free stats

අනේ නිරාෂා කොහොමද හුඟ කාලෙකික් ?
ඔව් ඉතින්… ඉතින්… අපේ වෙඩින් එකෙන් පස්සෙ හම්බවුනේ නේද?
ඒකනේ දැන් අවුරුදු දෙකකටත් වැඩියිනේ. ඉතින් දැන් පුංචි පැටියෙකුත් ඉන්නවා නේද ? ඒත් මට නම් බයයි මේ තියෙන ලෙඩත් එක්ක දරුවෙක් හදන්න.
මොනවද අනේ ඔයාට තියෙන මහ ලොකු ලෙඩේ ?

අනේ මන්දා ඔෆිස් එකේ කාලා ඉඳගෙන ඉන්නවා අන්තිමට දන්නෙම නැහැ දියවැඩියාවත් හැදිලා

දියවැඩියාව ! ! !

අයියෝ ඒ නිසාද මේ පැටියෙක් පරක්කු කරන්නනෙ. ඔයා දන්නවද සුරනි දියුණු රට වල නම් දරුවෙක් හදන්න කලින් මුලින්ම කරන්නේ පවුලෙ වෛද්‍යවරයා මුණ ගැහෙන එක. ඒත් අපේ රටේ ඒ හුරුව නැහැ. ඒත් තමන්ගෙ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ විවාහ වුන අලුතම ලියාපදිංචි වීමෙන් වාසී හුඟක් ලැබෙනවා. උපත් පාලන ක්‍රම, දරුවකු පිළිසිඳ ගැනීම, ඔයාලා දෙන්නගෙම සෞඛ්‍ය ගැන, පැටියෙක් පිළිසිඳ ගත්තට පස්සෙ පරිස්සම, පැටියා ලැබුණට පස්සෙ පරිස්සම, මේ හැම දෙයක් ගැනම නිවැරදි උපදේශනයක් ලැබෙනවා. කොහොම වුනත් දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නව නම් වෛද්‍යවරයකු මුණ ගැහිලා අපේ ලෙඩ රෝග ගැන කලින්ම දැනුවත් වෙන එක හොඳයි,

ගැබ් ගත්තට පස්සෙ කෙලින්ම ප්‍රසව හා නාරී වෛද්‍ය වරයා මුණ ගැහුණම මදිද?

ඒක නම් අද කාලෙට හරියන්නෙ නැහැ. අපි නොදන්න කොච්චර ලෙඩ අපි අස්සෙ හැංගිලා තියෙනවද? බබා හදන්න කලින් මට නිතරම බඩගිනි වෙලා කොයි තරම් කෑවත් ඉක්මණින් කෙට්ටු වෙන්න ගත්තා, ඒත් එක්ක නිතරම නිදිමත ,වැඩිපුර කේන්ති යෑම, නින්ද යන්නෙ නැතිකම, කොණ්ඩෙ යන එක, නිසාත් දරුවෙන් හදන්න කලින් අපි නිතරම යන කායික රෝග විශේෂඥවෛද්‍යවරයා මුණ ගැහැහෙන එක හොඳයි කියලා හිතුවා. ඉතින් අපි ඩොක්ටර්ව මුණ ගැහිලා අපි දරුවෙක් හදන්න ඉන්න බව කිවිවා. දරුවෙක් හදන්න කලින් තමන්ගෙ
නිරෝගීකම තහවුරු කරගන්න තීරණය කල එක නුවණක්කාරකමක් කියලා තමා ඩොක්ටර් කිව්වේ. ඉතින් ඊට පස්සෙ ඩොක්ටර් ගර්භණී සමයේ වැඩියෙන්ම සංකූලතා ඇති කරන නිරක්තිය, දියවැඩියාව, රුධිර පීඩනය, වගේම තයිරොයිඩ් පරික්ෂාවත් කලා. එතකොට තමයි මම දන්නෙ මට තයිරොයිඩ් ඌණතාවයයි, නිරක්තියයි තියෙනවා කියලා. ඊට පස්සෙ තයිරොයිඩ් ප්‍රතිකාරය පටන් ගන්නත් නිරක්තියට ප්‍රතිකාර ගන්නත් පුලුවන් වුනේ කලින්ම ඩොක්ටර්ව මුණ ගැහුණ නිසා. පැටියෙක් පිළිසිඳ ගත්තට පස්සෙ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගී බව පැටියගේ වර්ධනයට කෙලින්ම බලපානවලු.

ඇත්තද? ඉතින් ඊට පස්සෙ

මේ පරික්ෂණ වාර්තාත් එක්ක අපි ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍යවරයකු මුණ ගැහැණා. එතුමා කිව්වා දරු පිළිසිඳ ගැනීමකට මාස තුනකටවත් කලින් ෆෝලික් ඇසිඩ් ලබා ගන්න ඕනී බව. ඒ වෙනකොටත් මම ෆෝලික් ඇසිඩ් පාවිච්චි කරමින් සිටින නිසා අපිට දරුපැටියෙක් හදන්න ගැටලුවක් නැති බව කිව්වා.

ඊට පස්සෙ ඔයා VOG ඩොක්ටර් ළඟට විතරද ගියේ ?

නැහැ, මට තයිරොයිඩ්, නිරක්තිය තියෙන නිසා මම මාස තුනෙන් තුනට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා මුණ ගැහැණා. මගේ රෝගයේ අලුත් තත්ත්වය බලා ගත්තා. එතකොට මම ගන්න ඕනී බෙහෙත් ප්‍රමාණය අඩු වැඩි කිරීමත් කලා. තයිරොයිඩ් සම්බන්ධව ප්‍රතිකාර ගන්න අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නත් පු`ඵවන්.

අපස්මාරය තියෙන මගේ යාලුවෙක් බබෙක් ලැබෙන්න ඉන්නකොටම නැති වුනා

ඒක තමා අපස්මාරය, අධික දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වගේ තත්ත්වයන් තියෙන කොට අපි පැටියෙක් හදන්න තීරණය කරනව නම් ඒ මාස නවය පුරාම හුඟක් පරිස්සම් වෙන්න ඕනී. අපේ රෝගයන්ට ගන්න සමහර ඖෂධ ප්‍රතිකාර දරුවන්ගෙ කායික වර්ධනය, මානසික වර්ධනය වගේ බුද්ධ වර්ධනයටත් සෘජුවම බලපානවා. අම්මා ගන්න ඒ ඖෂධ නිසා දරුවට විවිධ සංකූලතා හා විකෘතිතා ඇති වෙන්න පුඵවන්. ඒ නිසා ඒ වගේ රෝග වලින් පෙළෙනව නම් විශේෂඥ වෛද්‍යවරයකු යටතේ ප්‍රතිකාර ගැනීම හරිම වැදගත්. ඒ වගේම අපේ හැම රෝගයක් ගැනම අපේ ප්‍රසව හා නාරී රෝග විශේෂඥ වෛද්‍යවරයාව දැනුවත් කළ යුතුයි.

ඒ කියන්නෙ ප්‍රසව හා නාරී රෝග විශේෂඥ වෛද්‍යරයාට අමතරව හැම මාසෙම ඒ රෝගයට අදාල විශේෂඥ වෛද්‍යවරයාවත් මුණ ගැහෙන්න ඕනෙද?

ඔව්, හැම මාසෙම නෙමෙයි අඩුම තරමින් මාස තුනකට සැරයක් වත් මුණගැහෙන්න ඕනී. මොකද ඖෂධ ගන්න කාලය අතර තුර අප ගන්න ඕනී ඖෂධ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පු`ඵවන්, මම එක දිගටම තයිරොක්සීන් මාස තුනක් ගත්තට පස්සෙ මම මාස තුනකින් පරික්ෂා කලා. එතකොට මම ගන්න තයිරොක්සීන් ප්‍රමාණය අඩු කරන්න කියලා කිව්වා. විශේෂයෙන්ම අපස්මාරය වගේ රෝග වලට ගන්න ඖෂධ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අපස්මාරය වගේ රෝගයකට ස්නායු රෝග වෛද්‍යවරයෙක් ළඟට තමයි යන්න ඕනී. ඒවගේම තමයි ප්‍රසව හා නාරී වෛද්‍යවරයාගෙන් වගේම හෘදයාබාධ වගේ රෝග තිබෙන අම්මලා ඒ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟටත් යන්න ඕනී. තමන්ගේ රෝග වලට අධිරුධිර පීඩනය, දියවැඩියාව, අපස්මාරය, හෘදරෝග, තයිරොයිඩ් ඊට අමතරව කාලයක් තිස්සෙ දිගටම අසනීපයකට ප්‍රතිකාර ගත්ත නම් ඒ වෛද්‍යවරයාගෙනුත් ගර්භණී කාලය පුරාවට උපදෙස් ලබා ගන්න පුළුවන්.

ඉතින් කොහොමද ඔයාලගෙ අර ලස්සනම ලස්සන අක්කා ?

අපේ ලොකු අක්කට දැන් පුතාල දෙන්නෙක්ම ඉන්නවා. එයාව දැක්කම ළමයි හැදිල්ල එපා වෙනවා. බබාලා ලැබුණට පස්සෙ එයාගෙ දත් සේරම දිරලා කැඩිලා යනවා. බබාලා නිසා දත් දිරනවා කියලා තමයි අක්කා කියන්නේ.

ඇයි අක්කා බබාලා ලැබෙන්න ඉන්නකොට දත්ත වෛද්‍යවරයෙක් මුණ ගැහුණෙ නැද්ද?

මගෙ හිතේ නෑ.

බබාලා ලැබෙන්න ඉන්නකොට විශේෂයෙන්ම අපේ දත් ගැන හිතන්න ඕනී. දන්ත රෝග වලට කාන්තාවන් ගොඳුරුවීම වැඩිම ගර්භණී කාලයේ. නිතර වමනය යන නිසා කටේ ආම්ලිකතාවය වැඩියි. ඒ වගේම ඔය කාලෙට දත් මදින එක හරිම අමාරු වැඩක්නෙ. දත් මදිද්දි වමනය ගතිය වැඩි වෙන නිසා දත් මැදිල්ල බාගෙට තමයි වෙන්නෙ. එතකොට ඉතින් විෂබීජ මහගොඩක් තියෙන කට ඇතුලෙ දත් වලට කොයින්ද ආරක්ෂාවක්. දත් ගැන අපිව පරික්ෂා කරන අනෙක් වෛද්‍යවරුන්ට බලන්නත් බැහැනෙ. ඒ නිසා අනිවාර්්‍යයෙන්ම දන්ත වෛද්‍ය වරයෙක් ළඟට නම් යන්නම ඕනී

ඉතින් එහෙම වෙනම වෙනම වෛද්‍යවරු හමුවෙන්න ලොකු වියදමක් යනවනෙ.

රජයේ රෝහල් වල මේ පහසුකම් නොමිලේම සපයනවා. සායනය වලට සහභාගී වෙනකොට අපට තියෙන සංකූලතා හඳුනාගෙන ඒ ඒ විශේෂඥ වෛද්‍යවරුන් ළඟට යොමු කරලා පරික්ෂාවට ලක් කරනවා. දන්ත සායනත් හැම රජයේ රෝහලකම තියෙනවා.

කාලෙකට පස්සෙ මුණ ගැහිලා ඔයාගෙන් වටින දේවල් හුඟක් දැන ගත්තා. කල් යවන්නෙ නැතිව ඔයා කියපු විදිහට මමත් කරනවා.

ඔව් අපි හැමෝගෙම බලාපොරොත්තුව නීරෝගී දරුවෙක්නෙ. ඒකට දරුවෙක් පිළිසිඳ ගන්නට කලින්ම ලෑස්ති වුණොත් අම්මටයි බබාටයි නීරෝගීව ඉන්න පුඵවන්. එහෙනම් මම යන්නම්.
හා හොඳයි, තව විස්තර අවශ්‍ය වුණොත් මම කතා කරන්නම්.

සටහනට අවශ්‍ය දැනුමින් පෝෂණය කලේ
ප්‍රසව හා නාරිවේද විශේෂඥ
වෛද්‍ය නලින්ද රොද්‍රිගෝ

සටහන
දිශාන්ති වෙදගේ