දුවන පනින කාලයේ පුංචි දඟයෝ බලා කියා ගන්න එක තරමක් අපහසු කාර්යයක්. ඇස්මානයේ ඉදලා බලාගත්තත් එක මොහොතකින් මොකක් හරි අනතුරක් කරගන්නවා. නමුත් මේ හැම අත්දැකීමක්ම එයාගේ වර්ධනයට වැදගත් වෙනවා. ඒ නිසා ඒ ක්‍රියාකාරකම්වලට ඉඩ දීලා පැටියාව පරිස්සම් කරගැනීම තමයි දෙමව්පියන්ගේ වගකීම.
දරුවාගේ සමේ තැල්මක් ඇතිවිය හැකි අවස්ථා
දඟය නිසාම හිස වැදීම, කොට් එකෙන් පෙරළීම, තොටිල්ලෙන් පෙරළීම වැනි හේතු නිසා තැල්මක් ඇතිවෙන්න පුළුවන්.
අවුරුදු 01 සිට 05 අතර පුංචි පැටවුන්
සාමාන්‍යයෙන් දරුවෙක් ඇවිදීමට පටන්ගන්නේ අවුරුද්දයි මාසයක් අතර කාලෙ දි. නමුත් මේ කාල සීමාව හැමෝටම පොදු නැහැ. හොඳින් සිරුරේ සමබරතාවය සමඟ ඇවිදින්න පටන් ගන්නේ අවුරුදු 03 ත් 04 ත් අතර කාලය තුළයි. දුවලා පැනලා ඇවිිදින්න කාලය තුළ දී තමයි බබාලගේ සමේ නිතර නිතර තැල්ම ඇතිවනවා. මේ කාලයේ සිරුරේ සමබර බව රදවා තබාගැනීම අපහසු නිසා පහසුවෙන් වැටීමක් සිදුවෙන්න පුළුවන්.
දණගාන්න පටන්ගන්න කාලේ දරුවෝ මොකක් හරි අල්ලගෙන නැගිටින්න ආසයි. ඒක එයාලගේ වර්ධනයේ එක් සංධිස්ථානයක්. මේ වගේ අවස්ථාවක දී ඇද වැටීම නිසා තැල්මක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. මෙවැනි තැල්මක් නොපෙනෙන තැනක ඇතිවීම තමයි ගැටළුව වෙන්නේ. හිසේ කෙස් නිසා හිස් මුදුනේ ඇතිවන තැල්මක් පේන්නේ නැහැ. ඒ වගේම පපු ප්‍රදේශය, කළවා, රහස් ප්‍රදේශය මෙවැනි තැලීම් ඇතිවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පහර දීමක් නිසා වුණත් තැල්මක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා.
බබාගේ සිරුරේ තැල්ම බරපතල වන අවස්ථා
තැල්ම සිදුවන අවස්ථාව හා එහි ගැඹුර මෙන්ම ප්‍රමාණයට අනුව තැල්ම බරපතල වෙන්න පුළුවන්. මෙවැනි තැල්මක් ඇතිවුණාම පැය 24 ක කාලයක් ඒ පිළිබඳව සැලකිලිමත්ව සිටිය යුතුයි. එහි අතුරු අබාධ හෝ රෝග ලක්‍ෂණ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.
රෝග ලක්‍ෂණ
- හිස වැදීමෙන් පසු වමනය ඇතිවුණා ද
- නිදිමත ගතියක් තිබේ ද
- වෙනදාට වඩා හැසිරීමේ කුමන හෝ වෙනසක් තිබේ ද
- පපුවේ තැල්මක දී
- හුස්ම ගැනීමට අපහසු වීම
- බඩට තද පහරක් වැදීමෙන් ඇතිවන තැල්මකදී
- බඩ පිපිමක්
- දරුවාගේ කලබලකාරී ගතියක්
- සුදුමැලි වීමක්
- ඇතුළතින් එන වේදනාවක්
මේ අතරතුරදී
දරුවාගේ හැසිරීම් රටාව හා සිරුරේ වෙනස්කම් පැය 24 ක් ඇතුළත හොඳින් නිරීක්‍ෂණය කර පුංචි හෝ වෙනස්කමක් ඇත්නම් ඉක්මනින් රෝහල කරා ගෙන යා යුතුයි.
අනතුරකට ලක්නොවී සිරුරේ සිදුවන තැල්ම
සමහර දරුවන් වැටීමක් සිදු නොවී වුවත් තැල්මක් ඇතිවේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වියයුතුයි. එය රුධිරය ආශ්‍රිත රෝග ලක්‍ෂණයක් හෝ වෙනත් රෝගයක පෙර නිමිත්තක් වීමට ඉඩ තිබෙනවා. සමහර විට සමේ රෝග තත්ත්වයක් වන්නටත් පුළුවන්. එබැවින් හේතුවක් නොදැන තැලීමක් ඇතිවී තිබේ නම් ඒ සඳහා වෙෙද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.
එසේම දෙමව්පියන් නොදැනුවත්ව දරුවා කායික හෝ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වනවා විය හැකියි. බොහෝ විට මෙවැනි අවස්ථාවලට දරුවා ගොඳුරුවන්නේ සිය සමීප ඥාතීන් අතින් හෝ ඉතාම කිට්ටුවෙන් ඇසුරු කරන පුද්ගලයන් අතින් වීම කණගාටුදායක තත්ත්වයක්. එබැවින් වඩාත් සැලකිලිමත් විය යුතු අවස්ථා මඟහැර ගැනීම ඔබේ දරුවාගේ අනාගතය අඳුරු කිරීමට හේතුවක් විය හැකියි.
නිසි ප්‍රතිකාර නොලැබුණහොත් තැලීම් මඟින් අතුරු ආබාධ සිදුවනවා ද?
ඔව් තැල්මක් පිළිබඳව දින 03 ක් හෝ 04 ක් යන තුරු අවධානයෙන් සිටිය යුතුයි. එහි වර්ණයේ අවපැහැයක් සිදුව තිබේ ද, ශ්‍රාවයක් පිටවෙනවා ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනවා. තැල්ම නිසා සිරුරේ ඇතුළත අවයවවලට හානියක් සිදුවී ඇත් ද යන්න පිළිබඳවත් සැලකිලිමත් වියයුතුයි. උදාහරණ ලෙස අස්ථියක් ආසන්නයේ යම් තැල්මක් ඇතිවීමෙන් පසු අස්ථියට යම් හානියක් සිදුවිය හැකියි. එය ගණන් නොගෙන හිදීමෙන් අස්ථියේ ඇදවීමක් හෝ වෙනත් ආබාධයක් වුවත් ඇතිවීමට ඉඩ තිබෙනවා.
බඩ පපුව වැනි ස්ථානයක තැල්මක් ඇතිවීමෙදී එහි අභ්‍යන්තර අවයවවලට හානී වීමට ඉඩක් තිබෙනවා. එනම් අක්මාවට හානී වීමේ වැඩි ඉඩක් පවතිනවා. මෙවැනි අවස්ථාවක පිටතින් තැල්මක් පමණක් පෙනුනත් ඇතුළතින් විශාල හානියක් සිදුව තිබෙන්නට පුළුවන්.
ප්‍රථමාධාර
අයිස් ප්‍රතිකාරය
සාමාන්‍ය තැල්මක් සඳහා අයිස් ප්‍රතිකාරය යෝග්‍ය වනවා. අයිස් කැටය කඩා රෙදි කැබැල්ලක ඔතා පොට්ටනියක් ආකාරයෙන් සකස් කර තැවීම වඩාත් සුදුසුයි. මෙහිදී එක්වරම සම්පූර්ණ අයිස් කැටයම තැබීම නොකළ යුතුයි. එයින් වේදනාව හා ඉදිමුම පහව යයි.
පුංචි දරුවන් සිටින වටපිටාව ආරක්‍ෂිත විය යුතුයි.
කුඩා දරුවන් සිය වර්ධනයේ පියවරයන් පසු කරද්දි වැටීම් ආදිය සිදුවනවා. ඒ නිසා ඔවුන් අවට පරිසරය අනතුරු අවම නිදහස් පරිසරයක් වීම වැදගත්. එසේම කායික වශයෙන් හෝ ලිංගික වශයෙන් දරුවාට සිදුවන අඩන්තේට්ටම්වලට ගොඳුරු වීම හා බිය නිසා දරුවා ඔබ වෙත ඒවා පැවසීමෙන් වැළකී සිටිය හැකියි. එවැනි අවස්ථා පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වීම කළ යුතුයි.
සටහන මහේෂාණී මීගහපල
ජේ්‍යෂ්ඨ ළමා රෝග විශේෂඥ වෙෙද්‍ය
කෝසල කරුණාරත්න මහතා
රිජ්වේ ආර්යා ළමා රෝහල.