free stats

විවාහයට පත්වන යුවලක් මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මංගල උත්සවය වඩාත් හොඳින් සූදානම් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි. එහි කිසිදු වරදක් නොමැත. නමුත් විවාහයට පෙර සිටම දෙදෙනා කතා බහ කරගත යුතු සහ අවශ්‍යතාවයක් ඇතොත් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු කාරණා කිහිපයක්ම තිබේ. එනම් දෙදෙනාගේ ලිංගික ජීවිතය පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් වැදගත් කාරණයක් බව කිවයුතුය. මෙය යම් හෙයකින් ගැටළුවක් බවට පත්වුවහොත් එය මව් පිය පදවි ලැබීමට පමණක් නොව විවාහයේ පැවැත්මටත් බාධාවක් වීමට ඉඩ තිබේ.

පෙර සමාජයේ මෙන් වර්ථමාන සමාජ ක්‍රමයේ විවාහ වන තෙක් දෙදෙනාට යම් සංස්කෘතික රාමුවකට යටත්ව සිටීමේ අවශ්‍යතාවක් නොමැත. විශේෂයෙන්ම අවශේෂ සමාජ කාරණා පිළිබඳව හොඳ දැනුමක් සහිත පුද්ගලයන් වශයෙන් යුවලකට තම විවාහයෙන් අනතුරුව ලිංගික ජීවිතය කෙසේ පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කළ හැකිය. එබැවින් ලිංගික ජීවිතය තුළ පැන නැගිය හැකියයි වෙෙද්‍ය විද්‍යාත්මකව හඳුනාගත් තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වීම වැදගත් වේ. ඒවා නම්,

ලිංගික භීතිකා හෙවත් Vaginisms යන්නයි

සංසර්ග භීතිකාව ලෙසත් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුනාගන්නා මෙම තත්ත්වය ප්‍රසිද්ධියේ හෙලි කිරීමට කාන්තාවන් අතර මැළිකමක් තිබෙන නිසාම මේ තත්ත්වය බොහෝ දෙනා පෙළෙමින් පවතින එහෙත් රහසිගත රෝගයක් බවට පත්ව තිබේ.

සංසර්ග භීතිකාව යනු

ලිංගිකව එකතු වීම සඳහා සූදානම් වනවාත් සමඟම කාන්තාවන්ට ඇතිවන වේදනාව මේ නමින් හැඳින්වේ. මේ නිසා එම ප්‍රදේශයේ පේශි අනිච්ඡානුගව සංකෝචනය වී අපහසුතාවන් සහ වේදනාකාරි තත්ත්වයන් ඇති වේ. මෙය කාන්තාවක් තුළ පවතින යම් කායික ගැටළුවක් නිසා හටගන්නා තත්ත්වයක් නොවේ. මේ නිසාම ලිංගිකව එක්වීම කිසිසේත් කළ නොහැකි තත්ත්වයක් ලෙස හැගෙන අතර ඒ සඳහා ඇති කැමැත්ත, හැඟීම සහ අවශ්‍යතාවය නොමැති වේ. මේ තත්ත්වය බොහෝ විට දකින්නට ලැබෙන්නේ අලුත විවාහ වූ යුවළ අතරයි. සමහර කාන්තාවන් මේ තත්ත්වය සඟවා තබාගනිමින් මද සරු බව සඳහා ප්‍රතිකාර ගන්නට පැමිණෙන අවස්ථා නිරන්තරයෙන් දක්නට ලැබේ. නමුත් තත්ත්වය නිවැරදිව හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවුනහොත් දරු පල අහිමිවීම, විවාහය දෙදරා යාම, මානසික ආතතිය වැනි තත්ත්වයන්ට ද ගොඳුරු වීමට සිදුවේ.

ලිංගික භීතිකාව ඇතිවීමට හේතු

  • ළමා කාලයේ යම් අමිහිරි ලිංගික අත්දැකීමකට මුහුණ දීමට සිදුවීම. එනම් අපයෝජනයට ලක්වීම.
  • ආර්තවය නිසා ඇතිවන හෝර්මෝන වෙනස්වීමක් නිසා හෝ වෙනත් හෝර්මෝනමය ගැටළුවක් නිසා යෝනි මග වියළීම
  • ගර්භණීබව පිළිබඳ බිය
  • ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ආසාදනවලට ගොඳුරු වීම
  • ලිංගිකත්වය පිළිබඳ දැනුම අඩුවීම
  • දරු ප්‍රසුතියේ දී අත්දකින්නට වෙතැයි සමහර පුද්ගලයන් පවසන අමිහිරි අත්දැකීම්
  • ලිංගිකත්වය පිළිබඳව පවතින සමාජ මතයන්
  • ලිංගික ක්‍රියා වේදනාකාරි යයි ඇතිවන හැඟීම
  • සංසර්ග භීතිකාවේ ලක්‍ෂණ
  • එම අවස්ථාවේ පේශි ඉරියන බව දැනීම හෝ අධික දැවිල්ල.
  • ශිෂ්ණය ඇතුළුකල නොහැකි වීම
  • සමහර විට කැක්කුම සමඟ ඇතිවන අධික වේදනාව
  • ලිංගිකව එක්වීමේ දි මෙන්ම එක්වීමෙන් පසුවත් ඇතිවන වේදනාව
  • හුස්ම ගැනීමේ අපහසුව, බිය, සිරුරේ මාංශ පේශි තද වීම හා පෙරළිම
  • අධික ලෙස දහදිය දැමීම
  • ලිංගික භීතිකා තත්ත්වයට ලබාදෙන ප්‍රතිකාර

මනෝ චිකිත්සක ප්‍රතිකාර

  • උපදේශනය මඟින් මේ තත්ත්වය ඇතිවීමට තුඩු දුන් මනෝ විද්‍යාත්මක හේතු ඇත්නම් ඒවා සොයා බලා ඒ පිළිබඳව අවශ්‍ය උපදේශනය ලබාදීම.
  • පෙර අත්දැකීම් හෝ පෙර සබධතා නිසා සිදුවූ යම් ගැටලු ඇත්නම් දෙපාර්ශවය සමඟ සාකච්චා කර ප්‍රතිකර්ම සකසා ගැනීම
  • සිරුර ලිහිසි කිරීමේ සහ මනස සන්සුන් කිරීමේ ක්‍රම හඳුනාගැනීම. තැති ගැන්ම අවම කරවීමේ ක්‍රම හඳුන්වා දීම. මෙම අභ්‍යාස ක්‍රමය ගැටළුව විසඳාගැනීමට බොහෝ සෙයින් උපකාරී වේ.
  • ලිංගික කාර්යය පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම. ලිංගික කාර්ය සඳහා වන පෙර සූදානම, මනස සහ සිරුර ඒ සඳහා සූදානම් කරගැනීම, පිළිබඳව දැනුවත් කිරීම.
  • විවාහයේ පැවැත්ම සඳහා ලිංගික කාර්යයේ අවශ්‍යතාවය පහදා දෙමින් මිත්‍යා මත දුරලීම හා දරු ප්‍රසුතිය පිළිබඳ අනිසි බිය මනසින් ඉවත් කිරීම.

ලිහිසිකාරක අලේපනය

  • ලිහිසිකාරක ආලේපනය හා සමහර විටෙක සුළු නිර්වින්දන ඖෂධ අඩංගු ලිහිසිකාරක භාවිත කර සංසර්ග වේදනාව හා පහසුව සලසා ගැනීම.
  • ඇතුල් කිරීම හා විහිදුම් අභ්‍යාස හා ව්‍යායාම
  • මාංශ පේශී ඉහිල් කිරීමේ හා ශක්තිමත් කිරීමේ අභ්‍යාස ලබාදීම.

මේ රෝග තත්ත්වය සඳහාම විශේෂයෙන් සකසා තිබෙන උපකරණ භාවිතය. මෙහිදි ලිහිසිකාරක ආලේපනය යොදාගනිමින් උපකරණයේ ඒවා ආලේප කර තමන් විසින්ම ඇඟිල්ල බැඟින් වැඩිකරගනිමින් යෝනි මාර්ගයට ඇතුළු කිරීමේ ක්‍රමවේදය අනුගමනය කළ හැකියි. මෙය කලින් පටන්ම තිබු ක්‍රමයකි. ඒ ඒ පුද්ගලයාගේ තත්ත්වය අනුව මේ සඳහා යම්කිසි කාල සීමාවක් ගතවේ. නමුත් ඉවසීමෙන් නිවැරදිව කටයුතු කිරීම මඟින් 90% ක ප්‍රථිපල ලබාගත හැකියි.

භෞතික වශයෙන් යෝනි මාර්ගය ඉතා කුඩා තත්ත්වයන් ද දක්නට ලැබේ. සුළු ශල්‍යකර්මයකින් මේ තත්ත්වය සමනය කරගත හැකියි. මෙයට අමතරව වර්ධනය වන එන්ඩොමෙටි්‍රයෝසිස් තත්ත්වයන්, යෝනි මාර්ගයේ ආසාදන, සමේ රෝග, කුහර ආසාදන, සමේ රෝග, ගර්භාෂ අසාමාන්‍යතා, ලිංගික රෝග වැනි තත්ත්වයන් නිසා ලිංගික කටයුතුවලදී වේදනාව ඇතිවේ.

වෛද්‍යවරයා ලවා පරීක්‍ෂා කර ඒ පිළිබඳව නිසි ප්‍රතිකාර ලබාගත හැකියි.

සටහන මහේෂාණි මීගහපල

ළමා හා මාතෘ උපදේශිකා
සෞඛ්‍ය මාධ්‍යවේදිනි
ශ්‍යාමලී පතිරගේ මහත්මිය