free stats

මේ දවස්වල ප්‍රතිශක්තිය ගැන වැඩිපුර කතා කරනවා. ඒ වුණත් ප්‍රතිශක්තිය කියන්නේ කොයි කාලෙටත් ඉතාම වැදගත් මාතෘකාවක්. අපේ සිරුරට හානි කරන්න බාහිර පරිසරයෙන් එන සියලු විෂබීජ, වෛරස්, බැක්ටීරියා හා දීලීරවලට එරෙහිව සටන් කරලා ප්‍රතිදේහ නිපදවලා අපිව සෞඛ්‍ය සම්පන්නව තියන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය බව අපි හොඳින්ම දන්නවා. ඒක නිසා මේ පද්ධතිය ශක්තිමත්ව තියාගන්න අපෙන් ඉටුවිය යුතු යම් යම් කාරණාත් තිබෙනවා. අපේ ආහාර ගැනීමේ පුරුදු සහ නිරන්තරයෙන් අප ගන්නා ආහාර මේ අතරින් ප්‍රධානයි. පෝෂණය පිළිබඳව කතා කරන සෑම විටම ප්‍රතිශක්තිය වැඩිකරන ආහාර වර්ග පිළිබඳව අවධානය යොමු කළ යුතු නිසා වයඹ විශ්ව විද්‍යාලයේ පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රේණුක සිල්වා මහතා සමඟ ආහාර හා ආහාර පුරුදු මඟින් ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව අපි කතා කළා.

මුලින්ම අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය හඳුනාගනිමු.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ සිරුර අභ්‍යන්තරයේ තිබෙන සෛල සමූහයක් විතරක්ම නෙවෙයි. අපේ සමත් එයට අයිති වෙනවා. සම නීරෝගි නම් පිටතින් කිසිම විෂබීජයකට ඇතුල් වෙන්න බැහැ. අපේ සිරුරෙන් නිපදවෙන ශ්‍රාවයන්, තරල වර්ග, සෙම් සොටු දියර, කඳුළු හා දහදිය තිබෙන්නෙත් ප්‍රතිශක්තිය සුරක්‍ෂිත කරන බාධකයන් විදියටයි. ඒ වගේම සිරුරේ තිබෙන සමහර ඉන්ද්‍රියන් හා ග්‍රන්ථි මඟින් ප්‍රතිශක්තියට සහය ලබාදෙනවා. මේ ග්‍රන්ථි නිපදවන ශ්‍රාවයන් හා සංයෝගවල ශක්තියෙන් තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමහර අවස්ථාවල ක්‍රියාකාරි වෙන්නේ. විශේෂයෙන් එම ග්‍රන්ථි හා ඉන්ද්‍රිය ආශ්‍රිත ගැටළුවකදී මෙවැනි උදව් ලැබෙනවා. ඇටමිදුළු මගින් සිදුවෙන්නේ එවැනි කාර්යයක්.

සුදු රුධිරාණු කියන්නේ තවත් එවැනිම පද්ධතියක්. මේ සියලු ප්‍රතිශක්තිකරණ සහයකයින් හරියට බල ඇණි වගෙයි. මේ අය ක්‍රියාකරන්නේ පිටතින් එන හානිකර වෛරස් විනාස කිරීම හෝ අඩපන කිරීම.

සමහර වෙලාවට මේ උත්සහය නිසා අපිටම හානියක් වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථා අපි හඳුන්වන්නේ ප්‍රදාහයන් කියලා. ප්‍රතිදේහ නිෂ්පාදනය වැඩි වුණාම විෂබීජය විනාශ වෙනවා විතරක් නෙවෙයි අපිටත් හානියක් වෙනවා. ඒ නිසා මේ පද්ධතිය හැමවිටම සමබරව තියාගන්න ඕන. නැත්නම් අපිට වෛරසයෙන් කරන හානියට වඩා වැඩි හානියකට මුහුණ දෙන්න සිදුවෙනවා. මෙවැනි සමහර ප්‍රතික්‍රියා නිසා වෙනත් රෝග ඇතිවීමේ අවස්ථා ඕනෑ තරම්. පළමු කාණ්ඩයේ දියවැඩියාව හා ආතරයිටිස් කියන්නේ එවැනි බහුල රෝග අවස්ථා දෙකක්. ඒ වගේම ප්‍රතිශක්තිය අඩපන වුණොත් එයින් සිදුවෙන හානියත් ඉතාම ප්‍රබලයි.

ප්‍රතිශක්තිය දුර්වල වීමට බලපාන සාධක

  • වයසත් සමඟ අකර්මණ්‍ය වීම
  • දුම් පානය
  • වායු දූෂණය
  • බර වැඩිවීම ස්ථුලතාවය
  • සමහර රෝග උදාහරණ ්‍යෂඪ
  • මානසික ආතතිය
  • නින්ද අඩු බව
  • විවේකය අඩු වීම
  • හොඳ ආහාර නොගැනීම
  • හොඳ ආහාර රටාවක් නොතිබීම

මෙහිදි ප්‍රතිශක්තිය වැඩි කරන විශේෂ ආහාර තියෙනවා ද කියලා බලන්න වෙනවා. ඒවා අතර විටමින් C, විටමින් D, සින්ක්, සෙලිනියම්, යකඩ හා ප්‍රෝටීන් බහුලව තිබෙන ආහාර ඉතාම වැදගත්.

විටමින් C

ඇඹුල් පළතුරු, ඇඹරැල්ලා, නෙල්ලි, අන්නාසි, දෙළුම්, ගස්ලබු ඇතුළු අනෙක් සියලුම පළතුරුවලත් විටමින් C තිබෙනවා. එළවළුවලත් මේවා බහුලව අඩංගුයි. වැඩිහිටියෙක් තමන්ගේ දෛනික ආහාර වේල් තුනට අඩුම වශයෙන් එළවළු වර්ග 3 ක් වත් එකතු කරගත යුතුයි. ඒ වගේම අතුරුපසට පළතුරු වර්ග තුනක් එකතු කරගැනීම ඉතාම වැදගත්. එළවළු මේස හැදි තුනක්වත් ආහාරයට ගැනීමත් කළ යුතුයි.

විටමින් D

සම අව්වට නිරාවරණය වීමේදී විටමින් D ලැබෙනවා. දවසේ ඕනෑම වෙලාවක විටමින් D ලැබුණත් උදේ වරුවේ අව්ව සනීපදායක නිසා ඒ වෙලාව පහසුයි. උදේ වරුවේ එළියේ පුංචි පුංචි වැඩකරනවා නම් නිකන්ම අව්වට නිරාවරණය වෙන්න පුළුවන්.

සින්ක්

සත්ව ආහාර මඟින් පහසුවෙන් ලබාගන්න පුළුවන්.

සෙලිනියම්

මෙම පෝෂ්‍ය සංඝටකය සත්ව ආහාරවල අඩංගු වෙනවා.

යකඩ

මස්, මාළු, බිත්තර, කරවල වැනි සත්ව ආහාරවල යහමින් අඩංගුයි. ඒ වගේම මස් මාළු අඩුවෙන් කන කෙනෙකුට හෝ නිර්මාංශ ආහාර ගන්න කෙනෙකුට පළා වර්ග සහ ඇට වර්ගවලින් යකඩ යහමින් ලබාගන්න පුළුවන්.

ප්‍රෝටීන්

මාංශ ආහාර හා පරිප්පු ඇතුළු රනිල බෝගවල යහමින් ප්‍රෝටීන් අඩංගු වනවා.

මස්, මාළු, එළවළු, පළතුරු, කිරි හා බිත්තර සියල්ල අඩංගු පෝෂ්‍යදායි ආහාර සෑම දිනකම ලබාගන්නේ නම් ප්‍රතිශක්තිය වර්ධනය වීම නිතැතින්ම සිදුවනවා. කිරි දෙන මවක් වුණත් ගැබිනි මවක් වුණත් සමබල ආහාර වේලක් ලබාගැනීම ඇයට වගේම දරුවාටත් ප්‍රථිපලදායකයි. අම්මා නීරොගිව ශක්තිමත්ව ඉන්නවා නම් දරුවා රැකබලාගැනීමත් පහසුයි.

ඒ වගේම මවගේ මව්කිරිවලින් ප්‍රතිශක්තිය දරුවාට ලැබෙනවා. අම්මා හොඳින් මව්කිරි ලබාදිය යුත්තේ ඒ නිසා. කිරිවල සමහර සංඝටක වැඩිවෙන්න පෝෂ්‍යදායි ආහාර වේලක් ඉතාම වැදගත්.

සකස් කල ආහාර

හාල් කියන්නෙත් සකස් කළ ආහාරයක්. ඒ වුණත් එය සකස් වෙන්නේ අවම පියවර ගණනකින්. නමුත් පියවර ගණනාවක් ගිහින් සකස් කරන ක්‍ෂණික නූඩ්ල්ස්, සොසේජස් වගේ ආහාරවලින් ප්‍රතිශක්තියට හානි ඇතිවෙනවා. ඒ වගේම රතු මස් වර්ග, සීනි අධික ආහාර, ප්‍රතිශක්තියට නරක ආකාරයෙන් බලපාන නිසා අධික ලෙස ආහාරයට ගැනීම සුදුසු නැහැ.

හිතකර බැක්ටීරියා රැකගනිමු

අපේ ආහාර මාර්ගයේ හිතකර බැක්ටීරියා තිබෙනවා. ඒවා අඩුවුණොත් එයින් රෝග ඇතිකරන බැක්ටීරියා වැඩිවෙනවා. ඒ නිසා වැඩි වශයෙන් මී කිරි ආහාරයට ගැනීම සුදුසුයි.

දරුවාගේ ප්‍රතිශක්තිකරණය

උපතේදීම පුංචි පැටවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙලා නැහැ. පද්ධතිය වර්ධනටය වන්නේ උපතින් පසුවයි. දරුවෙකුට ප්‍රතිශක්තිය ලැබෙන ක්‍රම දෙකක් තිබෙනවා. එයින් එක් ක්‍රමයක් ලෙස මව්කිරි හඳුන්වන්න පුළුවන්. මුල් කාලයේ දරුවාට රෝග ඇතිවීම වළක්වන්නේ මව්කිරි මඟින්. එවැනි සංයෝග තිබෙන්නේ මව්කිරිවල පමණයි. මවට යම් රෝග තත්ත්වයක් ඇතිවුණාම ඇගේ සිරුරේ ප්‍රතිදේහ නිෂ්පාදනය වෙනවා. ඒවා දරුවාගේ ප්‍රතිශක්තියට ඉතාම වැදගත්. ඒ නිසා තමයි මව රෝගි වුණත් මව්කිරි නවත්වන්න එපා කියලා වෛද්‍ය උපදෙස් ලැබෙන්නෙ. ඒ වගේම මුල් මාස හය අනිවාර්යයෙන්ම මව්කිරි ලබාදිය යුත්තෙත් ඒ නිසා.

දරුවා ආහාර පටන් ගත්තට පස්සේ අවුරුද්දක් වෙනකල් ආහාර දියයුතු ආකාරය ගැන ඔබ සඟරාව හරහා දැනටමත් දැනුවත් ව සිටිනවා. ඒ අයුරින් ආහාර ලබාදීමේ දී ඉහත සඳහන් කළ පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර වර්ග එක්කර ගැනීම වැදගත් වනවා. වයස අවුරුද්ද පසුවීමෙන් අනතුරුව වැඩිහිටියෙකුට මෙන් ආහාර ලබාදිය හැකි අතර වර්ධනය සිදුවන බැවින් වැඩිපුර ප්‍රෝටීන ලබාදීම සුදුසුයි. විටමින් ෘ ආහාර මඟින් වැඩියෙන් නොලැබෙන නිසා උදෑසන හිරු එළියේ සෙල්ලම් කිරීමට ඉඩ ලබාදීම වඩාත් ප්‍රායෝගිකයි.

ශරීරිකව ක්‍රියාකාරි වීම ඉතාම වැදගත් නිසා දේශීය පාන වර්ග එනම් බෙලි මල්, රණවරා, කොළ කැඳ වර්ග පානය වඩාත් ගුණදායකයි. ඒ වගේම ගැබිනි මව්වරුන්ට කියයුතු ඉතාම සුවිශේෂි කාරණය නම් ආහාර මඟින් නිසි පරිදි පෝෂ්‍ය පදාර්ථ ලබාගත නොහැකි නම් ඒ සඳහා නිෂ්පාදිත පෙති වර්ග තිබෙනවා. නමුත් ඒවා ලබාගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි.

සටහන චාපා හංසිනි ආටිගල

පෝෂණවේදය පිළිබඳ
මහාචාර්ය
රේණුක සිල්වා