free stats

මනෝ ප්‍රතිකාර ලබන ගැබිනියන්ට දයාවෙන් කියමී.

මව් පදවියට සූදානම් වන පතිනියන් අතුරෙන් කිසියම් අයෙක් මානසික රෝගී තත්වයක් සදහා වෛද්‍ය ප්‍රතිකාර ගනු ලබන්නේ නම් ඔවුන් විසින් පිළිපැදිය යුතු සහ අනුගමනය කළ යුතු පියවර පිළිබඳව දැනුවත් වී සිටීම මගින් මවටත් දරුවාට විශාල සෙතක් අත්වේ. එසේම සැමියා කිසියම් අන්දමක මානසික රෝගයකට ප්‍රතිකාර ලබන්නේ නම් බිරිඳගේ ගර්භණී කාලය තුළ ඔහු දැනසිටිය යුතු සහ පිළිපැදිය යුතු කාරණා පිළිබඳවද වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්ය.

මානසික රෝග සයිකෝසීය සහ නියුරෝසීය වශයෙන් දෙවර්ගයකට අයත් වේ. නියුරෝසීය තත්වයේ මානසික රෝග, ප්‍රතිකාර සහ උපදේශන චිකිත්සා මගින් සම්පූර්ණයෙන් සුවපත් වන ටික කලක් ප්‍රතිකාර ලබාගත යුතු රෝගී තත්වයන් වේ. එහෙත් සයිකෝසීය මානසික රෝග බොහොමයක් ඉතා දීර්ඝ කාලයක් හෝ සමහරවිට ජීවිත කාලය තුළම ප්‍රතිකාර අනිවාර්යයෙන් ලබාගත යුතු රෝගී තත්වයන්ය. සමහර මානසික රෝග ආරය සමග සම්බන්ධතා පවත්වයි. කෙසේ වුවද වර්තමානයේ සෑම මානසික රෝගයකටම පාහේ දියුණූ ඖෂධ ප්‍රතිකාර ඇති බැවින් නිසි පරිදි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් කායික මානසික සුවයෙන් යුතුව සාමාන්‍ය ගර්භණී කාලයක් සහ පූර්ව හා පශ්චාත් ප්‍රසව සමයක් උදා කරගත හැකිය.

පහත උපදෙස් ඒ සදහා මනා උපකාරයක් වනු ඇත.

විවාහ වීමට ප්‍රථම සිට කිසියම් උග්‍ර මානසික රෝග තත්වයකට ප්‍රතිකාර ලබමින් සිටිනවා නම් ඒ බව සහකරු හෝ සහකාරිය දැනුවත් කිරීම යුතුකමක් සහ වගකීමක් සේ සලකන්න. ඒ වෙනුවෙන් අවංක වන්න. විවාහවීමට ප්‍රථම සහකරු හෝ සහකාරිය සමග විශේෂඥ මනෝ වෛද්‍යවරයා හමුවී රෝගය සහ ප්‍රතිකාර පිළිබඳව දැනුවත් වන්න. අනුගමනය කළ යුතු පිළිවෙත් ගැන අවබෝධයක් ලබා ගන්න. ඖෂධ ප්‍රතිකාර ලබන කෙනෙක් නම් නියමිත මාත්‍රාව නියමිත වේලාවට දිනපතා ගන්න. නොවරදවාම මානසික සායනයට සහභාගි වෙන්න.

කාලයක සිට මානසික රෝගයකට ඖෂධ ප්‍රතිකාර ගන්නා පතිනියක් මවක් වීම අපේක්ෂා කරනවිට විශේෂඥ මනෝ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කරන්න. එවිට ඔහු විසින් කුසතුළ සිටින දරුවාට හානියක් සඳහා නොවන ආකාරයෙන් ඖෂධවල වෙනස් කිරීම් සිදු කරනු ඇත. ඔබ දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇදුම ආදී රෝග වලින් පීඩා විඳින්නේ නම් ඒ බැව් මනෝ වෛද්‍යවරයා දැන සිටීම අනිවාර්ය බව සලකන්න. වෙනත් ඕනෑම රෝගයකින් පෙළේ නම් ඒ සියල්ල වෛද්‍යවරයාට පවසන්න.

ගර්භණි භාවයට පත්වන අවස්ථාවේ කිසිදු මනෝ ප්‍රතිකාරයක් නොගන්නා නුමුදු මෙයට පෙර කිසියම් කාලයක් මනෝ රෝග සදහා ප්‍රතිකාර ලබා ඇත්නම් ගර්භණී අවධියේ මුල් අවස්ථාවේ ම මනෝ වෛද්‍යතුමා හමුවී සාකච්ඡා කළ යුතුයි. ගර්භණීවීමට ප්‍රථම කිසියම් කළක් විශාදය සදහා ප්‍රතිකාර ලබා ඇත්නම්, කළින් ගබ්සාවීම් සිදුව ඇත්නම් ඒ බව මනෝ වෛද්‍යවරයාට දැනුම් දී උපදෙස් ලබාගැනීම අනිවාර්ය බව සළකන්න. ඔබ තැළිසීමියා රෝගයේ වාහකයකුදැයි පරීක්ෂා කරවා ගන්න.

ඒසේම ඔබ මනෝ ප්‍රතිකාර ලබන බව මාතෘ සායනයේදී හමුවන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු දැන සිටීම ඉතා වැදගත් බව සලකන්න. දරුවා බිහි වූ පසු සමහර මව්වරුන්ට වැළඳෙන පශ්චාත් ප්‍රසව ක්ලමථාබාධ (ඡදිඑච්රඑමප ෘැචරුිසදබ) තත්වයෙන් අත්මිදීමට මෙම හමුවීම් ඉතා වැදගත්බව තේරුම් ගන්න. හැකිනම් පූර්ව ප්‍රසව උපදේශනයක් සදහා සැමියා බිරිඳ සහ ඔවුන් දෙදෙනාගේ මව්වරුන් මනෝ උපදේශනයකට යොමුවීම ඉතා වැදගත් කොට සළකන්න.

සැමියා ප්‍රතිකාර ලබන මානසික රෝගියෙක් නම් ඔහුගෙන් බිරිදට ඇතිවිය හැකි කායික මානසික පීඩා පිළිබඳව පවුලේ ඥාතීන් වෛද්‍යවරයා මඟින් දැනුවත්වී බිරිඳට සුවපත් පූර්ව ප්‍රසව සමයක් ලබා දීමට කටයුතු කරන්න. මානසික රෝග වෙනුවෙන් බිරිඳ ලබාගන්නා
ඖෂධ වර්ග පිළිබද අවබෝධයක් සැමියා ලබා තිබීම වැදගත්ය. හැකිනම් ඇයගේ ඖෂධ සැමියා භාරයේ තබා ගනිමින් නිසි වෙලාවට ඖෂධ මාත්‍රාව ලබාදීමට කටයුතු කරන්න. හැකිතරම් සන්සුන් සාමකාමී පරිසරයක් නිවස තුළ රදවා ගැනීම සියලු දෙනාගේ වගකීමකි.

ඖෂධ ලබාගත්තද ගැබිණි මවගේ රෝගී තත්වය උත්සන්න වීමට හේතුවිය හැකි පුද්ගලයන්, පරිසර සහ වස්තූන්ගෙන් ඈත් වු පරිසරයක ඇයට ගර්භණී කාලය ගතකිරීමට ඉඩ සලස්වන්න.

ඔබ බිහිකරන දරුවා රටට අයිති දරුවෙකි. එමනිසා ඔහු සුවපත්ව මව්කුස තුළදීත් මෙලොව එළිය ලද පසුත් නිරෝගි ලෙස ජීවත්වීම වැදගත්ය. එය ඔහුගේ අයිතියකි. ඒ සඳහා ඔබ විසින් ඔබේ කායික මානසික සුවපත්බව උපරිමයෙන් රැකගත යුතුය.

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන