free stats

BHT නැත්නම් ඇඳ ඉහපත් සටහන කියන්නේ රජයේ දේපළක් වන නීතිමය ලියවිල්ලක්. එහි ලියවෙන හැම අකුරටම නීතිමය වලංගුතාවයක් තියනවා. ඔබ ගර්භණී අවස්ථාවල දී රෝහලට ඇතුළු වී දරු ප්‍රසුතිය ලබා නිවසට යනතෙක්ම රෝහල් වාට්ටුව තුළ ඔබ වෙනුවෙන් කරන සියලු‍ම වෛද්‍යමය කාරණා මේ තුළ සටහන් වෙනවා. ඒ නිසා මේ පිළිබඳ දැන ගැනීම වටිනවා. මේ සඳහා “ආදරණීය අම්මී“ වෙත සම්බන්ධ කරගත්තේ,

මොකක්ද මේ ඇඳ ඉහපත් සටහන කියලා කියන්නේ,

BHT (Bed Head Ticket) කියලා කියන්නේ ඇඳ ඉහපත් සටහන යන තේරුමයි.

මෙය නීත්‍යානූකූල ලියවිල්ලක්, ඕනෑම රෝහලකට ඇතුළත් වී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනා පළමු දිනේ සිට ඔබ රෝහල තුළින් සුව වී රෝහලෙන් බැහැර යන මොහොත දක්වා ඔබගේ රෝගය කළමණාකරණය පිළිබඳව සියලු‍ තොරතුරු මෙහි සටහන් තබනවා. මෙහිදී ඔබගේ රෝග ලක්ෂණ, රෝග විනිශ්චය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් තොරතුරු,, ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත් ඖෂධ, එන්නත්, වෛද්‍ය පර්යේෂණ වාර්තා වල ප්‍රතිඵල වැනි සියලු‍ වැදගත් දේ මේ තුළ සටහන් කරනවා.

BHT සටහන ගර්භණී මවට ඇති වැදගත්කම හා යොදන සටහන්

ගර්භණී මවක් කියන්නේ, ඇයයි අයගේ කුස තුල වැඩෙන දරුවයි දෙන්නෙක්. ගර්භණී වූ ඔබ රෝහල් වාට්ටුවට ඇතුළත් වූ පළමු දිනේ සිටම දෛනිකව ඔබ ගේ වගේම කුස තුළ ඉන්න දරුවාගේත් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කොට ඒ සම්බන්ධ සටහන් තබනවා. මවගේ සාමාන්‍ය දින චර්යාව තුළ මුත්‍රා සහ මළපහ පිටවීම සම්බන්ධ තොරතුරු දෛනිකව සටහන් කරනවා. උදාහරණ විදිහට මුත්‍රා හොඳින් පිටවෙනවාද? නැත්නම් යම් ගැටලු‍කාරී තත්වයක් තියනවද? මලබද්ධය වැනි තත්වයක් තිබේද? ආදිය සඳහන් කල හැකියි.

මවගේ යම් රෝගී තත්වයක් පිළිබඳව පැමිණිල්ලක් තිබේ නම් ඒ පිලිබඳ සටහන්, උදරය, යෝනි මාර්ගය/ගැබ් ගෙල සම්බන්ධ අවශ්‍ය පරීක්ෂා සිදු කර ඒ පිළිබඳව සටහන් විශේෂයෙන් යොදනවා.

කුස තුළ ඉන්න දරුවාගේ හෘද ස්පන්දනය මනිනවා. ඒ සඳහා පිනාර්ඩ් නලාවක් හෝ CTG (Cardiotocography) යන දරුවාගේ හෘද ස්පන්දනය සහ මවගේ ගර්භාශයේ සංකෝචනය මනින මැෂින් එකෙන් බලලා ඒ ලබා ගන්නා CTG සටහන BHT එකේ අමුණනවා.

ඒ වගේම මව මොනවා හෝ රෝගයකින් පෙළෙනවා නම් ඒ සඳහා ලබාගන්නා විශේෂ ඖෂධ පිළිබඳ සටහන් තබනවා.

රෝග පැමිණිල්ලක් තියනවා ද කියලා දිනපතාම බලලා ඒ පිළිබඳ සටහන් යොදනවා. උදාහරණ විදියට කුස තුළ ඇති වන වේදනාවක් හෝ මවගේ යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් හෝ වතුර යාමක් තියනවා ද වැනි දෑ විශේෂයි. තවද ප්‍රසුතියට ලං වූ ගර්භණී මවකගේ නම් උදරය පරික්ෂා කරලා දරුවා නිසි ලෙස ප්‍රසුතිය සඳහා හැරී සිටිනවාද යන්නත් මවගේ යෝනි මාර්ගය තුලින් පරීක්ෂා කොට (Per-Vaginal Examinationබ) ප්‍රසූතියට අවශ්‍ය ලෙස ගැබ්ගෙළෙහි විවරය විවෘත වී තියනවා ද ආදිය පරීක්ෂා කොට අවශ්‍ය සටහන් තබනවා.

ගර්භණී මවගේ උදරයේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් (Ultra Sound Scanning) පරික්ෂණ කරලා ඒ සටහන් ද මේ BHT එකේ යොදනවා.

තවද යම්කිසි රෝගී තත්වයක් සඳහා මවට ලබාදෙන ඕනෑම ඖෂධයක් මෙහි සටහන් කල යුතුයි. උදාහරණ ලෙස මවට සාමාන්‍ය හිසරදයක් තියනවා නම් ඒ සඳහා දෙන පැරසිටමෝල් ඖෂධය ලබා දුන්නා කියලා ඒ ගැනත් මේ තුළ සටහන් කරනවා.

BHT එකේ මුල් පිටුවේ ගර්භණී මව රෝහලට ඇතුලු‍ වූ පසු ඇයගේ පුද්ගලික තොරතුරු සටහන් කර ගන්නවා. හැම BHT පතකටම විශේෂිත අංකයක් තියනවා. එක් එක් වර්ෂය සඳහා විශේෂිත ලෙස අංකනය කරනවා. උදාහරණයක් විදියට 2021 වර්ෂයේ නම් 10/21, 11/21, 12/21 ආදී වශයෙන්.

ගර්භණී මවක් වූ ඔබ රෝහලකට ඇතුලත් වීමේදී ඔබගේ නිවැරදි තොරතුරු ලබා දීම ඉතාමත් වැදගත් වනවා. මේ BHT සටහනට

■ ඔබේ සම්පුර්ණ නම
■ වයස
■ විවාහක / අවිවාහකභාවය
■ ස්ථිර ලිපිනය / ස්ථිර දුරකතන අංකය
■ ආගම
■ භාරකරු පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීම ඔබගේ වගකීමයි.

ගර්භණී මව දරු ප්‍රසුතියෙන් පසු රෝහලෙන් බැහැර යද්දී මේ BHT සටහන් පතට මොකද වෙන්නේ ?

ඔබ රෝහලින් ටිකට් කපලා ගෙදර යනවා නම් රෝග තත්වය හෝ දරු ප්‍රසුතිය සම්බන්ධ අවසාන විනිශ්චය කුමක්ද යන්න ඉංග්‍රීසි කැපිටල් අක්ෂරයෙන් BHT පතේ නිශ්චිත ස්ථානයේ සඳහන් කල යුතුයි. උදාහරණයක් විදියට ගර්භණී කාලයේ දී මව රෝහලට ඇතුළු වුයේ අධී රුධිර පීඩනය තත්වයක් නිසානම් ඒ නිශ්චිත රෝග විනිශ්චය ඊ්‍යඔ එකේ සටහන් කල යුතුයි.

මව රෝහලෙන් බැහැර යාමෙන් අනතුරුව සියලු‍ තොරතුරු සම්පුර්ණ කරන ලද BHT පත පසු දින උදැසන වන විට රෝහලේ වෛද්‍ය ලේඛනාගාරයට යවනවා. මේ විදියට ඕනැම BHT පතක් අවුරුදු 05ක කාලයක් සුරක්ෂිතව වෛද්‍ය ලේඛනාගාරය තුල නිසි පිළිවෙලකට ගබඩා කර තියාගන්නවා. විශේෂ අවස්ථාවක් වුණොත් ඒ කිව්වේ අධිකරණමය කටයුත්තක් සම්බන්ධ ඊ්‍යඔ පතක්නම්, අවුරුදු 05ක කාලය ඉක්මවා හෝ එම කටයුතු අවසන් වන තෙක් සුරක්ෂිතව තබා ගත යුතුයි.

BHT පතේ සඳහන් රෝග විනිශ්චය, ජාත්‍යන්තර රෝග වර්ගිකරණයකට අනුව වර්ග කර ලේඛණගත කරනවා. එක් එක් රෝග තත්වයන් සඳහා වෙන වෙනම අංකන ක්‍රමයක් මෙහිදී භාවිතා කරනවා. ඒ අංක අනුව අදාළ දත්ත සියල්ල පරිගණකගත කරනවා.

BHT එකෙහි ගර්භණී මව සම්බන්ධ සටහන් තබන්නේ කවුද?

BHT පතෙහි සාමාන්‍යයෙන් සටහන් තබනුයේ වෛද්‍යවරුන් විසිනි. අවශ්‍යතාවය පරිදි හෙද නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින්ද ගර්භනී මව පිළිබඳව සටහන් දමනවා. රෝහල් වාට්ටුව භාරව කටයුතු කරන ප්‍රසව හා නාරිවේදය පිලිබඳ විශේෂඥ වෛද්‍යවරු සහ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, ලේඛකාධිකාරී, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් සහ සීමාවාසික වෛද්‍ය නිලධාරීන් ඒ ඒ රෝහල් වලට අනුව දිනපතාම ගර්භණී මව පරික්ෂා කරලා මේ තුළ සටහන් යොදනවා. එසේ සටහන් තැබීමේදී කළු හෝ නිල් වර්ණය පමණක් භාවිතා කල යුතු අතර සෑම සටහනකම දිනය, සටහන තබන වෙලාව සහ සටහන තබන්නගේ කෙටි අත්සන යෙදීම කල යුතුය.

සාමාන්‍යයෙන් රෝගියාට/ ගර්භණී මවට BHT පතේ සටහන් තැබීමට නොහැක. නමුත් සුවිශේෂී අවස්ථා වලදී වෛද්‍යකර්මයකට (උදා. ශල්‍යකර්මයක් වැනි) අවසරය ලබාදීමේදී ඒ සඳහා ස්ව කැමැත්ත ප්‍රකාශ කර අත්සන් තැබිය හැකිය.

BHT එක සම්බන්ධව ගර්භණී මවට රෝහල් කාර්ය මණ්ඩලයෙන් විමසිය හැකිද?

අනිවාර්යයෙන් විමසීමට පුළුවන්. BHT එක ගැන කරුණු දැන කියා ගන්න අයිතිය තියනවා. හැබැයි මෙහි සටහන්/ දත්ත ඔබට අනවශ්‍ය විදිහට ලබාගන්න අවසරයක් නැහැ. මොකද BHT පත නීතිමය ලියවිල්ලක් වන නිසා. අනිසි ලෙස මෙහි ජායාරූප ගැනීම හෝ ජායා පිටපත් ගැනීම නොකළ යුතුයි. එහෙම අවශ්‍ය නම් එය නීතිමය ලෙස ඉල්ලීමක් කළ යුතුයි.

සටහන මහේෂාණී මීගහපොළ

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ
නියෝජ්‍ය අධ්‍යක්ෂ

වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා