free stats

මව්පදවියට සූදානම්වන ඔබට වඩාත් වැදගත්ම සේවාව සපයන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියයි. කාන්තාවක් වශයේ ඔබට බෙදාගත හැකි සහ නොහැකි ඕනෑම කරුණක් ඇයත් සමඟ බෙදාගැනීමේ පහසුව මේ අතරින් ප්‍රධානයි. විශේෂයෙන්ම ගර්භණි සමයේ වුවත් නැතත් පුද්ගලිකව ඔබට බලපාන, ඒ නිසාම දරුවාට හෝ දරු ගැබට යම් බලපෑමක් ඇතිවෙතැයි හැගෙන කරුණක් වුවත් ඇය සමඟ බෙදාගනිමින් අවශ්‍ය නිවැරදි විසඳුම් ලබාගැනීමට හෝ විසඳුම් ලබාගත හැකි කෙනෙකු වෙත යොමුවීමේ හැකියාව ද තිබේ. නිරෝගී දරුවෙක් බිහි කිරීම සඳහා වන සියලු අවශ්‍යතා සම්පූර්ණ කරදීමෙන් සහය වීම මෙන්ම දරුවා බිහිවන දිනය දක්වාම මවත් සමඟ හිදිමින් ඇයට සහය පළකිරීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා සිදුවේ.

අතීතයේ දී වින්නඹු මාතාව ලෙසින් හැඳින්වු ඇය දරු ප්‍රසූතියටත් සහය වූ බව අප අසා තිබේ. එකල දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවීමේ සිරිතක් නොතිබුණු බැවින් දරු උපත් සිදුවුණේ නිවසේදීයි. මේ අවස්ථාවේ ප්‍රසූතිය උපත වෙනුවෙන් වින්නඹු මාතාව කැදවාගෙන ඒම සිරිතක්ව පැවතුනි. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය උපන්දා සිට කෘතියේ සඳහන් කරන පරිදි එතුමාගේ උපත සිදුව ඇත්තේ ද වින්නඹු මාතාවකගේ සහයෙනි. එම අවස්ථාවේ වින්නඹු මාතාව “සරමක්” ලෙස සඳහන් කරමින් පුතෙකු උපත ලබා ඇති වග දැනුම් දුන් බවත් වැඩිදුරටත් කෘතියෙහි සඳහන් වේ. මෙම වෘත්තිය ශතවර්ෂ ගණනක ඉතිහාසයකට උරුමකම් කියන අතර ග්‍රික දාර්ශණික සොක්‍රටීස්ගේ මව ද වින්නඹු මාතාවක් බව ද ඉතිහාසය පිරික්සීමෙන් පෙනියයි.

සිංහයෙකුගේ හදවතක් හා කාරුණික දෑතක් හිමි කාන්තාවක් වේ නම් ඇය වින්නඹු මාතාවයි”
ඇරිස්ටෝටල්

මේ අනුව වෘත්තියට එහා ගිය සමාජ සත්කාරයක නිරතවන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ගේ සේවාව පිළිබඳව අපට තවදුරටත් මෙසේ විමසා බැලිය හැකිය.

උසස් සෞඛ්‍ය දර්ශකයකට මඟ සලසා දීම

තාක්‍ෂණික දියුණුවත් සමඟ ඇතිවු ප්‍රබෝධය හා දැනුම් හුවමාරුව නිසා මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ කාර්යබාරයත් විකාශනය වෙමින් පවතියි. ඒ අනුව ඇයගේ වෘත්තිය කාර්යය පුළුල් වීමක් ද දක්නට ලැබේ. විශේෂයෙන්ම

  1. මාතෘ මරණ අනුපාතය
  2. ළඳරු මරණ අනුපාතය

යන නොදියුණු සෞඛ්‍ය ගැටළු බොහෝමයක් මෙරටින් තුරන් කිරීමේ ගෞරවය හිමිවන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියටයි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවීම

බොහෝ දෙනෙකු ඇය හමුවීමට අවධානය යොමු කරන්නේ දරු පිළිසිඳගැනීමක් සිදුවු පසුවයි. නමුත් විවාහයට පෙර විවාහයට සූදානම් වන දෙදෙනා ඇය හමුවිය යුතුයි. පළමු දරු ප්‍රසූතිය සිදුවීමට හොඳම කාලය, දරු ප්‍රසූතිය ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ක්‍රමවේදය, දරු පිළිසිඳ ගැනීමකින් පසු හමුවිය යුතු හොඳම වෛද්‍යවරුන් කවුද, ඉතා සාර්ථක හා වඩාත් සුදුසු උපත් පාලන ක්‍රම මොනවාද, දෙදෙනාටම මානසික වශයෙන් බලපාන ගැටළු යන්න පිළිබඳව නිවැරදි තොරතුරු ලබාගත හැකියි. විවාහයෙන් පසුවත් උපදෙස් ලබාගැනීම සඳහා ඇය හමුවීම වඩාත් සුදුසුයි.

යුවතියක් ලෙස ඔබ ලබාගත යුතු එන්නත් පිළිබඳව දැනුවත් වීම ද එහිදි සිදුවේ. කායික රෝග තත්ත්වයන් හඳුනාගැනීමේ පූර්ව රෝග පරීක්‍ෂාවකට යොමුවීම, පෝෂණ තත්ත්වය පිළිබඳව දැනුවත් වීම සහ සිරුරේ නිවැරදි ඊඵෂ අගය පවත්වාගෙන යාම යන කරුණු පිළිබඳව අවශ්‍ය තොරතුරු ද ලබාගත හැකි වේ.

ගර්භණී සමය ඇරඹීමත් සමඟම ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුවත් කිරීම වඩාත් සුදුසු වේ. අඩුම වශයෙන් සති 06 හෝ 08 කාලයක් තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවීම වඩාත් වැදගත් වේ. රසායනාගාර පරීක්‍ෂණ පිළිබඳව දැනුවත් වීම, කායික හා ප්‍රසව අවධානම් තත්ත්ව තක්සේරු කිරීම හා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම එහිදි සිදුවේ.

උපදංශ රෝගය හා නිරක්තිය සඳහා පූර්ව රුධිර පරීක්‍ෂණය, රුධිරයේ ඍය සාධකය පරීක්‍ෂා කිරීම, රුධිර ගණය පරීක්‍ෂා කිරීම, හෘද රෝග පරීක්‍ෂාව, ඇතුළු සායනික පරීක්‍ෂාවන් ද එමඟින් සිදුවේ. නිවසටම පැමිණ උපදෙස් ලබාදීම, කුස තුළ සිටින දරුවාගේ වර්ධනය හා පෝෂණය පිළිබඳව සොයා බැලීම, මනෝ සමාජීය සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීම ආදිය ද ඇයගේ සේවාවන් අතර වේ. මෙහිදි සැමියාට මෙන්ම නිවසේ අනෙකුත් සාමාජිකයන්ට වඩාත් වැදගත්වන උපදෙස් ලබාදීම ද සිදුවේ.

දරු ප්‍රසූතියෙන් පසු

දරු ප්‍රසූතියෙන් පසුව නිසි පරිදි මව්කිරි ලබාදීම, මාස හයෙන් පසුව අමතර ආහාර ලබාදීම, එන්නත් ලබාදීම, පවුල් සංවිධාන ක්‍රම හා සෞඛ්‍ය අධ්‍යාපනය යන කරුණු පිළිබඳව දැනුවත් කිරීම ද ඇගේ කාර්යයකි. දරුවාට වයස අවුරුදු 05 වනතුරු අවශ්‍ය උපදෙස් ලබාදීම හා දරුවාගේ මනෝ සමාජීය වර්ධනය සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම, දරුවා සමාජානුයෝජනය කිරීම හෙවත් සමාජගත කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් වීම, සිදුවේ.

සටහන මහේෂාණි මීගහපොළ

R.P.A නිලන්ති රාජපක්‍ෂ මහත්මිය,
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි,
මූලික රෝහල,
රාජාංගනය.