free stats

පුතා ඔයා මට බොරු කියලා අහුවෙන්න එපා.”‍ ”‍ මම කියලා තියෙනවා නේද බොරු කියන්න එපා කියලා?”‍

මේ වගේ කතා ඕනතරම් අපේ අම්මලා තාත්තලා දරුවන්ට කියනවා ඔබ අහලා ඇති. සමහර විට ඔබත් දරුවාට මේ විදියට තරවටු කරන අවස්ථා තියෙන්න පුළුවන් . දෙමාපියන්ට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත තමයි දරුවෝ. ඒ නිසාම දෙමාපියො දරුවන්ට අසීමිතව ආදරේ කරනවා. ආදරේ වැඩිකමට සමහර වෙලාවට දරුවො කරන පුංචි පුංචි වැරදීම් වලට දෙමාපියන් රළු විදියට ප්‍රතිචාර දක්වන අවස්ථා ඕන තරම්. පුංචි දරුවො සමහර වෙලාවට කියන බොරුවක් දෙමාපියෝ මහා විශාල ප්‍රශ්නයක් කර ⁣ගෙන ඒ දරුවට තරවටු කරන සිදුවීම් නිතර අහන්න දකින්න ලැබෙනවා. අන්න ඒ නිසාම දෙමාපියො විදියට මේ වගෙ අවස්ථාවකදි ඔබ කටයුතු කරන්න ඕන කුමන ආකාරයෙන්ද කියා දැනුවත්ව තිබීම වැදගත් .

බොරු කියන එක නරක පුරුද්දක්. ඒත් පුංචි දරුවන්ට මේ ගැන එතරම් අවබෝධයක් නෑ. මේ නිසා දෙමාපියන් විදියට එවැනි අවස්ථාවකදි දරුවාට ප්‍රතිචාර දක්වන ආකාරය දරුවාගෙ යහපතට ඉතාම වැදගත්. ඕනෑම දරුවෙක් ඉදහිට හෝ බොරුවක් කියන්නට පෙළඹෙනවා. එය අසාමාන්‍ය තත්වයක් නෙවෙයි. ඔවුන්ට උරුම ළමා ලෝකයක දරුවන් ජීවත් වන නිසා දෙමාපියන්, වැඩිහිටියන් නොදකින ආකාරයෙ පැතිකඩ වලට පුංචි දරුවන්ගෙ මනස යොමු වෙනවා. ඕනෑම අයෙකුගෙ පරිකල්පන ශක්තිය ඇතිවෙන්නෙ ළමා වයසේ පටන්. ඒ නිසා විවිධ සිදුවීම්, පුද්ගලයන්ට අදාලව දරුවන් තුල තිබෙන්නෙ ඔවුන්ට ආවේණික අදහසක්, මතයක් වන්නට පුළුවන් .

උදාහරණයක් විදියට කොල පාට පූසෙක්, කහ පාට ගිරවෙක් දුටු බව දරුවා පැවසීම.

එවැනි කතාවක් දරුවා පැවසීම එතරම් බරපතල ලෙස සැලකිය යුතු කරුණක් නොවෙයි. එය ඔවුන්ගෙ නොතේරුම්කම නිසා සිදු වෙන⁣ දෙයක්. කුඩා දරුවන් බොරුව කියන වචනයේ අර්ථය දන්නේ නැහැ. ඔවුන් බොරුව ඉගෙන ගන්නෙ වැඩිහිටියන්, මව්පියන් තුළින්මයි. දෙමාපියන් මේ නිසා තමන් කරන , කියන දේ පිළිබද ඉතා සැලකිලිමත් විය යුතු වෙනවා. දරුවාට ආදර්ශමත් වීම ඉතාම වැදගත්.

මවුපියන් දරුවා ඉදිරියේ බොරුවක් පවසා දරුවාට සත්‍ය කියන්නැයි බල කිරීම , දඩුවම් කිරීම ඉතාම අනුවණ ක්‍රියාවක්. දරුවන් කියන ඇතැම් සත්‍ය කරුණු තුලත් අසත්‍ය කරුණු ගැබ් වී තියෙන්නට පුළුවන්. එහිදී සිදු කල යුත්තේ ආදරයෙන් දරුවාට බොරු කීමේ විපාක, සමාජයෙන් ඊට ලැබෙන ප්‍රතිචාර ආදිය පිලිබද දරුවාට පැහැදිලි කර දීමයි. එලෙස උපායශීලීව හා මිත්‍රශීලීව දරුවාට කරුණු තේරුම් කර දීමෙන් සත්‍ය තොරතුරු දරුවාගෙන් ලබා ගන්නට මව්පියන්ට හැකියාව ලැබෙනවා .

පාසල් වයසේ දරුවන් ක්‍රමයෙන් සත්‍ය හා බොරුව අතර ඇති වෙනස වටහා ගන්නා නිසා ඔවුන් සමග කටයුතු කිරීමේදී දෙමාපියන් විසින් දඩුවම් කිරීම, දරුණු ප්‍රතිචාර එල්ල කිරීම උචිත වන්නෙ නැහැ. එයින් සිදු වන්නේ දෙමාපියන් සමග දරුවා තරහවක් ඇති කර ගැනීමයි. සමහර දරුවන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමට පටන් ගන්නවා. මව්පියන් ඒවාට පිළිතුරු දීමට කැමැත්තක් දක්වන්නෙ නැහැ. ප්‍රශ්නයෙන් මගහැර යාමට බොරු පිළිතුරු ලබා දෙන අවස්ථා ඕන තරම්. ඒත් අනාග⁣තයේ දවසක දරුවා මාපියන් තමාට පවසා ඇත්තේ බොරුවක් බව දැන ගත් විට මව්පියන් පිළිබද වැරදි ආකල්පයක් ඇති කර ගනිමින් ඔවුන්ට බොරු කීමට පෙළඹෙනවා.

  • ඔබ දරුවා සමග කටයුතු කිරීමේදී දරුවා බොරුවක් පවසන්නේ නම් ඒ අවස්ථාවේදී පහත පරිදි කටයුතු කිරීම නුවණට හුරුයි.
  • සත්‍ය දේ පවසන විට ප්‍රශංසා කිරීම, දරුවා සතුටු වන ආකාරයට කටයුතු කිරීම වැදගත්.
  • ඔබ කිසි විටෙක දරුවා බොරුකාරයෙක් ලෙස හදුන්වන්නට එපා. එවිට සිදු වන්නෙ දරුවාට තමා පිලිබද ඇති විශ්වාසය බිදි යාමයි.
  • දඩුවම් දීම වෙනුවට මිත්‍රශීලී ලෙස බොරුව පිළිබද පහදා දෙන්න.
  • ඔබ අදහන ආගම, සංස්කෘතික අංගයන් සමග ඒවායින් උදාහරණ ගෙන දරුවාට බොරු කීම අයහපත් බව කියා දෙන්න.

මෙවැනි පියවර මගිනුත් ඔබේ දරුවා⁣ බොරු කීමේ පුරුද්දෙන් මිදෙන්නෙ නැතිනම් මනෝ වෛද්‍යවරයෙක් හෝ මනෝ උපදේශකයෙක් මුණ ගැසීම වඩාත් සුදුසුයි.

සටහන කුමුදිකා ඩී.සපුතන්ත්‍රි

ප්‍රභාත් කස්තුරිආරච්චි
මනෝ වෛද්‍ය , සමාජ සේවක
පලාත් මහ රෝහල
කුරුණෑගල.