free stats

දරුවෙකුට උපරිම ආරක්ෂාවක් ලබා දීම හැම අම්මාකෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම වගකීම් යුතුකමක්. ඊටත් වඩා දරුවාට තිබෙන ආදරය නිසාම දෙමාපියන් දරුවන්ව ආරක්ෂා කරනවා. ඒත් ඒ වගකීම යුතුකම හා අසීමිත ආදාරය දරුවාගේ ජීවිතයට හානියක් වන බව කවුරුන් හෝ කීවොත් ඔබ එයට පුදුම වෙනවා නොවනුමානයි.

වර්තමාන සමාජයේ බොහෝ විට නාගරික ප්‍රදේශවල දරුවන්ගේ ආරක්ෂාව සඳහා දෙමාපියන් තම නිවස අධිආරක්ෂිත කලාපයක් බවට පත්කරනවා. ඒ කියන්නේ නිවස නොපෙනෙන්න තාප්පයකින් වටකරලා දරුවාට අහළ පහළ කාත් එක්කවත් කථා කරන්නවත් දකින්නවත් ඉඩ ලබා නොදී සිටීම. ඒ වගේමයි දරුවාට සෙල්ලම් කිරිමට කා එක්කවත් එකතු විමට ඉඩ ලබා
නොදීම දරුවන්ව කොහේවත් එක්කගෙන නොයෑම ආදී දැඩි රැකවල් දනවා ඔබ අප කොතෙකුත් දැක තිබෙනවා. දෙමාපියන්ගේ මේ ආදරය ආරක්ෂාව හා රැකවරණය දරුවන්ට මානසික පීඩාවක් කියලා ඔවුන්ට කිසිවිටෙකත් හිතෙන්නේ නැතිව ඇති. සමහර දෙමාපියන් කියනවා අපි දරුවාව කැළේට කොළේට හැදුවේ නැහැ. මලක් වගේ හැදුවේ එහෙම හදලත් මේ දරුවා අකීකරු
වුණානේ. ඒ වගේම දෙමාපියන් තව මෙහෙමත් කියනවා කැළේට කොළේට හදපු දරුවන් අගේට අද ඉන්නවා. දෙමාපියන්ගේ අධිආරක්ෂාව තමයි දරුවන්ගේ මේ වෙනසට හේතු වන්නේ.

දෙමාපියන්ගේ මේ රැකවල්වලට දරුවා විවිධ අන්දමින් ප්‍රතිචාර දැක්වීම ආරම්භ කරනවා. ඇතැම් විට දරුවන් දෙමාපියන් සමග කථා නොකර සිටිනවා වෙන්න පුළුවන්. තවත් විටෙක ආහාර ගැනීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. තවත් විටෙක දෙමාපියන් එපා කියන දේවල් වැඩි වැඩියෙන් කරනවා වෙන්න පුලුවන්. තමන්ට හිතන දේ හා දෙමාපියන් අකමැති දේ වැඩිවැඩියෙන් කිරිමට දරුවන් පෙළඹෙනවා වෙන්න පුළුවන්.

දෙමාපියන් දරුවන්ට වැඩි ආරක්ෂාවක් හා රැකවරණයක් දීමට යැයි සිතා දරුවන්ට දැඩි රැකවල් දැමිම තුලින් අවසානයේ සිදුවන්නේ දරුවන්ගේ පෞරුෂය මුළුමනින්ම බිඳවැටීමක්. ඔවුන්ට කුඩා කාලයේ සිටම තමන්ගේ පෞරුෂය තමා විසින්ම ගොඩනගා ගැනීමට දෙමාපියන් අවස්ථාවක් ලබා දිය යුතුයි. මේ වගේ අධිආරක්ෂිත කලාපයන් තුල හදාවඩා ගන්නා දරුවන් කොටස් දෙකක් යටතේ හඳුන්වන්න පුළුවන්.

එක කොටසක් තමයි තමන්ගේ පෞරුෂය දැඩි කරගෙන හිතුවක්කාරී මුරණ්ඩු ලෙස හැදෙන දරුවන්. අනෙක් කොටස තමයි දෙමාපියන්ට දැඩි ලෙස ළංවෙන පිරිස. ඔවුන් අම්මාගේ ඇගේ දැවටෙමින් අම්මාට ඇලිලා තමයි ජීවත් වන්නේ. දැඩිලෙස දරුවන්ව ආරක්ෂා කිරීම හෝ අධිආරක්ෂිත පරිසරයන් තුළ දරුවන් හදා වඩා ගැනීම මගින් ඔවුන්ගේ පෞරුෂයේ සියලුම අංග විනාශ වෙනවා. ඒකේ ප්‍රතිපල දරුවාට විදීමට සිදුවෙන්නේ දෙමාපියන් ජීවතුන් අතර නොමැති කාලයකදී ඒ වගේම තමයි දරුවන්ගේ පෞරුෂයට දැඩි ලෙස හානිය පමුණුවන තවත් දෙයක් තමයි දරුවාගේ වයසට සමාන වයසේ පසුවන වෙනක් දරුවෙකුගේ දක්ෂතාවන් අගයමින්” ඔයාට බැරි වුණාට අර දරුවාට පුළුවන්. එයා දක්ෂයි ඔයාවගේ නොවෙයි” කියමින් තමන්ගේ දරුවාව හෑල්ලුවට ලක්කරන විට දරුවාගේ සිතේ ඇගයීමට ලක්කරන දරුවා කෙරෙහි ඇති වන්නේ තරහක් ඊර්ෂ්‍යාවක්. මෙයත් දරුවාගේ පෞරුෂ්‍ය බිදහෙලීමට හේතුවක් වෙනවා. සමහර විට එය තමාගේම සහෝදරයා හෝ සහෝදරිය වෙන්නත් පුළුවන්. නමුත් දෙමාපියන් අන් දරුවන් ඇගයීමට ලක්කිරීමෙන් අදහස් කරන්නේ තමන්ගේ දරුවාගේ යම් දක්ෂතාවක් ඉස්මතු කර ගන්නවා වෙන්න පුළුවන්. නමුත් සිදුවන්නේ දරුවාගේ පෞරුෂය බිදවැටීමක්.

යම් දෙයක් සම්බන්ධයෙන් දරුවට නිතර නිතර කියනවානම් දවසේ වැඩි කාලයක් දරුවන්ට කෑ ගහනවා නම් එයත් දරුවාට මානසික වදයක් බවට පත්වෙනවා. දරුවා කැමති දේවල් සීමා කිරීම හේතුවෙන්ද ඔවුන්ගේ පෞරුෂය බිදවැටීමට ලක්වෙනවා. විශේෂයෙන්ම දරුවා රූපවාහිනිය නරඹනවා වැඩිනම් දෙමාපියන් කරන්නේ රූපවාහිනියේ වයර් ගලවා දැමීම හෝ ස්විචයෙන් ඕෆ් කිරීම නම් එවැනි ක්‍රියාවන් මගින්ද දරුවාගේ පෞරුෂය බිදවැටීමට ලක්වෙනවා. දෙමාපියන් මේ සියලුම දේවල් කරන්නේ දරුවන්ගේ ආරක්ෂාවට හා ආදරයටයි. නමුත් දෙමාපියන්ගේ අධි ආරක්ෂාව හා ආදරය දරුවන්ගේ පෞරුෂය බිදවැටීමට හේතුවක් වන්නේ නම් එය බරපතල තත්ත්වයක්.

දෙමාපියන් හැම විටම උත්සහ කරන්නේ දරුවන්ගේ චර්යාවන් වෙනස් කරන්නයි. නමුත් වෙනස් කල යුත්තේ දරුවන්ගේ සිතුවිලියි. සිතුවිලි වෙනස් වුණාම තමයි හැඟීම වෙනස් වෙන්නේ හැඟීම් වෙනස් වුණාම තමයි චර්යාවන් වෙනස් වෙන්නේ.

 මනෝ උපදේශක
            මනෝ චිකිත්සක
           වෛද්‍ය  චමින්ද විරසිරිවර්ධන

           සටහන  ශ්‍රියානි විජේසිංහ