free stats
  1. බබාට වයස සති හතරයි. පෙකනියේ තෙත ගතියක් තියෙනවා. හම් කෑල්ලක් වගේ පේනවා. ඒ ඇයි?

ඒක සාමාන්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් සායනයට යන වෙලාවට පරීක්‍ෂා කරවාගන්න එක හොඳයි. නිවසේදි ප්‍රතිකාර කරන්න යන්න එපා. ඒක අනතුරුදායකයි. බබාගේ පෙකණිය වටේටත් රතුවෙලා නම් ඒ තත්ත්වය විෂබීජ ආසාදනයක්. එහෙම තත්ත්වයක් නැත්නම් අනවශ්‍ය බියක් ඇතිකරගන්න අවශ්‍ය නැහැ.

  1. චූටි බබාගේ උණ බලන්න උණ කටුව හරියට පාවිච්චි කරන්නේ කොහොමද?

චූටි බබාලගේ දිව යට තියන්න පුළුවන්. කිහිල්ලෙනුත් තියනවා. පිටුපස පැත්තෙනුත් බලන උපකරණ තිබෙනවා. ඒ ඕනම උපකරණයක් සාර්ථක ප්‍රථිපල ලබාදෙනවා. නමුත් බබාට උපකරණය තිබ්බට පස්සේ එයා දඟලන නිසා තදින් අල්ලගන්න ඕන. නමුත් දැන් ඩිජිටල් ටර්මෝමිටර්ත් තිබෙනවා. ඒවායින් උණ බලාගැනීම වඩාත් පහසුයි.

  1. මාස දෙකක බබෙක් මුනින් අතට නිදිකෙරෙව්වට කමක් නැද්ද?

එහෙම නිදි කරවන එක සාමාන්‍යයි. නමුත් මෑතකදී කිව්වා හෘදයට බලපාන්න පුළුවන් කියලා. ඒක අලුත් පර්යේෂණයක් මගින් තහවුරු වුණා. ඒ නිසා පැත්ත හරවලා නිදි කරවනවා නම් වඩාත් හොඳයි.

  1. බබාට අවුරුද්දයි. තාම කටේ එක දතක්වත් ආවේ නැහැ. ඒ ඇයි?

ඒක දන්ත වෙෙද්‍යවරයෙක්ට අනිවාර්යයෙන්ම පෙන්විය යුතු කාරණාවක්. ඕනම බබෙක්ට මාස හය පිරුණාම පළවෙනි දත එනවා. සමහර විට මාස හතේ දී විතර එන්නත් පුළුවන්. ඒත් අවුරුද්දක් වෙලා නම් හොඳටම පරක්කුයි.

  1. බබාට මාස එකයි දවස් පහයි. කක්කා යනකොට කෙඳිරි ගානවා.

තද ගතිය නිසා වෙන්න පුළුවන්. හොඳින් මව්කිරි දීම ඉතාම වැදගත්. වෙෙද්‍ය උපදෙස් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

  1. දිවේ කිරි මැලියම් තියෙනකොට බබාට කිරි බොන්න අමාරුයි ද?

නැහැ. ඒ දෙක අතර සම්බන්ධයක් නැහැ. ඉස්සර නම් අම්මලා උණු වතුර ටිකකින් බබාගේ දිව පිහදැම්මා. නමුත් දැන්නම් එහෙම අයින් කරන්න අවශ්‍ය නැහැ කියලා වෙෙද්‍යවරු කියනවා. ඒ නිසා කිරි මැලියම් තිබුණට ප්‍රශ්නයක් නැහැ.

  1. මාසයක බබෙකුට පණු අමාරුව හැදෙන්න පුළුවන් ද?

නැහැ. ඒ වයසේ බබෙක් බොන්නේ කිරි විතරයි නේ. ඒ වගේම එයා බාහිර පරිසරයත් එක්ක ගැටෙන්නේ නැති නිසා අපිරිසිදු වීමත් අඩුයි. නමුත් මල හොඳින් පිරිසිදු කිරිම, මුත්‍රා කළ පසු හොඳින් පිරිසිදු කිරීම අම්මා අතින් සිදුවිය යුතුයි. ඒ වගේම අම්මා පිරිසිදුව හිදීමත් නිවසේ අනිත් දරුවන් පිරිසිදුව තබාගැනීමත් වැදගත්.

  1. බබාට අවුරුද්දයි මාස දෙකයි. මාස පහක් තිස්සේ බර එකම ගාන. මොකද කරන්නේ?

බබාට දෙන අමතර ආහාර වැඩි කිරීම හොඳම ප්‍රතිකාරයක්. ඒ වගේම පිෂ්ඨය සහිත පෝෂ්‍යදායි ආහාර එක්කිරීමත් වැදගත්. නමුත් මේ විදියට බර වැඩි නොවෙන්න බලපාන වෙනත් විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් අරන් අවශ්‍ය පරීක්‍ෂාවන් කරගත හැකියි.

  1. බබාට මාසයයි. නිතර කටෙන් කෙළ පුම්බනවා. ඒ ඇයි?

ඒක සාමාන්‍ය දෙයක්. බයවෙන්න අවශ්‍ය නැහැ.

  1. බබාට මාස හයයි. රෑට විතරක් පපුවෙන් සද්දයක් එනවා. ඒ ඇයි?

මේ පිළිබඳව අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගතයුතුයි. සමහර විට දවල්ටත් ඇහෙනවා වෙන්න පුළුවන්. නමුත් රාත්‍රියේ දී විතරක් ඇහෙන්නේ අවට පරිසරය නිෂ්ශබ්ධ නිසාත්, අම්මා කාර්යබහුල නැති නිසාත් වෙන්න පුළුවන්. ඒ නිසා වෙෙද්‍ය උපදෙස් සඳහා යොමුවීම වඩාත් සුදුසුයි. හෘදයේ යම් රෝගී තත්ත්වයක් තියෙනවා නම් දවල්ටත් පපුවෙන් ශබ්ධයක් ඇහෙනවා. නමුත් රාත්‍රියට විතරක් ඇහෙනවා නම් සෙම් තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්යයි.

A.M.N බස්නායක හෙද සොයුරිය
කාසල් කාන්තා රෝහල

සටහන චාපා හංසිනි ආටිගල