මව පියා දරුවන් වශයෙන් පවුලක් ලෙස ජීවත් වීමේ දී හොඳ සබධතාවක් පවුල තුළ ගොඩනගා ගැනීම වගකීමකි. පවුල අතර හොඳ සබධතාවක් නැතිවීමෙන් සිදුවන්නේ දරුවන් සහ දෙමව්පියන් ඈත් වීමයි. එය ළමයෙකු මව්පිය පාලනයෙන් අනවශ්‍ය ලෙස ගිලිහි යාමට තුඩු දෙන කාරණයකි. එබැවින් දෙමව්පියන්ට දරුවාව අවශ්‍ය වන තරමටම දරුවාට දෙමව්පියන් අවශ්‍ය වන වග තේරුම් ගැනීමට හැකිවන ලෙස ආදරය සෙනෙහස මුදාහැරීම මවගේ මෙන්ම පියාගේ ද වගකීමකි.
ළමයෙක් ඉතාම කුඩා කාලයේ මවගේ මෙන්ම පියාගේ නොමඳ ආදරය හා කරුණාව ලැබෙන බව අපි හොඳින්ම දන්නවා. අම්මාගේ ඇකයේ නැළවෙමින් තාත්තාගෙන් කතාන්දර අසමින් නැලවෙන්නේ ඒ නිසයි. නමුත් මෙවැනි ආදරණීය සබධතා කාලයත් සමඟ ගිලිහි යනවා. දරුවන් වැඩිහිටියන් බවට පත්වන විට ඔවුන් දෙමව්පියන්ගෙන් ඈත් වෙලා හුදකලා වෙනවා විතරක් නෙවෙයි දෙමව්පියන් ඔවුන් ට හුදකලා වෙන්න ඉඩ හරිමින් එයට සුදුසු පරිසරය සකස් කර දෙනවා. නමුත් මනෝ විද්‍යාවට අනුව හොඳ සබධතාවක් සබැඳියාවක් තිබීම ඉතාම වැදගත්. මෙය අඛණ්වට පවත්වාගෙන යා යුතුය. පර්යේෂණාත්මක දත්තවලට අනුව මෙවැනි සබැඳියාවක් පවත්වාගෙන යාමේ හොඳම ඥානය හා අදහස් අම්මා සතුව තිබෙනවා.
උදාහරණයක් විදියට අපි මෙහෙම දෙබසක් ගනිමු…..
පුතේ ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඔයා මහන්සි වුණොත් හොඳ තැනකට යන්න පුළුවන්. තාත්තත් කිව්වා ඔයාට හොදට ඉගෙන ගන්න පුළුවන් කියලා.
මෙන්න මේ වගේ අදහසකින් දරුවා තුළ අධ්‍යාපනය කෙරෙහි අවශ්‍යතාවක් ඇතිකරන්න මවට පුළුවන්. නමුත් මේ අදහස මව අදහස් කරන ආකාරයෙන්ම තෝරා ගැනීමේ හැකියාව තිබෙන්නේ දෙදෙනා අතර හොඳ සබැඳියාවක් තිබුණොත් පමණයි. නැතිනම් දරුවාට මෙවැනි අවවාදයක් ඇසෙන්නේ දැනෙන්නේ කරදරයක් විදියට වෙන්නත් පුළුවන්.
මනෝ විද්‍යාවේදි පැහැදිලි කරන ආකාරයට එකිනෙකා අතර දත්ත හුවමාරුවේ දී විනිශ්චය කිරීමකින් තොරව පිළිගැනීමක් සිදුවෙනවා නම් ඒ දෙදෙනා අතර හොඳ සම්බන්ධයක් තිබෙනවා. ඒ වගේම දරුවෙක් පීඩාවට පත්වෙන යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් එය කතා කළ හැකි හොඳම පුද්ගලයා වන්නේ අම්මා හෝ තාත්තායි. එවැනි අවස්ථාවක දෙමව්පියන් ඒ සම්බන්ධව අවධානය යොමු නොකලොත් දරුවා වෙනත් පාර්ශවයක් වෙත යොමු වෙන්න පුළුවන්. එය වෙනත් අවධානමක් ගෙන එන්න පවා හේතුවක් වෙනවා.
පෙර පාසල් කාලයේ දෙමව්පියන් හා දරුවන් අතර හොඳ සබධතාවක් තිබෙනවා. දරුවාව නාවලා කවලා පොවලා ලස්සනට අන්දලා බොහොම ආදරයෙන් පාසලට අරගෙන යනවා. නමුත් කාලයත් එක්ක අධ්‍යාපන තරඟයට හා රැල්ලට ගොඳුරු වෙන දෙමව්පියන් දරුවන් අතෑරලා දාන්නේ අර තරඟය දරුවාට වඩා වැදගත් කියලා හිතන නිසයි. මෙන්න මේ සබධතාවය බිඳවැටීමත් එක්ක දෙමව්පියන් වරදවා තේරුම් ගන්න දරුවන් පෙළබෙනවා. මේ තත්ත්වය එතරම් සුදුසු නැහැ. එවැනි අවස්ථාවක දී දරුවාට දෙන අවවාදයක් පවා වරදවා තේරුම් ගන්න තරම් මානසික ව්‍යාකූල බවක් ඇතිවිය හැකියි. එවැනි සබධතාවක් නොමැති තැනක දරුවාට ග්‍රහණය වෙන්නේ මව හෝ පවසන දෙයින් 75% ක් පමණයි.
රොබට් ආර් කාකොෆ් කියනවා මේ ලෝකයේ පවතින මාන සම්පතක් හැම මොහොතේම වැඩෙමින් පවතිනවා. එහෙම නැතිනම් එම සම්බන්ධය තිබෙන්නේ බිඳවැටෙමින්. සම්බන්ධය වැඩෙමින් පවතිනවා නම් ඒ තුල විද්‍යාත්මක සබැදියාවක් තිබිය යුතුයි.
එහෙම නම් පවුලේ සබැඳියාවක් හදාගන්නේ කොහොමද?
අන්න ඒක කරන්නේ මෙහෙමයි. පවුලේ අය අතර තියෙනවා පොඩි පොඩි කුසලතාවන්. ඒ කුසලතාවන් දියුණු වෙන්න නම් ඒවාට අගය කිරීමක් නිතරම අවශ්‍යයි. දරුවා කරන සෑම හොඳ දෙයක්ම දෙමාපියන් අගය කිරීමකට ලක් කළ යුතු වෙනවා. ඒ වගේමයි පවුල ඇතුලේ සහකම්පනය දියුණු කර ගන්න වෙනවා. බිරිඳ තනිවම උයනවා නම් සැමියා ඇය ගැන සහකම්පනයක් ඇති කර ගත යුතුයි. අම්මා තාත්තා විඳින දුක ගැන දරුවන් හැම විටම දැන ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි. එවිට සබැඳියාව නිරන්තරයෙන්ම ගොඩනැගෙනවා.
දරුවෙක් ගණන්වලට ලකුණු 20ක් ගත්තාම දෙමාපියන් දරුවා කෙරෙහි සහකම්පනය ඇතිකර ගත යුතුයි. දරුවාව ළඟට අරගෙන ඔහු ලබා ගත් ලකුණු 20 අගය කළ යුතුයි. එහෙම වුණාම දරුවාට ලබා ගන්න නොහැකි වුණ ලකුණු 80 ලබා ගන්න දරුවා උත්සහ කරනවා. ගණන්වලට ලකුණු 20ක් ගත් වෙලාවට දරුවාට ගහනවා නම් බනිනවා නම් ඔහුට දැනෙන්නේ අනාරක්ෂිත බවක්. ඔහු හැම විටම හිතනවා අම්මා තාත්තා මාව පිළිගන්නේ නැහැ, මට ආදරය නැහැ කියලා. මෙවන් අවස්ථාවන් වලදී දරුවන්ට මානසික ගැටළු පවා ඇතිවෙනවා.
දෙමාපියන් හැම විටම කියන දේ කරන කරන දේ කියන අය වියයුතුයි. ස්නායු මනෝ විද්‍යාත්මකව සොයා ගෙන තියෙනවා සබැඳියාව කැඩි ඇති පවුල්වල කාන්තාවන්ට පියයුරු පිළිකා සැදීමේ අවදානමක් හා පිරිමින්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් තිබෙන බව. දිගුකාලීන සබැඳියාව පවත්වාගෙන යන අය බොහෝ කාලයක් නිරෝගීව සිටිනවා. ඒ නිසා ගුණාත්මක සබැදියාවන් වර්ධනය කරගැනීම වඩාත් වැදගත් වනවා.
මනෝ උපදේශක
මනෝ චිකිත්සක
විශේෂඥ මනෝ වෛද්‍ය
චමින්ද වීරසිරිවර්ධන
සටහන -ශ්‍රියානි වීජේසිංහ