free stats

පෝෂණවේදය පිළිබඳ

මහාචාර්ය රේණුක සිල්වා මහතා

ගර්භනී වෙන්න කලින් නිසි බර පවත්වාගෙන යන්න ඕන කියන එක සෑම කාන්තාවක්ම හොඳින් දන්නවා. මොකද ගැබිනි සමයේදී කාන්තාවක්ගේ බර වැඩිවෙන්න පුළුවන්. ඒ තත්ත්වය දිගින් දිගටම ඇතිවුණොත් අධික ස්ථුලතාවය දක්වා මේ බර ප්‍රමාණය වැඩි වීම නවත්වන්න බැහැ. ඒ නිසා ගැබ් ගන්න කලින් නිසි බර එහෙම නැත්නම් ප්‍රශස්ත බර මට්ටම පවත්වා ගෙන යාම පිළිබඳව අපි මීට කලිනුත් ඔබට උපදෙස් දීලා තියෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආහාර හා පෝෂණය පැත්තෙන් නිසි බර පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවයි. නිසි බර පවත්වාගෙන යාම කියන කාරණාවේදී උස කියන සාධකය ඉතා වැදගත්. මොකද ඕනම කෙනෙකුගෙ බර තීරණය වෙන්නේ එයාගේ උසේ ප්‍රමාණය මතයි.

අපි උස සහ බර මනින මේ සාධකයට බී එම් අයි අගය කියලා කියනවා. උස මීටර් වලින් අරන් උසේ වර්ගයෙන් බර බෙදුවම එන අගය 18.5 ත් 23 ත් අතර තියනවනම් ඒක ප්‍රශස්ත බර මට්ටම කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශස්ත බර මට්ටම පවත්වා ගෙන යන්න ිවිධාකාර ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. නමුත් කෑම පාලනයෙන් බර අඩු කිරීම සුදුසු නැහැ. ඉතාම අඩුවෙන් කෑම ගැනීම ඒ තරම් හොද දෙයක් නෙවෙයි. ඒ සිරුරේ අනිත් ක්‍රියාවලීන්ට ඍජුව බලපානවා. මෙහිදී සිදු වෙන්න ඕන ශක්තිය සහිත ආහාර සීමා කිරීම පමණයි. ගැබ් ගැනීමට පෙර කාලයේ දී සීනි පිටි තෙල් ගැනීම සීමා කරන්න පුළුවන්. වැඩිපුර එළවළු වර්ග, කොළ වර්ග, සලාද වර්ග හා පලතුරු ගැනීම වඩාත් සුදුසුයි. පලතුරුවල සීනි අඩංගු උනත් පලතුරු වලින් මහත් වීමක් සිදු වෙන්නෙ නෑ. මොකද එහි වැඩිපුර තිබෙන්නේ වතුර නිසා.

මුං ඇට කවුපි කඩල වගේ රනිල බෝග වර්ගත් එහෙම නැත්නම් ඇට වර්ගත් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. මෙතැනදී බත් ආහාරයට ගන්න ප්‍රමාණය සීමා කළාට කමක් නැහැ. එහෙම කරනවා නම් එළවළු වර්ග අනිවාර්යෙන්ම වැඩි වෙන්න ඕනේ. එයින් සිරුරට අවශ්‍ය මූලික පෝෂණය නිසි පරිදි ලබා ගන්න පුළුවන්. ඉන් පස්සේ අපිට ව්‍යායාම ගැන සලකා බලන්න අවස්ථාව තිබෙනවා. ව්‍යායාම කරනවා කියන්නේ ඇඟ හොඳින් මහන්සි වීම. දවසකට පියවර දහදාහක් ඇවිදින්න පුළුවන් නම් ඒ කියන්නෙ කිලෝමීටර පහක් ඇවිදින්න පුළුවන් නම් ස්ථුල කෙනෙකුට ඉක්මනින් බර අඩු කරගන්න පුළුවන්. ස්මාර්ට් ජංගම දුරකථන වල මේ සඳහා පහසුකම් සපයන යෙදුම් තිබෙනවා.

මේ කිලෝමීටර 5 එකපාරම ඇවිදින්න බැහැ හෙමින් හෙමින් පුරුදු වෙන්න වෙනවා. කාන්තාවක් විවාහ වෙන්න කලින් සැලකිලිමත් වෙන දේවල් බොහෝමයක් තියෙනවා. ඒ අතරින් තමන්ගේ බරත් එකක්. ඒ නිසා අධික බර තියන කෙනෙක් විවාහයට පෙර ඉදන්ම මෙන්න මේ කිලෝමීටර් පහේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙනවා නම් ැබ් ගන්න කලින් තමන්ගේ බර ප්‍රශස්ත මට්ටමකට ළඟා කරගන්න පුළුවන්.

අඩුබර නම්

අඩු බර අම්මා කෙනෙක් නම් පෝෂණයෙන් යුතු ආහාර ගැනීම ඉතාම වැදගත්. එයාගෙ පිඟානෙන් බාගයක්ම තියෙන්න ඕනෙ බත්. ඉතුරු බාගෙන් බාගයක් එළවළු ඉතුරු ටික ඇට වර්ග මස් මාළු බිත්තර වගේ දේවල් වලින් පුරවන්න පුළුවන්. මහත් වෙන්න කියලා හිතලා හුඟක් කන්න එපා. එතකොට අපේ සිරුරට කිසිම හැඩයක් නැති වෙලා බඩ විතරක් ලොකු වෙන්න පටන් ගන්නවා. ලස්සන හැඩති මහතක් ලබාගන්න නම් ආහාරපාන තෝරා බේරා ගෙන නිසි පරිදි ආහාරයට ගන්න ඕනි. ව්‍යායාම කිරීම මේ අයටත් අනිවාර්යයි.

දවසකට පැය භාගයක් ඇවිදින්න පුළුවන් නම් සතියකට විනාඩි 150ක් ඇවිදින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ සතියටම පැය දෙකහමාරයි. බර අඩු වුණා කියලා තෙල් ආහාර ඕනවට වඩා ගන්න ඔබට අවසර නෑ. පෝෂ්‍ය ජනක ආහාර තමයි වැඩිපුරම ගන්න ඕන. සිරුරේ අනවශ්‍ය විදිහට මේදය තැන්පත් වීම සුදුසු වෙන්නේ නෑ. ශක්තිමත් ගර්භාෂ බිත්ති හැදෙන්න නම් නිවැරදි පෝෂණය අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබට සුදුසු ආහාර සැලසුමක් සඳහා හොඳ පෝෂණවේධියෙක් හමුවීම අනිවාර්ය කාරණයක්.

ගැබිනි වියේදී

ගැබ් ගත්තට පස්සේ බර අඩු කරන්න සැලසුම් කිරීම බබාගේ වර්ධනයට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ගැබිනිකාලේ මහත් වුණා නම් බබා ලැබෙන තුරු ඉන්න. අධික බර කෙනෙක් කොහොමත් බබා ලැබෙද්දි තවත් මහත් වෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී කාන්තාවකට kg නවයෙ සිට කිලෝ ග්‍රෑම් 12 දක්වා බර වැඩි වීමක් මේ කාලෙදි අපේක්ෂා කරනවා. ස්ථූල කෙනෙක් නම් ගැබිනි වියේදී මීට වඩා බර වැඩි වෙන්න පුළුවන්. ගැබිනි සමයේ බර වැඩිවීමේ අතුරු ප්‍රතිඵලයක් විදිහට දියවැඩියාව ඇති වන පුළුවන්. එය ගැබිණි වීමෙන් පසුවත් දීර්ඝ කාලීනව පවතින ඉඩ තිබෙන නිසා සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

එවැනි අවස්ථාවක බබාගේ බර අනවශ්‍ය විදිහට වැඩි වුනොත් එයාටත් දියවැඩියාව ඇති වීමේ යම් අවදානමක් තිබෙනවා. ඒ වගේම නිසි බර පවත්වාගෙන යන්න බැරි අඩු බර මට්ටමක් සහිත අම්මා කෙනෙක්ට උපදින බබාත් අඩු බර සහිත දරුවෙක් වෙන්න පුළුවන්. බබාගේ උපත් බර අඩු වීම එයාගේ ජීවිත කාලයටම බලපාන ප්‍රශ්නයක් වෙන නිසා අම්මා කෙනෙක් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. මොකද අඩු බර දරුවෙක්ගේ වර්ධනය මොලේ වර්ධනය බුද්ධි වර්ධනය අඩුවෙන්න පුළුවන්. ඒක එයාගෙ ජීවිත කාලයටම බලපානවා.