ගැබිනි මව්වරුන් අතර දියවැඩියා රෝගය අද වන විට බහුලව දැකගත හැකි තත්ත්වයකි. ගැබිනි සමයේ දියවැඩියාව පැවතීම දෙයාකාරයකින් දැක්විය හැකිය. එනම් යම් කාන්තාවක් ගැබ් ගැනීමට පෙර සිටම දියවැඩියා තත්ත්වයෙන් පෙළීමයි. අනෙක ගැබ් ගැනීමෙන් පසුව ඇති වන දියවැඩියා තත්ත්වයයි. දියවැඩියාව නොමැති කාන්තාවකට මෙන්ම දියවැඩියාව වැළදී ඇති කාන්තාවකටද ඇති ගැබ් ගැනීමේ වෙනසක් නැතත් යම් යම් සංකූලතා ඇති විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. ගැබිනි සමයේ දියවැඩියා තත්ත්වය නිසා මවට මෙන්ම කුස තුළ වැඩෙන දරුවාටද නොයෙක් ආකාරයේ සංකූලතා ඇති විය හැකිය.
ගැබිනි මවට ඇති විය හැකි සංකූලතා ලෙස ගබ්සා වීම්, මලදරු උපත් මෙන්ම අධි රුධිර පීඩනයට මුහුණ දීමට සිදුවිය හැකිය. කලලයේ වර්ධනය අධික වීම හේතුවෙන් ප්‍රසූතියේදී ද යම් යම් සංකූලතාවයන්ට ගොදුරු වීමට ඇති ඉඩ කඩ වැඩිය. උදාහරණයක් ලෙස සාමාන්‍ය ප්‍රසූතිය වෙනුවට සිසේරියන් සැත්කමට යොමු වීමට මෙවැනි මව්වරුන්ට සිදුවිය හැකිය.
එසේම ඔබ සිහින මැවූ ඔබේ දරු පැටියාටද බොහොමයක් සංකූලතාවයන්ට මුහුණ දීමට සිදු විය හැකිය.
- උල්බ කෝෂය නිසි කාලයට පෙර බිඳී යාම
- නොමේරූ ළදරුවන් හෝ මල දරැ උපත් ඇති වීම
- ප්‍රසූතියේදී ඇති වන අනතුරු මත ෂෝල්ඩරී ඩිෂ්ටෝෂියා වැනි තත්ත්ව
ඇති වනවා. - දරුවාගේ වර්ධනය අධික වීම
- ස්නායු ආබාධ ඇති දරැවන් බිහිවීම
ළදරුවාගේ හදවත / මොළය / අස්ථි පද්ධතිය / කශේරැකාව වැනි ස්ථාන වල අසාමාන්‍ය තත්ත්ව ඇති වීම
දියවැඩියාව තත්ත්වය හේතුවෙන් ඔබටත් දරුවාටත් ඇති විය හැකි මෙවැනි සංකූලතාවයන් වළක්වාගැනීමට නම් රෝග තත්ත්වය හොඳින් පාලනය කිරීමට ඔබ උනන්දු විය යුතුමය.
ගැබ් ගැනීමට පෙර සිටම පවතින දියවැඩියාව
ඔබ දියවැඩියා තත්ත්වයෙන් පෙලෙන දරුවෙකු පිළිසිඳ ගැනීමට සිතන කාන්තාවක් නම් ඔබ මූලිකව කළ යුත්තේ ඔබේ තත්ත්වය පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීමයි. ගැබ් ගැනීමට සුදුසු අවස්ථාව වෛද්‍යවරයා පවසන තුරු, ගැබ් ගැනීම ප්‍රමාද කරන්න. ඒ සඳහා අවශ්‍ය උපත් පාලන ක්‍රම අනුගමනය කළ යුතුය, එසේම මෙවැනි තත්ත්වයේ සිටින කාන්තාවක් වෛද්‍ය උපදෙස් අනුව නිර්දේශිත ඖෂධ වර්ග හා ෆෝලික් අම්ල විටමින් වර්ග ලබාගත යුතු අතරම සැමවිටම රුධිරයේ සීනි පාලනය ඉතා හොඳින් පවත්වා ගන්නට උනන්දු විය යුතුය. ගැබ් ගැනීමට පෙර දියවැඩියාව පිළිබඳ පූර්ණ පරීක්ෂාවක් කරගන්න.
ගැබිනි සමයේ ඇතිවන දියවැඩියාව
මෙම තත්ත්වය ගැබිනි මව්වරුන්ට ඇති වනුයේ ගැබ්ගෙන සති 24-28 පමණ කාලයේදීය. එම නිසාම ගැබිනි කාලය තුළ රුධිරයේ ග්ලුකෝස් සාන්ද්‍රණය පරික්ෂා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා.
ගැබිනි සමයේ දියවැඩියාව ඇති වීමට වැඩි අවදානමක් ඇත්තේ
දෙමාපියන්ට ඇතැම් පවුලේ ඥාතීන්ට දියවැඩියාව ඇති මව්වරුන්ට වයස අවුරැදු 35 හෝ ඊට වැඩි මව්වරුන්ට අජීවි දරු උපතක් සිදුවීම හෝ ගර්භණී සමයේ ගබ්සාවීම් ඇති වූ මව්වරුන්ට
- ස්ථූලභාවයෙන් පෙලෙන මව්වරුන්ට
- කලින් ගැබිනි දියවැඩියාව තිබී සුව වූ මව්වරුන්ට
- මුල සිටම මුත්‍රාවල සිනී පැවති මව්වරුන්ට
- පෙර මළ දරු උපත් හෝ කිලෝ ග්‍රෑම් 46 වැඩි දරුවන් බිහිකළ මව්වරුන්ට
ගැබිනි සමයේ දියවැඩියාව පාලනය
- රුධිරයේ ග්ලුකෝස් මැනීම හා වාර්තා තබාගැනීම
- රුධිරයේ ග්ලුකෝස් පාලනය සතුටුදායක නොවන අවස්ථාවල නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම
- ශාරීරිකව වඩා වෙහෙස ගෙන නොදෙන ව්‍යායමවල නිරතවීම
- රුධිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය අඩු නොවීමට වගබලා ගැනීම
නිරෝගී දරු උපතක් සදහා සැමවිටම ඔබ මේ කරුණු පිළිබඳ අවධානය යොමුකරන්න
දියවැඩියාව හොඳින් පාලනය කරගැනීම හා පෝෂ්‍යදායී ආහාර ගැනීම
- ෆෝලික් අම්ල විටමිනය මිලිග්‍රෑම් 5ක් ලබාගන්න
වෛද්‍ය නිර්දේශයට අනුව සති 16ට පෙර ඇස්ප්‍රින් ඖෂධය ලබාගන්න.
නිරාහාර රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය 80mg/dl, හෝ 90mg/dl වලට අඩුවෙන් පවත්වා ගැනීමත් කෑමෙන් පසුව ග්ලුකෝස් ප්‍රමාණය 120mg/dl, කට වඩා අඩුවෙන් පවත්වා ගැනීමත් අවශ්‍ය අතර නිරන්තරයෙන් රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමත්, නිතර වෛද්‍ය උපදෙස් ලබාගැනීමත් අවශ්‍ය වේ.
මුත්‍රා මාර්ගයේ සහ වෙනත් ස්ථානවල ආසාදන ඇති වීමේ ප්‍රවණතාවය සාමාන්‍ය අයෙකුට වඩා මදක් වැඩි වන අතර ඒ පිළිබඳ සැලකිලිමත් වීමත් එසේ යම් තත්ත්වයක් පෙන්නුම් කළහොත් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමත් කළ යුතුය.
කුස තුළ වැඩෙන දරුවාගේ චලනයන් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු අතර එහි අඩුවීමක් හෝ නතර වීමක් සිදුවුවහොත් වහාම චෛද්‍යවරයා වෙත යොමු විය යුතුය.
මෙවැනි මවකට සාමාන්‍ය ලෙස මව්කිරී දීම සිදු කළ හැකි අතර ඒ කාලය තුළදී ද ඉන්සියුලින් භාවිත කළ යුතු අතර රුධිරයේ ග්ලුකෝස් සාන්ද්‍රණය අඩුවීම වළක්වා ගැනීමට නිතර කිරි සහ පෝෂ්‍යදායී ආහාර ගැනීම වැදගත් වේ.
ගැබිනි දියවැඩියාව ඇති වූ මව්වරුන්ගෙන් බහුතරයකගේම එම තත්ත්වය දරු ප්‍රසූතියත් සමගම පහව යයි. කලින් දියවැඩියාව පැවති මව්වරුන්ගේ දියවැඩියාව ගැබ් ගැනීමට පෙර තිබු තත්ත්වයට පත් වේ. මෙම සියලුම මව්වරුන්ට තම දරුවාට මව්කිරී ලබාදීමට මෙය බාධාවක් නොවන අතර ඒ කාලය තුළදී ද අවශ්‍යතාවය අනුව ඉන්සියුලින් ලබාගැනීමත් ආහාර පාලනයත් අවශ්‍ය වේ. දිගටම දියවැඩියාව පවතින මව්වරුන් නිසි වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම දිගටම කළ යුතු වේ.
වෛද්‍ය ටිරාන් ඩයස් මහතා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය
ප්‍රසව හා නාරිවේද විශේෂඥ
උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
සටහන චමිලා සෙනෙවිරත්න