free stats

පවුලක සතුට සමගිය රදා පවතින්නේ පවුලක් නිසියාකාරයෙන් සැලසුම් කලහොත්ය.පවුලක් සැලසුුම් කිරීම මගින් තමන්ට අවශ්‍ය කාලයටු නිසි පරතරයක් ඇතිව අවශ්‍ය දරුවන් සංඛ්‍යාව ලබා ගත  හැකිය. පවුලක් සැලසුුම් කිරීමට භාවිතා කළ හැකි තාවකාලික ක‍්‍රම සහ ස්ථීර පවුල් සැලසුම් ක‍්‍රම ඇත. තාවකාලික ක‍්‍රමද නැවත වරක් හෝමෝනමය සහ හෝමෝන නොවන ක‍්‍රම වශයෙන් දෙවර්ගයකට බෙදා දැක්විය හැකිය. හෝමෝනමය ක‍්‍රම අතුරෙන් ඉතා ජනප‍්‍රි‍ය ක‍්‍රමයක් වශයෙන් පවුල් සැලසුම් ගිලින පෙති හැඳින්විය හැකිය. ඉතින් මෙවර අපි සාකච්ජාවට බදුන් ගත කරන්නෙ පවුල් සැලසුම් ගිලින පෙති පිළිබදවය.

පවුල් සැලසුම් සදහා භාවිත කරන පෙති වර්ග වල කි‍්‍රයාකාරීත්වය සිදු වන්නෙ කෙසේද ?

ශ‍්‍රී ලංකාවේ භාවිතා වන පවුල් සැලසුම් ගිලින පෙති  වල ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටජන් යන හෝමෝන අඩංගු වේ. මේවා කාන්තාවකගේ සිරුරේ ස්වාභාවිකවම ඇති හෝමෝන වලට සමානය. එහෙයින්  උපත් පාලනය පෙති වර්ග නිසා  හානියක් විය හැකි බවට ඇතැමුන් තුළ පවතින මතය මිථත්‍යාවකි. මොළයේ පිටියුටරි ග‍්‍රන්ථියෙන් ශ‍්‍රාවය වන ඊස්ට‍්‍රජන් සහ ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝන මගින් , ඩිම්භ කෝෂ තුලින් ඩිම්භ නිකුත් කිරීම උත්තේජනය කරයි. ගිලින පෙති මගින් මූලිකවම සිදු වන්නේ මෙම හෝමෝන නිශේධනය මගින් ඩිම්භ කෝෂ තුලින් ඩිම්භ නිකුත් වීම වැළැක්වීමයි. මීට අමතරව ගැබ්ගෙළ ශ‍්‍රාවයන් වල උකුගතිය වැඩි කිරීම මගින් ශුක‍්‍රාණු වලට පිහිනා ගර්භාෂය තුළට ඇතුල්වීමට ඇති හැකියාව මෙමගින් අඩු කරයි. එනිසා  කාන්තාවන්ට අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වාගත හැකිය. කෙසේ වුවත් අනෙක්  ඕනෑම පවුල් සැලසුම් කමයක් මෙන්ම ගිලින පෙතිද අසාර්ථක වීමේ ඉතා කුඩා අවදානමක් පවතී

මෙම පෙති පාවිච්චි කළ හැක්කේ කාටද?

බොහෝ කාන්තාවන්ට ඉතා ආරක්ෂිතව ගිලින පෙති භාවිතා කිරීමේ හැකියාව ඇත.තම පළමු දරු උපත පමා කිරීමට අදහස් කරන කාන්තාවන්ට , ළමුන් අතර පරතරය තබා ගැනීමට අදහස් කරන කාන්තාවන්ට හෝ තම පවුල සම්පූර්ණ කර ඇති කාන්තාවන්ට යන  ඕනෑම අයෙකුට පවුල් සැලසුම් ගිළින පෙති ඒ සඳහා භාවිතා කළ හැකිය. නිතර ලිංගිකව එකතු නොවන අයට ද ගිලින පෙති භාවිතය සුදුසු නමුදු ඔවුන්ද දිනපතා නොවරදවා පෙත්තක් බැගින් ගැනීම අත්‍යාවශ්‍යය වේ. වෙනත් වෛද්‍යමය සංකූලතා නොමැති නම්  ඕනෑම වයසක පසුවන කාන්තාවකට ගිලින පෙති භාවිතා කළ හැකිය. එහෙත් වයස  40 ඉක්මවූ කාන්තාවකට පවුල් සැලසුම සදහා  ගිලින පෙති භාවිතා එතරම් සුදුසු ක‍්‍රමය නොවේය. වෙනත් පවුල් සැලසුම ක‍්‍රම භාවිතා කළ නොහැකි නම් හෝ කාන්තාව වෙනත් ක‍්‍රමයක් භාවිතා කිරීමට අකමැති නම් පවුල් සැලසුම් ගිලින පෙති භාවිතා කිරීම යෝග්‍ය වන අතර ඔවුන් සදහා එය දෙවන ගණයේ ක‍්‍රමයක් ලෙසින් සැලැකේ.

වෛද්‍ය උපදෙස් නොමැතිව පවුල් සැලසුම් ගිලින පෙති භාවිත කල හැකිද?

පහත තත්වයන් ඇති කාන්තාවන් ගිලින පෙති ආරම්භ කිරීමට ප‍්‍රථමව ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. ඔවුන් සදහා ගිලින පෙති සුදුසු ක‍්‍රමයක් නොවිය හැකිය.

  • අධික රුධිර පීඩනය ඇති කාන්තාවන් .
  • ගැඹුරු ශිරා ශාණිය ( DVT) තිබෙන හෝ අතීතයේ තිබුණු කාන්තාවන්.
  • (DVT) පාද වැනි අවයව වල ගැඹුරින් පිහිටා ඇති ශිරාවල ඇති වන රුධිර කැටි නිසා එම අවයව වල තදබල වේදනාවක් ඇතිවේ.
  • හෘදයේ හෝ මොළයේ රුධිර නාල අවහිර වීම් ඇති කාන්තාවන් .

උදා  ආඝාතය , රුද්ධරක්තක කන්තුක රෝග (ischemic heart disease)

  • සංකූලතා සහිත හෘද කපාට රෝග ඇති කාන්තාවන්.
  • අධික රුධිර පීඩනය දියවැඩියාව වැනි වෛද්‍යමය තත්වයන් තිබෙන අවුරුදු 40 ට වැඩි කාන්තාවන්
  • නීලංකාරය සමග ඇති ඉරුවාරදය ඇති කාන්තාවන් .
  •  සංකූලතා සහිත දියවැඩියාව හෝ අවුරුදු 20කට වඩා පවතින දියවැඩියාව ඇති කාන්තාවන් .
  • අක්මාවේ රෝගාබාධ , පියයුරු පිළිකාව, දිගු කලක් එක තැන සිටීමට සිදුුවිය හැකි තත්වයන් ඇති කාන්තාවන් .
  • අධික තරබාරුව ඇති කාන්තාවන්
  • ඇතැම් ඖෂධ භාවිතා කරන  කාන්තාවන්.     උදා – අපස්මාරය,
  • ඇතැම් ගර්භාෂ පිළිකා සඳහා වන ඖෂධ භාවිතා කරන  කාන්තාවන්.  
           
  •  මීට අමතරව මාස 6කට අඩු කිරි දෙන මවකට හෝ ගර්භනී භාවය පිළිබඳව සැකයක් ඇති මවකට ගිලින පෙති ලබා නොදේ.

මෙම පෙති භාවිතා කල යුත්තේ  කෙසේද?

රාජ්‍ය අංශ මගින් ලබා දෙන ගිලින පෙති පැකැට්ටු වල මෙම හෝමෝන අඩංගු පෙති 21 ක් ද හෝමෝන අඩංගු නොවන යකඩ අඩංගු පෙති 7 ක් ද තිබේ. එහෙත් පෞද්ගලික අංශයේ ඇති ඇතැම් ගිලින පෙති පැකැට්ටුවල හෝමෝන පෙති 21 ක් පමණක් අඩංගුවන අවස්ථාද තිබේ.පවුල් සැලසුම් ගිලින පෙති දිනකට 1 ක් බැගින් දිනපතා නොවරදවා ගත යුතුය. ඔසප් චක‍්‍රය ආරම්භ වී පළමු දින 5 ඇතුළත ගිලින පෙති භාවිතය ආරම්භ කළ යුතුය. බොහෝ අවස්ථාවල රාත‍්‍රී  ආහාරයෙන් පසුව නින්දට පෙර මෙම පෙති ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ. එයට හේතුව අමතක වීමට ඇති හැකියාව අඩු කිරීමත් ඇතැම් අතුරු ආබාධ දැනීම අඩු වීමත්ය. ගිලින පෙති පැකැට්ටුවෙහි අනිත්  පැත්තෙහි ඊතල පේළි දක්වා ඇත. පෙති භාවිත කළ යුත්තේ ඊතල වල දැක්වෙන අනු පිළිවෙලටය. හෝමෝන පෙති 21 ගැනීමෙන් පසුව යකඩ පෙති 7 ගන්නා කාලයේදී කාන්තාවකට රුධිර වහනයක් සිදුවිය හැකිය. දෙවන මාසය අවසන් වීමෙන් පසුත් රුධිර වහනයක් සිදු නොවුනහොත් ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. එක් පැකැට්ටුවක් අවසන් වූ වහාම ඊට පසු දිනම ඊළග හෝමෝන පැකැට්ටුවේ ඇති හෝමෝන පෙති වලින් පෙති ගැනීම ආරම්භ කළ යුතුය.සෑම විටම අමතර පෙති පැකැට්ටුවක් ලග තබා ගන්නා ලෙස කාන්තාවන්ට උපදෙස් දෙනු ලැබේ. කිරි දෙන මවකට මාස 6 ඉක්මවූ වහාම ගිලින පෙති ගැනීම ආරම්භ කළ හැකිය. එහෙත් මළදරු උපතක් සිදුවූ අවස්ථාවක හෝ කිසියම් හේතුවක් නිසා ළදරුවෙකුට සිටින මවක් මව් කිරි නොදෙන අවස්ථාවක දරු උතින් පසු මවට සති 4 ක් ඉක්මවූ පසු ගිලින පෙති භාවිතය ආරම්භ කළ හැකිය.ගබ්සාවක් සිදුවූ කාන්තාවක් නම් පළමු දින 5 ඇතුළත පෙති ගැනීම ආරම්භ කළ යුතුය.

පවුල් සැලසුම් ගිලින පෙති  ලබාගත හැක්කේ කෙසේද?

රජයේ රෝහල්වලින් හෝ ක්ෂේත‍්‍රයේ ඇති සායන වලින් සහ පවුල් සෞඛ්‍ය  සේවා නිලධාරිනියන් වෙතින් පවුල් සැලසුම් ගිලින පෙති නොමිලයේම ලබාගත හැක .එමෙන්ම පෞද්ගලික රෝහල් හෝ වෛද්‍ය වරුන්ගෙන් හෝ ඔසුසල් වෙතින් ඉතා සුළු මුදලකට මේවා ලබාගත හැකිය.

පෙත්තක් ගැනීම අමතක වුවහොත් ?

එක පෙත්තක් හෝ දෙකක් ගැනීමට කාන්තාවකට අමතක වූ අවස්ථාවකදී මතක් වූ වහාම පෙත්තක් ගෙන සුපුරුදු පරිදි දිනපතා ගන්නා ආකාරයට පෙති ගත යුතුය.(පළමු දින පෙති දෙකක් ගැනීමට සිදුවිය හැක. පෙති 3 ක් හෝ වැඩි ප‍්‍රමාණයක් ගැනීමට අමතක වූ විට ඉහත නිර්දේශයට අමතරව කොන්ඩම් වැනි වෙනත් පවුල් සැලසුම් ක‍්‍රමයක් දින 7 ක් භාවිතා කළ යුතුය.

මෙසේ ගැනීමට අමතක වූයේ තුන්වන පේළියේ ඇති හෝමොනමය ගිලින පෙති නම් දැනට භාවිතා කරන පෙති පැකැට්ටුවේ ඇති හෝමෝනමය පෙති අවසන් වූ පසු යකඩ පෙති භාවිතා නොකර අළුත් පැකැට්ටුවක ඇති හෝමෝනමය පෙතිවලින් පෙති ගැනීම දිගටම සිදුකළ යුතුය.මෙසේ පෙති ගැනීම අමතක වූ අවස්ථාවක ලිංගිකව එක් වීමක් සිදු වූයේ නම් හදිසි පවුල් සැලසුම ක‍්‍රමයක් භාවිතා කිරීමට සිදුවිය හැකිය. යකඩ අඩංගු පෙති ගැනීමට අමතක වූයේ නම් අමතක වූ පෙති ඉවත් කර දිගටම සාමාන්‍ය පරිදි පෙති ගැනීම සිදුකළ හැකිය.

පෙත්තක් ගැනීමෙන් පසු පැය 2 ක කාලයක් ඇතුළත වමනය ගියහොත් හෝ පෙති ගන්නා කාන්තාවකට දින දෙකකට වඩා පවතින වමනය හෝ පාචනය පැවතුනහොත් පෙතිවල සාර්ථකත්වය නැතිවිය හැකිය. ඇතැම් ඖෂධ මගින්ද පෙතිවල සාර්ථකත්වය අඩුවන හෙයින් පව්ල් සැලසුම් ගිලින පෙති ගන්නා ගන්නා කාන්තාවන් වෙනත් රෝගයකට ප‍්‍රතිකාර ගන්නා අවස්ථා වලදී වෛද්‍යවරයාට ඒ බව පැවසීම වැදගත් වේ. එමෙන්ම ගිලින පෙති ගන්නා කාන්තාවකට තදබල පපුවේ කැක්කුමක් ,  නීලංකාර ඉරුවාරදය , අත්වල හෝ පාදවල දරුණු කැක්කුමක් , සිරුර හෝ  මුත‍්‍රා කහ පැහැති වීමක් සිදුවුවහොත් වහාම වෛද්‍ය උපදෙස්  පැතිය යුතුය. එමෙන්ම කාන්තාව වසරකට වරක් වෛද්‍යවරයකුගේ පරීක්ෂාවට ලක්වීම යෝග්‍ය වේ.

මෙම පෙති ගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ප‍්‍රථිපල මොනවාද?

පෙති ගන්නා කාන්තාවකට ඇතිවිය හැකි අතුරු ආබාධ බොහෝ විට ඉතා සුළු ඒවා වේ. සුලභව දැකිය හැක්කේ දැකිය හැක්කේ හිසරදය , ඔක්කාරය වැනි අතුරු ආබාධ වේ. ශරීරයේ බර වැඩි වීම සිදුවූ බවට කාන්තාවන් පවසන අවස්ථා ඇත. එයට හේතුව ආහාර රුචිය වැඩි වීම හෙයින් ආහාර පාලනයක් සිදු කිරීමට සිදු වේ. පවුල් සැලසුම් ගිලින පෙති මගින් බොහෝවිට මාසික රුධිර වහනය ක‍්‍රමාණුකූල කරන නමුත් කලාතුරකින් කාන්තාවකගේ මාසික රුධිර වහනයේ අක‍්‍රමිකතා සිදුවිය හැකිය.

පෙති නැවැත්වූ විට ගර්භණී වීමට කෙතරම් කාලයක් ගතවනවාද?

ඉහත දැක් වූ ලෙසම ගිලින පෙති මගින් මූලිකවම සිදු වන්නේ මෙම හෝමෝන නිශේධනය මගින් ඩිම්භ කෝෂ තුලින් ඩිම්භ නිකුත් වීම වැළැක්වීමත් ,ගැබ්ගෙළ ශ‍්‍රාවයන් වල උකුගතිය වැඩි කිරීම මගින් ශුූක‍්‍රාණු වලට පිහිනා ගර්භාෂය තුළට ඇතුල්වීමට ඇති හැකියාව අඩු කිරීමත්ය. පෙති භාවිතය නැවැත් වූ වහාම මෙම කි‍්‍රයාවලියද ඇණ හිටින නිසා පෙති නැවැත් වූ වහාම නැවත දරුවකු පිළිසි`ද ගැනීමේ හැකියාව ලැබීමේ ප‍්‍රමාදයක් සිදු නොවේ.

පවුල් සැලසුම් ගිලින  පෙති භාවියෙන් පසු ගැබ් ගත් විට දරුවාට එය බලපෑමක් එල්ල වෙනවාද?

 එවැනි අවස්ථාවකදී කාන්තාව ගැබ්ගතහොත් එමගින් උපදින දරුවාට බලපෑමක් සිදුවන බවට මේ දක්වා කිසිඳු සාක්ෂියක් නොමැත.

පවුල් සැලසුම් ගිලින  පෙති  ගැනීමේ අනෙකුත් වාසි මොනවාද?

  • අක‍්‍රමවත් ඔසප් චක‍්‍රයක් ඇති කාන්තාවන්ගේ  ඔසප් චක‍්‍රය ක‍්‍රමවත්වේ.
  • ඔසප් වීමේදී, වේදනාකාරී වීමට හෝ අධික ලෙස රුධිර වහනය වීමට ප‍්‍රතිකාරයක් ලෙස යොදාගත හැකිවීම.
  • ඔසප් වීමට පෙර ඇතිවන රෝග ලක්ෂණ සමනය වීම.
  • ශ්‍රෝණි ප‍්‍රදාහ රෝගය (Pelvic inflammatory disease or PID) වැළඳීමට ඇති අවදානම අඩුවීම.
  • ඩිම්බ කෝෂ වල සහ ගර්භාෂයේ පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවීම.

එසේ නම් පවුල් සැලසුම් ගිලින පෙති පිළිබද මෙම ලිපිය තුලින් ඔබට මනා අවබෝධයක් ලැබෙන්නට ඇති බව අප විශ්වාස කරන්නෙමු.

සංජීව එස්.පී ගොඩකන්දගේ  මහතා
ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ
පවුල් සෞඛ්‍ය කාර්යාංශය

දිශාන්ති වෙදගේ