඇතිවිය හැකියි. එවැනි තත්ව ඇතිවීමේ වරදක් නැහැ. නමුත්, ඒවා දුරදිග නොයවා විසඳා ගැනීමේ කුසලතාව කුඩා කලසිටම ප්‍රගුණ කොට තිබීම වැදගත්. එකිනෙකා කෙරෙහි ආදරය, කරුණාව දැක්වීමට දරුවාට උගන්වන්න. බෙදාහදා ගැනීමට දරුවාව උනන්දු කරන්න. තමා සතු යමක් අනෙකාට ලබාදී ඔහු/ඇය සතුටු වන දෙස බලා, තමාට ලැබිය හැකි සතුට අසමසම බව අත්දැකීමෙන් විඳින්නට ඉඩ දෙන්න.

3). වගකීම හා වගවීම.

තම වයසට ගැලපෙන සේ වගකීම් දැරීමටත්, ඒවා නිසිපරිදි ඉටුවන බවට වගවීමටත් ඔබේ දරුවාට කුසලතාවක් තිබිය යුතු වනවා. වගකීම් පවරන්න. ඒවා නිසි පරිදි ඉටුකරන්නේ දැයි අවධානයෙන් සිටින්න. නිසි ලෙස ඉටු කළේ නම් ප්‍රශංසාවට ලක්කොට අගය කරන්න. එලෙස ඉටු නොවුණේ නම්, හේතු සොයාබලා අවශ්‍ය පරිදි මග පෙන්වන්න. දරුවන් තමාට පැවරෙන වගකීම් ඉටුකළ යුත්තේ හුදෙක් දෙමාපිය ඔබ පවරන නිසා පමණක් ම නොවෙයි. අදාළ වගකීම තමා විසින් ඉටුකළ යුත්තේ යැයි දැඩි හැඟීමක් දරුවා සතුව පැවතිය යුතුයි.

වගකීම් දැරීමේ කුසලතාව සමබර පෞරුෂයක විශිෂ්ඨ ලක්ෂණයක්. උදාහරණයක් ලෙස නිවසේ කුඩා බලු‍පැටියා රැකබලා ගැනීමේ වගකීම දරුවාට පවරන්න පුළුවන්. එය නිසි පරිදි ඉටුවන්නේ දැයි දරුවාට නොදැනෙන සේ විමසිල්ලෙන් සිටීම ඔබට කළ හැකියි.

4). අනෙකා සමග කටයුතු කිරීම.

සමාජයේ අප කිසිවෙකුටත් තනිවම ජීවත්වීම කළ නොහැකියි. නිශ්චිතවම අනෙකාගේ සහය අපටත්, අපේ සහය අනෙකාටත් උවමනා වනවා. එනිසා එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ කුසලතාව අප අනිවාර්‍ය්යෙන්ම ප්‍රගුණ කළ යුතු ගුණාංගයක්; කුඩාවියේ සිටම අපේ දරුවන්ට ප්‍රගුණ කරවිය යුතු ගුණාංගයක්. මෙමගින් කණ්ඩායමේ කොටසක් ලෙස වැඩ කිරීමට ඉගෙනීම ඔබේ දරුවාට ගෞරවය, සම්මුතිය, ඉවසීම, සන්නිවේදනය සහ සංවේදනය වැනි සමාජ කුසලතා රාශියක් ලබා දෙනවා. අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගීතාව තුළින් යහපත් හා ස්ථිර අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අවස්ථාව උදාවනු ඇති. ළමුන් කණ්ඩායමක් සමග සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබීම මේ සඳහා හොඳ ප්‍රවේශයක්.

5). සමාව ගැනීම හා සමාවදීම.

සමාව ගැනීමට නිහතමානීකමක් මෙන්ම, සමාවදීමට උසස් මානසික පසුබිමක් මිනිසෙකුට තිබීම අත්‍යවශ්‍යයි. මෙහිදී හුදෙක් ”‍මට සමාවෙන්න”‍ යැයි පැවසීම පමණක් ප්‍රමාණවත් නැහැ. සමාව ගන්නවා යන්නෙන් අදහස් වෙන්නෙ කුමක්දැයි දරුවාට වටහාදීම වැදගත්. අපි අපේ ක්‍රියාකාරකම් වලට වගකිව යුතු බවත්, යම්හෙයකින් අප අතින් වරදක් වූයේ නම් අදාළ පාර්ශවයට අපේ කණගාටුව දැක්විය යුතු බවත් දරුවාට ඉගැන්විය යුතුයි. එය උතුම් මානව ගුණධර්මයක්. දරුවා බොහෝ දේ ඉගෙන ගන්නේ දෙමාපිය-වැඩිහිටි ඔබ දෙස බලා හිඳීමෙන්. ඔබ ආදර්ශමත් වීම ඉතා වැදගත් වන්නේ ඒ නිසාවෙන්. තවද, අප කිසිවෙකුත් පරිපූර්ණ මිනිසුන් නොවන නිසා අප අතින් වැරදි සිදුවීමට ඉඩ ඇති බවත්, එවැනි අවස්ථාවක අප කළ යුත්තේ අදාළ වරද පිළිගෙන නැවත් එවැන්නක් සිදු නොවීමට වගබලා ගැනීම බවත් දරුවාට උගන්වන්න.

සටහන වෛද්‍ය අරුණි ලියනමාන.