free stats

ඔබ ගර්භණී මවක් නම්, දරු ප්‍රසූතියට සූදානමින් සිටිනවා නම් හෝ මවක් වීමට සූදානමින් සිටිනවා නම්, නිවැරදි සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබාගැනීම ඉතාමත් වැදගත් වේ.

ස්වභාවික දරු ප්‍රසූතිය අවස්ථාවේ සිදුකරන විටපීය කැපුම පිළිබඳව ඔබ දැනටමත් අසා තිබෙන්නට පුළුවන. මෙම කැපුම සිදු කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ දරුවා එන මඟ පහසු කිරීම සහ පහසුවෙන් බිහිවීමේ අවස්ථාව ලබාදීමයි. දරු ප්‍රසූතියෙන් අනතුරුව කැපුම නැවතත් මැහුම් යොදා සකස් කිරීම සිදුවේ.

එම තුවාලය සුවපත් කිරීමට මවට පැවරෙන වගකීමකි. ප්‍රසූතියෙන් අනතුරුව මව සිටින්නේ තරමක් වෙහෙසකිනි. එසේම පළමු වතාවට මවක් වූවා නම් ඇයට පැවරෙන වගකීම් පිළිබඳව යම් අවිනිෂ්චිත බවක් තිබෙන්නට පුළුවන. මෙවැනි කාලසීමාවක එවන් වගකීමක් දරාගැනීමට සිදුවීම යම්තාක් දුරකට අභියෝගයක් බව කිවයුතුය. තුවාලය පිහිටා ඇත්තේ සිරුරේ ඇති සංවේදීම ස්ථානයේ යි. නිරන්තරයෙන් විෂබීජ ආසාදන ඇතිවීමේ අවධානමක් පවතින නිසා පිරිසිදුව තබාගැනීම ද අත්‍යාවශ්‍ය වේ. එහි ප්‍රදේශය නිවැරදිව පෙන්වා දෙන්නේ නම් එය පිහිටා ඇත්තේ යෝනි මාර්ගය, මුත්‍රා මාර්ගය හා ගුද මාර්ගයට ඉතාම ආසන්නයෙනි. එම නිසා ප්‍රදේශය පිරිසිදුව තබාගැනීමට වැඩි වෙහෙසක් ගතයුතුව තිබේ. එසේම ඒ සඳහා ඔබ එතෙක් අනුගමනය කළ පිරිසිදු කිරීමේ ක්‍රම ප්‍රමාණවත් නොවන්නට හෝ වෙනස් කරන්නට සිදුවිය හැකිය. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසුව මාසයකට ආසන්න කාලයක් රුධිර වහනය සිදුවන නිසා පිරිසිදු කිරීමේ කාර්යය තවදුරටත් සංකීර්ණ වේ. විශේෂයෙන් රුධිර වහනයක දී රුධිර බිදිති රැදී තිබීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

එසේම කැපුම් තුවාලය පිහිටා ඇත්තේ පහලින් නිසා ඒ දෙස බැලීමට හෝ ස්වයං පරීක්‍ෂාවක් සිදු කිරීම අපහසුය. ඒ වෙනුවට කළ හැක්කේ අතට හසුවන ආකාරයට තුවාලය, එහි ප්‍රමාණය, ස්වභාවය හඳුනාගෙන එම ස්ථානය පිරිසිදුව තබාගැනීමයි. මේ සඳහා භාවිතා කළ හැකි ක්‍රම සහ නිවැරදි උපකරණ භාවිතය ඉතාමත් වැදගත් වේ.

මුලින් සඳහන් කළ පරිදි මසක කාලයක් රුධිරය පිටවීම සිදුවන නිසා සනීපාරක්‍ෂක තුවා පැළදීමට සිදුවේ. එහිදි ඔබ එතෙක් මසකට වරක් ඔසප් කාලයේ භාවිත කළ සනීපාරක්‍ෂක තුවා වර්ගයම භාවිතය වැදගත්ය. එයට හේතුව එම තුවා සපයා ගැනීමේ පහසුව, අසාත්මික වේද නැද්ද යන්න පිළිබඳ අවබෝධය ඔබ සතු නිසා අතිරේක ගැටලු ඇති නොවීමයි. සෑම පැයකට වරක්ම සනීපාරක්‍ෂක තුවාය මාරු කිරීමට අමතක නොකළ යුතුයි. දරු ප්‍රසූතියට පෙර සිටම සනීපාරක්‍ෂක තුවා පැකැට්ටු කිහිපයක් ගෙනවිත් තබාගැනීම ඔබට පහසුවකි.

තුවාලය ඇති ප්‍රදේශය සබන් යොදා සෝදා පිරිසිදු කරන්නේ නම් ඒ සඳහා සුදුසුම සබන් වර්ගය හා සේදිය යුත්තේ මද උණුසුම් ජලයෙන් ද සීතල ජලයෙන් ද යන්න පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ. එසේ පිරිසිදු කිරීමෙන් අනතුරුව පිරිසිදු රෙදි කඩකින් පිසදැමීම කළ හැකිය. ඒ සඳහා කපු රෙදි කඩක් වඩාත් යෝග්‍ය වේ. බූල් ඉහිරෙන සහ නූල් ගැලවෙන රෙදි වර්ග යෝග්‍ය නොවේ. මෙම රෙදි කඩ භාවිත කල පසු සෝදා තද අව්වේ වේලා ගැනීම වඩාත් සුදුසුයි. නිතර පිස දැමීමට සිදුවන නිසා රෙදි කැබලි දෙකක් හෝ කිහිපයක් තබාගැනීමෙන් අවශ්‍ය විට මාරුවෙන් මාරුවට භාවිත කළ හැකියි.

වෙනත් විශේෂ සංකූලතා සහ ගැටලු නොමැති නම් හොඳින් ඇවිදීම කළ යුතුයි. තුවාලයේ මැහුම් සහිත කොටස තුවාලයේ මැහුම් තිබෙන ප්‍රදේශය පුටුවට තද වන සේ වාඩී වීම සහ නිවැරදි පෝෂදායි ආහාර වේලක් ලබාගැනීම තුවාලය සුවවීමට වඩාත් වැදගත් වේ.

තුවාලය ඉක්මනින් සුවපත් කරගැනීම සඳහා සීට් බාත් ක්‍රමය භාවිත කළ හැකිය. ඒ මේ ආකාරයෙනි.

මද උණුසුම් ජලය බේසමක් ගෙන එයට ලුණු මේස හැඳි දෙකක් පමණ දමා දියකර එම බේසමේ විනාඩි විස්සක් පමණ වාඩි වී සිටීමයි. මෙය නිවසේදී ඉතා පහසුවෙන් කළ හැකි ප්‍රතිකාර ක්‍රමයකි. තුවාලයේ වේදනාව අඩුකරගැනීම පහසු වන අතර විෂබීජහරණය හොඳින් සිදුවන නිසා සුවවීම ඉක්මන් වේ. දින කිහිපයකට වරක් හෝ මෙම ප්‍රතිකාරය සිදුකළ හැකි නම් වඩාත් ඉක්මන් හා සාර්ථක ප්‍රතිඵල අත්වේ. දරු ප්‍රසූතිය සිදුවු දිනට පසුදින සිට සාමාන්‍ය පරිදි ස්නානය කිරීම සුදුසුය. හිස හොඳින් පිසදමා ගැනීම හා උදෑසන දහය පමණ වන විට ස්නානය වඩාත් සුදුසු වේ.

නිරෝගී මාතෘත්වය ප්‍රාර්ථනා කරන සියලුම මව්වරුන් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් ඉතාමත් යහපත් ප්‍රථිපල ළඟාකරගත හැකියි. එසේම වර්ථමානයේ පවතින සෞඛ්‍යමය ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් බොහෝ මව්වරුන්ට සෞඛ්‍ය අධ්‍යාපනය නිසි පරිදි ලබාගැනීමේ ගැටලු තිබේ. නිරන්තරයෙන් රෝහල්ගත වීම අවධානම් නිසා තමාගේ පෞද්ගලික සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.

එම්. කේ. එස් නිල්මිණි
හෙද නිලධාරිනි
ශික්‍ෂණ රෝහල
මහමෝදර

සටහන අරුණි ජයසේකර