free stats

කුඩා කාලයේදීම තම දරු පැටියාගේ හැකියාවන් හඳුනාගෙන එම හැකියාවට අනුව දරුවා දක්‍ෂයකු බවට පත් කිරීමට වර්තමාන සමාජයේ ජීවත් වන මව්පියන් දක්වන්නේ විශාල කැමැත්තකි. එහෙත් දරුවන් තුළ තිබෙන මෙවැනි හැකියාවන් කුඩා කාලයේදීම හඳුනා ගන්නේ කෙසේද ? යන්න දෙමාපියන්ට ඇතිවන ගැටලුවකි. එම ගැටලුකාරී තත්වයනට පිළිතුරු සොයා ගැනීම සඳහා ආදරණීය අම්මි අපි ළමා හා යොවුන්විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය උදේන ආටිගල මහතාගෙන් මේ පිළිබඳ විමසුවෙමු.

දරුවකුගේ හැකියාවන් වර්ධනය වීම සිදුවන්නේ එක් එක් වයස් කාණ්ඩයන් තුළදීය. ඒ අනුව කුඩා කාලයේදී වර්ධනය වන්නේ දරුවාගේ සංවේදී ඉන්ද්‍රියන්ය. මෙම හැකියාව වර්ධනය කර ගැනීම සඳහා දරුවා විසින් ඇසීමට ලැබෙන, දකින දැනෙන දෑ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා. ඊට අමතරව යම් දෙයක් (ක්‍රීඩා භාණ්ඩයක් වැනි) අතට ගත් විට කඩා හෝ ගලවා බැලීම, බිම ගසා හෝ විසිකර බැලීම ආදී සංවේදනය හා සම්බන්ධ ක්‍රියාකාරකම්හි නියැලීම සිදු වෙනවා. ඒ අනුව අවුරුදු එකහමාරට පෙර වයසේ පසුවන දරුවන්ගේ මොළයෙහි වර්ධනය වන්නේ සංවේදනය සම්බන්ධව නිසා සංවේදනය සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා වැඩිපුර අවස්ථාව ලබා දිය යුතුය.

වයස අවුරුදු එකහමාරෙන් පසුව දරුවා තමාගේ භාෂාමය හැකියාව වර්ධනය කර ගැනීමට උනන්දුවක් දක්වනවා. එම කාලයේදී ඇසෙන සෑම වචනයක්ම ග්‍රහණය කර ගැනීමට දරුවා පුරුදු වෙනවා. මෙම වයසේදී දරුවාගේ මුවින් වචන පිටවන්නේ තේරුම් ගැනීමෙන් තොරවයි. එහෙත් වයස අවුරුදු තුනක් පමණ වන විට මතකයෙන් මෙන්ම සිතා බලා වචන කතා කිරීමේ හැකියාව පවතිනවා. දරුවා යම් යම් දෑ ඉගෙන ගැනීම සඳහා බුද්ධිය භාවිතා කරනු ලබන්නේ මෙසේ කතා කිරීමට පටන් ගෙන ටික කාලයකට පසුවයි. එහිදී දරු පැටියා භාෂාව හසුරුවා ලීමට පටන් ගෙන ඇති නිසා සංගීතය, චලනය, නැටුම්, චිත්‍ර, තර්කාණු කූලව අදහස් පුද්ගල සම්බන්ධතා ගොඩ නඟා ගැනීම භාෂාමය වශයෙන් වටා පිටාව හඳුනා ගැනීම ආදී විවිධ කුසලතා වර්ධනය වීම ආරම්භ වෙනවා.

එම අවස්ථාවේදී දරුවන් වෙතින් දක්නට ලැබෙන මෙම හැකියාවත් හඳුනා ගැනීම සඳහා මව්පියන් අවබොධයෙන් හා අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. මෙම වයසේදී දරුවා තුළ හැකියාවන් වර්ධනය වීම දක්‍ෂතාවයක් මෙන්ම ගැටලු කාරී තත්ත්වයක් නිර්මාණය වීමටද හේතු විය හැකි නිසා මෙම වයසේදී දක්වන විශේෂ හැකියාවන් පිළිබඳව අවබෝධයෙන් සිටීම වඩාත් වැදගත් වෙනවා. මේ සඳහා උදා:- ලෙස වයස අවුරුදු 2 ක දරුවෙකු ඉතාමත් දක්‍ෂ ලෙස මතකයෙන් 1 සිට 100 දක්වා ගණන් කළ හැකිය මෙසේ කිරීම එම දරුවාගේ දක්‍ෂතාවය විය හැකි වුවත් එම හැකියාව මඟින් නරක ප්‍රථිඵල ද අත්විය හැකිය. මන්ද ඔටිසම් රෝගී තත්ත්වයේදී දරුවන් වෙතින් මෙැවනි විශේෂ හැකියාවන් පිහිටා ඇති අයුරු දැක ගත හැකිය. එම නිසා දරුවන් තුළ තිබෙන දක්‍ෂතා හඳුනා ගන්නවාසේම එම දක්‍ෂතා පිළිබඳව සැළකිලිමත් වීමත් වැදගත් වෙනව මන්ද, දරුවෙකුට එක් හැකියාවක් පිහිටා තිබෙන්නේ තවත් හැකියාවන් ගණනාවන් නැති විමෙන් විය හැකිය. එම නිසා දරුවා තුළ තිබෙන විශේෂ හැකියාවන් හඳුනාගෙන ඒවා දියුණු කිරීමට උනන්දු වීම මෙන්ම දරුවා තුළ තිබෙන සාමාන්‍ය හැකියාවන්ද දියුණු කිරීම ඔබ සතු වගකීමකි.

ඔබ එසේ කළ යුත්තේ ඉහත සඳහන් කළ උදා:- අනුව ගණන් සෑදීමට දරුවා දක්‍ෂයකු වීම කතා කිරීමට නොහැකි වුවහොත් දරුවාගේ ගනිතමය හැකියාව දියුණූ වීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන නිසාය එම නිසා වයසට ගැලපෙන අයුරින් හැකියාවන් දියුණු කිරීමට මවිපියන් විමසිලිමත් වෙන්න ඕන. දරුවා තුළ තිබෙන විශේෂ හැකියාවන් පිළිබඳව මව්පියන් වඩාත් හිතට ගෙන ක්‍රියා කළහොත් දරුවි විසින් එම හැකියාව අතහැර දැමීමට ඇති ඉඩකඩ වැඩි බවද මතක තබා ගත යුතුයි. එය එසේ සිදුවන්නේ නැති ලෙසින් නැති හැකියාවන් දියුණු කර ගැනීමටයි. එම නිසා ලේසිත් නැති අමාරුත් නැති හැකියාවන් අතර දරුවා රදවා තබා ගැනීම මව්පියන් සතු වගකීමක් වෙනවා. මෙවැනි අවස්ථාවලදී දරුවා තුළ තිබෙන විශේෂ හැකියාව දියුණු කරනවා මෙන්ම සාමාන්‍ය හැකියාවන්ද දියුණු කිරීමට දෙමාපියන් කාලය යෙදවිය යුතුයි. එසේ නොකළ හොත් විශේෂ හැකියාවන්ගෙන්ද ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි විය හැකිය.

ළමා හා යොවුන් පිළිබඳ විශේෂඥ
මනෝ වෛද්‍ය උදේන ආටිගල මහතා
ශික්‍ෂණ රෝහල කළුබෝවිල

සටහන – අරුණි ජයසේකර