free stats

අම්මා කෙනෙක් වෙන පළමු මොහොතේ දැනෙන නුපුරුදු ගතිය නිසාම හුඟක් අම්මලාට පුංචි පැටියා වෙනුවෙන් කරන සාමාන්‍ය කටයුතු පවා නුහුරටම දැනෙන්න ගන්නවා. ඒ නිසාම මව්කිරි දීමත් ඔබට අමුතු ඇති. මව් කිරි දීම පිළිබඳව කුමක් හෝ ගැටළුවක් තියෙනවා නම්, ඒ ගැන නිසි අවබෝධයක් නැත්නම් දැන් ඔබටත් මව්කිරි කළමණාකරන මධ්‍යස්ථානයකට පිවිසෙන්න පුළුවන්. සෑම රජයේ රෝහලම තිබෙන මව්කිරි කළමණාකරන මධ්‍යස්ථාන මඟින් සහය ලබාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම වෙනත් ඕනම මව්කිරි සම්බන්ධ ගැටළුවකදී ඔවුන් ඔබට සහය වෙන්න බැදී ඉන්නවා.

මව්කිරි කළමණාකරන මධ්‍යස්ථානයක් යනු

සෑම රෝහලකම වෙන් කරපු ස්ථානයක් තිබෙනවා. මෙය පොඩි ඒකකයක් වගේ. නමුත් වාට්ටු සංකීර්ණයකට වඩා වෙනස්. මෙහි ප්‍රධානම කාර්යබාරය වෙන්නේ මවගේ මව්කිරි ගැටළු හඳුනාගෙන ඒවාට වැඩි අවධානයක් යොමු කරමින් අවශ්‍ය උදව් සහ ප්‍රතිකාර ලබාදීමයි.

ප්‍රතිකාර සඳහා යොමු වීම

රෝහලක් තුළ ගත්තාම එහි දරුවන් ලැබුණු අම්මලා ඉන්නවා. ඒ අයට මව්කිරි දීම සඳහා වැඩි ගැටළුවක් තියෙනවා නම් හරියට කිරි දෙන්න බැහැ, කිරි දෙන්න දන්නේ නැහැ කියලා අම්මාට හෝ වෛද්‍යවරයාට තේරෙනවා නම් මව්කිරි කළමණාකරන මධ්‍යස්ථානයට යොමුවෙන්න පුළුවන්. කාසල් රෝහලේ නම් පැය 24 ම විවෘත වෙලා තිබුණත් සමහර රෝහල්වල රාත්‍රි ප්‍රතිකාර ලබාදෙන්නේ නැහැ. නමුත් සෑම රජයේ රෝහලකින්ම සාමාන්‍ය දවසේ වැඩකරන වෙලාවේදී ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.

ගෙදර දී ගැටළුවක් ආවොත්

නැවත රෝහලට ඇවිත් කෙලින්ම මව්කිරි කළමණාකරන මධ්‍යස්ථානයට යන්න පුළුවන්. සමහර අම්මලාට ගැටළුවක් තිබෙන බව තේරෙනවා. නමුත් හරියටම ගැටළුව මොකද්ද කියලා තේරුම් ගන්න බැහැ. එවැනි අවස්ථාවලදී මව්කිරි කළමණාකරන මධ්‍යස්ථානයට පැමිණීමෙන් හෙද නිළධාරිනියන් ගේ සහය ඇතිව තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්. ඒ වගේම රෝගීන් ඇතුළු කරන භාහිර රෝගී අංශය දැනුවත් කිරීම හරහාත් මව්කිරි කළමණාකරන මධ්‍යස්ථානය වෙත යොමු වෙන්න පුළුවන්කම තියෙනවා.

වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම්

තත්ත්වය අනුව අවශ්‍ය ප්‍රතිකාර මොනවද කියලා මෙතනදී තීරණය කරනවා. සමහර විට සාමාන්‍ය තත්ත්වයක් නම් මෙතැනින්ම ප්‍රතිකාර අරන් පිටවෙලා යන්න පුළුවන්. නමුත් ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයක් නම් ඒ සඳහා යොමු කිරීමත් මෙතනදි සිදුවෙනවා. වඩාත්ම වැදගත් දේ වෙන්නේ ගැටළුවට අදාල වෛද්‍යවරයා වෙත ඉක්මනින් යොමුවීමට ඇති හැකියාවයි.

හෙද නිළධාරි සහය

සමහර කාන්තාවන් මෙවැනි ප්‍රතිකාර සඳහා යොමු වෙන්න අකමැත්තක් දක්වනවා. මොකද ප්‍රතිකාරවලදි පියයුරු පෙන්වීම සිදුවෙනවා, අල්ලන්නට සහ නිවැරදිව ප්‍රතිකාර අවසන් වනතුරු විවිධ ඉරියව්වලට යොමුවෙන්න සිදුවෙනවා. නමුත් ඒ සඳහා චකිතයක් ඇතිකරගත යුතු නැහැ. මෙහි සිටින්නේ හෙද නිළධාරිනියන්. ඔවුන් ඔබට මිතුරියන් ලෙස සහය දක්වනවා. ඔබට ඕනම දෙයක් කතා කරන්න, අහන්න පුළුවන්.

ලැබෙන උදව්

මව්කිරි පොවන අවස්ථාවෙදී දරුවා නිවැරදිව අල්ලා ගන්නා ආකාරය පිළිබඳව උදව් ලැබෙනවා. මේවා පූර්ව ප්‍රසව සායනවලදිත් කියා දෙනවා. නමුත් එතකොට දරුවා ලැබිලා නැහැනේ. ඒ නිසා දරුවා සමඟ ඇවිත් ප්‍රායෝගික පුහුණුව ලබාගන්න පුළුවන්. පියයුරු තද වීම, පියයුරු පැලීම, පියයුරු විශාල වුණු අම්මලාට, නිපල් පැළුණු, තුවාල වුණු, ගිලුනු තන පුඩු නිසා ඇතිවන ගැටළු පිළිබඳව උපදෙස් ගන්න පුළුවන්. මෙවැනි ගැටළු තියෙද්දි මව්කිරි දොවලා දෙන්නේ කොහොමද? මව්කිරි දොවා ලබාදෙන නිවැරදි ක්‍රම මොනවද ආදියට ප්‍රායොගික පුහුණුව හා විසඳුම් පවා මෙහිදි ලැබෙනවා.

ප්‍රායොගික උපදෙස්

මද රස්නයෙන් පියයුර තවන ආකාරය ගැන අම්මලා දන්නේ නැහැ. මව්කිරි තද වුණාම මද රස්නයෙන් පියයුර තැවීමෙන් නැවත කිරි ගලා එන්න පටන් ගන්නවා. ඒ වගේම හොඳින් මව්කිරි ගලා එන්න නම් නිපල් එක සම්බාහනය කරන හැටි, පිට සම්බාහනය කරන හැටි ඒ වගේම විෂබීජ ආසාදන නිසා නිපල් එක පැසවලා නම් පියයුර රතුවෙලා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ ප්‍රායෝගික උපදෙස් ලබාදෙනවා.

සුදුසු ඇඳුමක්

ඔබ ප්‍රතිකාර ගැනීම සඳහා එන විට ඒ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගෙන එන්න. මේ එන්නේ පියයුරු සඳහා ප්‍රතිකාර ලබා ගන්න. ඒ නිසා පපු ප්‍රදේශය විවෘත කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ගැලවිය හැකි බොත්තම් සහිත බ්ලවුසයක් සහ සැහැල්ලු සායක් වඩාත් සුදුසුයි. ගවුමක් ඇඳගෙන ආවොත් සම්පූර්ණ ගවුම ඉහලට ඔසවන්න වෙනවා. එය ඔබව අපහසුතාවයට පත්කරන හේතුවක්. නැතිනම් සැහැල්ලු කලිසමක් සහ බොත්තම් සහිත බ්ලවුසයක් වුණත් සුදුසුයි. ගවුමක් අදිනවා නම් ඉදිරියෙන් බොත්තම් ඇති ගවුමක් සුදුසුයි. ලේස් වර්ගයේ බ්‍රෙෂියරයක් හෝ ෆීඩින් බ්‍රා එකක් අඳින එක වඩාත් සුදුසු වෙනවා.

රැගෙන ආ යුතු දේ

ඔබ එන්නේ අලුත උපන් දරු පැටියෙක් සමඟ නිසා පැටියාට අවශ්‍ය දේත් අරගෙන එන්න. අඩු බර බබෙක් නම් තොප්පියක්, මේස් දෙකක්, බබා ඔතන්න පැනල් රෙද්දක් රැගෙන ආ යුතුයි. ඒ වගේම උදව්වට කෙනෙක් එක්ක එන්න පුළුවන් නම් එය ඔබට පහසුවක්. හදිසියේ නවතින්න වුණොත් කියලා හිතෙනවා නම් ඒ සඳහා සූදානම් වෙලා නිවසේ අයත් දැනුවත් කරලා එන්න.

හදිසියෙන් යන්න බැහැ

හුඟක් අම්මලා එන්නේ ප්‍රතිකාර අරන් ඉක්මනින් යන්න හිතාගෙන. නමුත් එහෙම යන්න බැහැ. තත්ත්වය අනුව ප්‍රතිකාර වෙනස් වෙනවා. සමහර විට රෝහලේ නතර වෙන්නත් සිදුවෙනවා. ඒ නිසා ප්‍රතිකාර සඳහා එන විට සම්පූර්ණයෙන්ම ඒ දවස ඒ සඳහා වෙන් කරගෙන එන්න. ඔබට තිබෙන හදිසිය නිසා ප්‍රතිකාර අතපසු කරන්න බැහැ.

සටහන චාපා හංසිනි ආටිගල

B.M.L බස්නායක
හෙද සොයුරිය
සෞඛ්‍ය ප්‍රවර්ධන සහ මහජන සෞඛ්‍ය ඒකකය
කාසල් කාන්තා රෝහල