free stats

දරුවෙක් හදාවඩා ගැනීම ඉතා සංයමයෙන් හා දැනුවත්ව කළයුතු ප්‍රවේශම් සහගත කටයුත්තක්. නිසි අවබෝධයක් රහිතව හෝ දිගුකාලීන බලපෑම්වල බරතැබීමක් නොමැතිව දරුවෙකු උස්මහත් නොකළ යුතුයි. මේ ලිපි මාලාව ලියැවෙන්නෙ දෙමාපිය, වැඩිහිටි ඔබ; ඒ කෙරෙහි දැනුමින් සන්නද්ධ කිරීමේ අරමුණින්. වඩා තාක්ෂණික හා මනෝවිද්‍යාත්මක කරුණු පිළිබඳ මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරනවා. දරුවෙකු හදාවඩා ගන්නවා කියන්නෙ රිද්මයානුකූලව කළයුතු ක්‍රියාවලියක්. මෙකී රිද්මය නිසිපරිදි ග්‍රහණය කරගත් දෙමාපියන් මෙම අභියෝගය පහසුවෙන් ජය ගත්තා. ඒ සඳහා මේ මගපෙන්වීම අත්වැලක් වනු ඇති. දරුවා වෙනුවෙන් කාර්‍ය්යන් කරන්නට එපා. බොහෝ දෙමාපියන් දරුවාට කළහැකි (හෝ දරුවා කළයුතු) කාර්‍යයන් දරුවාට කිරීමට ඉඩනොදී තමා විසින් ඉටුකරන්නට පෙළඹෙනවා. මෙහි ආකාර කිහිපයක් දැකිය හැකියි. එක් දෙමාපිය කොට්ටාසයක් කිසිවිටෙකත් දරුවාට තමාගේ කටයුතු කරගැනීමට ඉඩ දෙන්නේ නැහැ.

ඉතා සුඛෝපභෝගී කලාපයක දරුවන් තබන ඔවුන්, දරුවාගේ ලොකු කුඩා සියලු දේ ඉටුකරදෙනවා. තවත් දෙමාපිය කොටසක්, යම් කාර්‍යයක් ඉටු කරන ලෙස දරුවාගෙන් ඉල්ලා සිටිනවා. දරුවා එය නොසලකා හැරි විට (දරුවාට දොස් පවරමින් හෝ) තමා විසින්ම ඉටු කිරීමට දෙමාපියන් පෙළඹෙනවා. මේ දෙයාකාරයම දරුවා කෙරෙහි අහිතකර බලපෑම් ඇතිකරවනවා. දරුවා යමක් තනිව කරන්නට ඉගෙන ගන්නේ නැහැ. වැරදීම් වලින් ඉගෙන ගැනීමට උනන්දුවන්නේ නැහැ. වගකීම්සහගත බව පිළිබඳ හැඟීමක් දරුවා තුළ ගොඩනැගෙන්නේ නැහැ. දරුවාගේ දක්ෂතා නොපැකිලිව අගයන්න. දක්ෂතා ඇගයීම හා ප්‍රශංසාවට ලක් කිරීම දරුවා කෙරෙහි ඉතා තදින් බලපාන ප්‍රබල උත්ප්‍රේරක ක්‍රියාවලියක්. කුඩා දරුවන් බොහෝ සෙයින් ප්‍රශංසාව බලාපොරොත්තු වනවා. ඔබ කුමන වැඩ කටයුතු බහුල තත්වයක සිටියදී වුවත්, ඉතා කෙටි ඇගයීමක් හෝ දරුවා වෙනුවෙන් කිරීමට සිහි තබාගන්න. දරුවා තමාගේ කුසලතාවක් ඔබට පවසන විට ඊට ඇහුම්කන් දීම ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තබා ගන්න. හැකි හැමවිටෙකම එවෙලේම දරුවාට සුබ පතන්න, දිරිමත් කරන්න. ඔබට ඒ සඳහා වැය වනුයේ වචන කිහිපයක් විය හැකිය. නමුත් දරුවාට එය මහත් සේ අගනා උත්තේජනයක් වන්නට පුළුවන. මෙහිදී දරුවා විභාගයකදී වැඩි ලකුණු ලබාගැනීම, ක්‍රීඩා තරඟයකින් ජයග්‍රහණය කිරීම වැනි යමක් විය යුතුම නැහැ.

නිසිපරිදි දත් මැදීම, ගෙදරවැඩ හොඳින් කිරීම වැනි සරල ක්‍රියාවක් වුවද නිසි පරිදි ඉටු කළේ නම් නොමසුරුව ප්‍රශංසාව පිරිනමන්න. 3. ගෙදරදොරේ දෛනික වැඩකටයුතුවලට උදව් කරන්නට දරුවාට ඉඩ දෙන්න. කුඩා දරුවන් නිතැතින්ම උදව් කරන්නට ආසා කරනවා. නමුත්, බොහෝ මව්පියවරුන් ඔවුන්ව වලක්වනවා. එසේ කිරීම සුදුසු නැහැ. දරුවාගේ වයසට ගැලපෙන සේ යම් කාර්‍ය කොටසක් දරුවාට පවරා, නිසි ලෙස ඉටුකරන්නේ දැයි පසුවිපරම් කිරීම වැදගත්. නිසිලෙස ඉටුකළේ නම් ඇගයීමටත්, යම් අඩුපාඩු සිදුවී නම් කාරුණිකව ඒවා නිවැරැදි කිරීමටත් කටයුතු කරන්න. තමාටම අනන්‍ය වූ සුවිශේෂී බවක්, වගකීම් සහගත බවක් දරුවාට හැඟෙනු ඇත. ගෙදරදොරේ සෑම වැඩක්ම, සියලුම වයස් පරාසයන්ට සුදුසුවන්නේ නැහැ.

මේ නිදසුන් කිහිපය සලකා බලන්න. අවු: 2-3  

• සෙල්ලම් කළ පසු සෙල්ලම් බඩු හා පොත්පත් නියමිත තැන තැබීම.

• ඇඳුම්, රාක්කයේ නියමිත පිළිවෙලට තැබිම.(දරුවාගේ ප්‍රමාණයට ඔබින කුඩා රාක්කයක් ගෙනැවිත් දෙන්න).

• කෑම මේසය පිළියෙල කරන අයුරු පෙන්වා දෙන්න.අවු: 4-5

• යම් වගකීම් යටතේ ආහාර සඳහා මේසය පිළියෙල කිරීම.

• තමා නිදන ඇඳ පිළියෙල කරගැනීම. (දෙමාපිය ඔබේ සහයෝගය සහිතව) අවු: 6-11

 • කෑම පිසීමට සහය ගන්න. (දැඩි සුපරීක්ෂාව යටතේ)

• ගෙවත්තේ පැළවලට වතුර දැමීම.

• කුණු කසල නිවැරැදිව බැහැර කිරීම. (මුල් අවස්ථාවලදී සහය වන්න)

• ගෙබිම අතුගෑම හෝ පිරිසිදු කිරීම. වයසට සරිලන කුඩා තීරණ ගැනීමට දරුවාට දිරි දෙන්න. 

නිවැරැදි තීරණ ගැනීම පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය ජීවන කුසලතාවක්. නිසිපරිදි එම කුසලතාව ප්‍රගුණ නොකිරීම පසුකාලීනව ගැටලු රාශියක් ඇති කරවනවා. තීරණ ගැනීම කරන්නන් වාලේ කළහැකි යමක් නොවෙයි. ඒ සඳහා පුරුද්දක්, අත්දැකීම් මෙන්ම තීරණ වැරදීමෙන් වටහාගත් පාඩම්ද උවමනා වෙනවා. කුඩා දරුවෙකු තීරණ ගැනීමේ කියාවලියට උනන්දු කරවීම ඉතා වැදගත් වන්නේ මේ නිසා. මුලින් තෝරාගැනීම් කිහිපයක් ලබාදී, ඉන් එකක් තෝරාගැනීමට පවසා, එකී තෝරාගැනීමට හේතු (දීර්ඝ පැහැදිලි කිරීමක් නොව සරල උත්තරයක් ප්‍රමාණවත්) විමසා සිටීම යෝග්‍යයයි. එවිට තමාගේ තෝරා ගැනීමට පසුබිම් වූ හේතුව පිළිබඳවද සිතීමට දරුවා පෙළඹෙනවා. උදාහරණයක් ලෙස වයස අවු. 3 පමණ දරුවෙකු සමග අවන්හලකට ගියේ යැයි සිතන්න. එහි තිබෙන අතුරුපස වර්ග සියල්ලම මිලදී ගැනීමත්, අනුභව කිරීමත් ප්‍රායෝගිකව අපහසු බව දරුවාට පහදා දී, යෝගට්, කිරිපැකට් හෝ අයිස්ක්‍රීම් අතුරින් එකක් තෝරාගැනීමට අවස්ථාව දෙන්න.

තරමක් වයසින් වැඩුණු දරුවෙක් නම් තමා අඳින ඇඳුම තෝරාගැනීමට දරුවාට ඉඩ දෙන්න. මෙලෙස සරල තීරණ ගැනීමට දරුවාව හුරු කරන්න. මසකට වරක් හෝ දරුවාට නව අභියෝගයක් දෙන්න. “අභියෝග” ජීවිතය පුරාවටම අප මුහුණ දිය යුතුවන, ඒ හා තදින් ගැටගැසී ඇති සංසිද්ධියක්. “අභියෝග ජයගැනීම” එක් ඇසිල්ලකින් සාක්ෂාත් කළ හැකි කුසලතාවක් නොවෙයි. “අභියෝග” වලින් සම්පූර්ණයෙන්ම තොරවූ ජීවිතයක් අපේක්ෂා කරන්නටද බැහැ. එසේ නම් කළයුත්තේ අභියෝගවලට සාර්ථකව මුහුණ දී ඒවා ජයගැනීමට දරුවාව සූදානම් කරවීමයි. දරුවාගේ වයසට, කුසලතාවලට හා සංවර්ධනයන්ට සාපේක්ෂව සුදුසු පරිදි අභියෝග පවරන්න. ඒවා මහත්සේ බැරෑරුම් වීම අනිවාර්‍ය්ය විය යුතුම නැහැ. සරල කාර්‍යයක් වුවද, ඉටුකිරීම සඳහා යම් පරිශ්‍රමයක් දැරිය යුතු නම්, එවැන්නක් “අභියෝගයක්” ලෙස පැවරීම සුදුසු වනවා. උදාහරණයක් ලෙස අවු. 3 ක දරුවෙකුට තනිවම ඇඳුම් ඇඳ ගැනීමට පැවරිය හැකියි.යමක් කළයුතු ආකාරය දරුවාට උගන්වන්න.  දරුවාට වැඩ පැවරීමට පෙර එය කළයුතු ආකාරය ඉගැන්වීම වැදගත්. ඉගැන්වීමේදී “කර පෙන්වීම” වඩා ඵලදායී වනවා. ඔබ දෙස බලා දරුවාට ඉගෙනීමට ඉඩ හරින්න. ඔබ දරුවාගේ පළමු ගුරුවරයා බවත් මතක තබා ගන්න. දරුවා ඔබ පැවරූ යමක් නොකරන්නේ හෝ අතපසු කරන්නේ, එය කිරීමට ඔහු/ඇය නොදන්නා නිසා විය හැකියි. ඇතැම්විට කළයුතු දේ දන්නවා වුවත්, කළයුතු ආකාරය පිළිබඳ වැටහීමක් නැතිවා විය හැකියි.

එනිසා පළමුව, කළයුතු දෙය ඔවුන්ට කියන්න. දෙවනුව, කළයුතු ආකාරය ඔවුන්ට කර පෙන්වන්න. තෙවනුව, පියවරෙන් පියවර ඔවුන් හා සමගාමීව සම්පූර්ණ කරන්න. සිව්වනුව, ඔවුන්ට තනිවම කිරීමට පවරා අවශ්‍ය තැන්හිදී පමණක් සහය වන්න. කුඩා දරුවන් වැඩිහිටියන්ට වඩා ඉක්මනින් හා පහසුවෙන් දේවල් ඉගෙන ගන්නවා. නමුත් මෙහිදී දරුවාගේ පමණ ඉක්මවා යන කාර්‍යයන් පැවරීමෙන් වැලකීමට සිහිතබා ගන්න. දරුවාව දිරිමත් කරන්න. හැමවිටම දරුවා කෙරෙහි ධනාත්මක උත්ප්‍රේරකයක් වන්න. අන්‍යන් තමා කෙරෙහි විශ්වාසය තබන බව තහවුරු වීම යම් කාර්‍යයක් සාර්ථකව නිම කිරීම කෙරෙහි ධනාත්මක පෙළඹවීමක් ඇති කරවනවා. එය දරුවාට පමණක් නොවෙයි; අප සියල්ලන්ටම පොදු කාරණයක්. මේක ඉතාම සරල මනෝවිද්‍යාත්මක උපදේශයක්. ඔබ ඔබේ දරුවාට යමක් කළහැකි බව විශ්වාස කරන්නේ නම්, ඔබේ දරුවාත් එය තමාට කළහැකි බව විශ්වාස කරන්නට පටන් ගන්නවා. අපි දරුවන්ට යම් යම් දෑ කරන්නට උපදෙස් දෙනවා, උගන්වනවා, මගපෙන්වනවා… නමුත් මේ සියල්ලටම වඩා එය ඔවුන්ට කළහැකි බව අප විශ්වාස කිරීමත්, අප එසේ විශ්වාස කරන බව දරුවාට දැනෙන්නට හැරීමත් වැදගත්. දරුවාගේ ඉතා කුඩා වර්ධනයන් පවා ප්‍රශංසාවට ලක් කරන්න. එහි බලපෑම සුළුපටු නොවනු ඇත. දරුවාගේ උත්සාහයන් විවේචනය කිරීමෙන් වලකින්න. දරුවන් යනු කුඩා මිනිසුන් නොවෙයි. වැඩුණු මිනිසුන් ලෙස අප ගන්නා ඇතැම් උත්සාහයන් ද වරදිනවා. එනිසා දරුවන් අතින් එසේ වැරදීම් සිදුවීම බෙහෙවින් ස්වභාවිකයි. විශේෂයෙන් යමක් මුල්වරට කිරීමට උත්සහ දැරීමේදී අප අතින් අත්වැරදීම්, අතපසුවීම්, නොසලකාහැරීම් සිදුවනවා.

ඇතැම්විට කිහිප විටක් උත්සහ දැරීමට සිදුවනවා. එනිසා දරුවාගෙන් වන අත්වැරදි, අඩුපාඩු විවේචනය නොකිරීමට තරම් ඔබ ඉවසිලිවන්ත විය යුතුයි. කුඩා අතපසුවීම් නිවැරැදි කරගැනීමට දරුවාට අවස්ථාව දෙන්න. ඒ සඳහා සහය වන්න. දරුවා කෙරෙහි ඔබ විශ්වාසය තබන බව හඟවන්න. අතපසුවීම් අප හැමදෙනාටම පොදු කරුණක් බවත්, අප කළයුත්තේ ඒවායින් ඉගෙනගෙන, නැවත ඒවා සිදුනොවන ලෙස කටයුතු කිරීම බවත් දරුවාට වටහා දෙන්න. සාර්ථකව අවසන් කිරීම හෝ නොකිරීම පසෙකලා දරුවාගේ උත්සාහයන් පසසන්න. කිසිවිටෙකත් සංසන්දනය කිරීම් නොකිරීමට වගබලා ගන්න. නිරන්තර විවේචනය හා දෝෂාරෝපණයන්ගෙන් ඇතිවන එකම ප්‍රතිඵලය අදක්ෂ, අකාර්‍යක්ෂම හා ආත්මාභිමානයෙන් හීන පෞරුෂයකින් හෙබි දරුවෙකු පමණයි. තවද, දරුවා කිසිවිටෙකත් අලුත් යමක් අත්හදා බැලීමට හෝ අලුතින් සිතීමට නොපෙළඹෙනු ඇත. එය වඩා ඍණාත්මක ලෙස දරුවාගේ අනාගතයට බලපානු ඇති බව ඔබට නැවත නැවතත් පැහැදිලි කිරීම අනවශ්‍ය බැව් සිතනවා.

වෛද්‍ය අරුණි ලියනමාන.