free stats

මගේ බාබාව නාවන්නම බෑ, නෑව්වොත් සෙම හැදෙනවා. මාසේකට දෙතුන් වතාවක් විතරයි නාවන්න පුළුවන්.“
”මේ දරුවාට හැමදාම හෙම්බිරිස්සාව කැස්ස ඒ නිසා නාවන්න බයයි”
”මම කෑමවලින් හරියට පරිස්සම් වෙනවා. මොකද සීතල මොනවා හරි කාලා කිරි දුන්නොත් බාබාගේ පපුවේ සෙම පිරිලා හුස්ම ගන්න අමාරුවෙනවා”

මේ වගේ දේවල් ඕනෑ තරම් අපේ මව්වරුන් කියනවා ඔබ කොතෙකුත් අසා ඇතිවාට සැක නැත. ළමා රෝග අතර ස්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝග ප්‍රධාන තැනක් ගනී. ස්වසන මාර්ගයේ ඇතිවන සමහර රෝග සුළු කොට තැකිය හැකිවා මෙන්ම ඇතැම් රෝග සදහා විශේෂ අවදනයක් යොමුකර කටයුතු කිරීම ඉතාමත් වැදගත්ය. ස්වසන මාර්ගයේ රෝග ඉහළ හා පහළ ස්වසන මාර්ගයේ ඇතිවන රෝග වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන්කර ඇත.

ඉහළ ස්වසන මාර්ගය වන නාසය නාස්කුහරය උගුර අයත්වේ. මෙම අවයව ආශ්‍රිතව ඇතිවන ආසාදන දරුවන් අතර බහුලව දැකිය හැකිය. පහළ ස්වසන මාර්ගයට අයත් අවයවයන් ලෙස ස්වසනාලය, ස්වාසනාලිකා, සහ පෙණහලු දැක්විය හැකිය. ස්වසන රෝගවලින් පීඩාවිඳින දරුවන්ගේ සංඛ්‍යාව ද වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නැත. මෙසේ මව්වරුන් බොහෝ දෙනෙකු තම දරුවා රැගෙන වෛද්‍යවරයා වෙත පැමිණෙන්නේ දරුවාට දින ගණනාවක් පුරා කැස්ස පවතින බව සදහන් කරමිනි. කැස්ස රෝගයක් නොව රෝග ලකෂණයකි. ස්වසන මාර්ගයේ ඉහළ හෝ පහළ කොටසේ ඇතිවන ආසාදනවල ලක්ෂණයක් ලෙස බොහෝ විට කැස්ස ඇතිවේ. ක්‍ෂය රෝගය නියුමෝනියාව ඇදුම වැනි රෝග වලදී රෝග ලක්‍ෂණයක් ලෙස කැස්ස ඇතිවේ.

මෙසේ කහින විට ඇතැම් දරුවන් සෙම පිටකරයි. එහෙත් ඇතැම් දරුවන් කහින විට දක්නට ඇත්තේ වියළි ස්භාවයක් පෙන්නුම් කරයි. දරුවන් මෙසේ පිටකරන සෙම කහ පැහැයෙන් හෝ සුදු පැහැයෙන් දිස්වේ. ඇතැම් දරුවන්ගේ සෙම සමග රුධිරය පිටවීමක් ද දක්නට ලැබේ. මෙසේ දවස පුරාම ඇතැම් දරුවන්ට කැස්ස පවතින අතර තවත් අයට රාත්‍රීකාලයේදී පමණක් කැස්ස ඇතිවේ. මෙසේ රාත්‍රී කාලයේදී පමණක් හටගන්නා කැස්ස ඇතැම් විට ඇදුම රෝගය හටගැනීමේ ලක්‍ෂණයක් ලෙස දැක්විය හැකිය.

මෙසේ කැස්ස පවතින අවස්ථාවන් වලදී දරුවාට උණ තිබේදැයි පරික්‍ෂා කිරිම ඉතාමත් වැදගත්ය. ඔබ වෛද්‍යවරයා වෙත දරුවා රෑගෙන ගිය පසුව කැස්ස ඇතිවන අවස්ථාවන් වලදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ තත්ත්වයන් නිවැරදිව වෛද්‍යවරයාට පැවසීමට වගබලා ගැනීම ඉතාමත් වැදගත්ය. මන්ද එවැනි රෝග ලක්ෂණ මඟින් රෝගය නිවැරදිව හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම වෛද්‍යවරයාට පහසුවක් වේ. ඇතැම් දරුවන් මද දුරක් දිව යන විට කැස්ස ඇතිවන්නේ නම් ඒ බව වහාම වෛද්‍යවරයාට පැවසීම ඉතාමත් වැදගත්ය. තවද සති දෙකකට වැඩි කාලයක් කැස්ස පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාරයන් සදහා දරුවා ඉක්මනින රැගෙන යාම ඉතාමත් වැදගත්ය.

එසේම බරවා රෝගය ආසාදන පරපෝෂිතයා ශරීරගතව පෙනහැල්ල ආශ්‍රිතව වර්ධනය වන අවස්ථාවන් වලදී ද රෝග ලක්‍ෂණයක් ලෙස කැස්ස ඇතිවේ. බැක්ටීරියා ආසාදනයක් නොමැති අවස්ථාවන් වලදී දරුවාට කැස්ස ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ දූවිලි ආඝ්‍රාණය වීම හා දුම්පානය කරන වැඩිහිටියන් ආශ්‍රයේ සිටීමය. විශේෂයෙන්ම දුම්පානය කරන වැඩිහිටියෙකු නිවසේ සිටින්නේ නම් කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට සෘජුවම එය අහිතරක ලෙස බලපානු ඇත. දරුවන්ගේ ස්වසන මාර්ගයේ ඇතිවන රෝග ගණනාවකට හේතුව වැඩිහිටියන්ගේ දුම්පානය යැයි මේ වන විට හෙලිදරව් වී තිබේ. යම් පුද්ගලයෙකු නිවස තුළ දුම්පානය කරයි නම් ඔහු වාතයට පිටකරන දුම වසර 20ක් පුරා එම නිවසේ බිත්ති මත නිරුපද්‍රිතව රැදෙමින් එම නිවසේ ජීවත්වන කුඩා දරුවන් ස්වසන රෝගීන් බවට පත්කරන බවට පර්යේෂණයන්ගෙන් පවා හෙලිව ඇත. නිතර වාහන ගමන් ගන්නා මාර්ගයක් අසල ජීවත් වන දරුවන්ට හා සුරතලට බළලුන් බල්ලන් කුරුල්ලන් සාවුන් වැනි සුරතල් සතුන්ව අතගාමීන් සතුන් සමග නිතර ගැටෙන්නේ නම් එම සතුන්ගේ ලොම් හා ලෝම ආශ්‍රිතව පවතින දූවිලි දරුවාට ආඝ්‍රහණය වීම හේතුවෙන් ස්වසන රෝගයන් ඇතිවේ.

බොහෝ දරුවන් තුළ දක්නට ලැබෙන සෙම්ප්‍රතිශ්‍යාව ඉහළ ස්වසන මාර්ගයේ ඇතිවන ආසාදනයක් හේතුවෙන් හටගන්නා රෝගයකි. ඒ සෙම්ප්‍රතිශ්‍යාව දරුණු රෝගයක් නොවුව ද එහි අතුරුපල ඇතැම් විට භයානක වන හෙයිනි. සෙම්ප්‍රතිශ්‍යාව සෑදීමට බලපානු ලබන්නේ ”රයිනෝ ” නම් වෛරසයයි. මෙම වෛරස ආසාදනය සුව නොවී දින දෙක තුනක් පවතින විට බැක්ටීරියා ආසාදනයක් ඇතිවිය හැකිය. සෙම්ප්‍රතිශ්‍යාවේදී උණ හිසරදය සොටු දියර ගැලීම කිවිසුම්යාම කැස්ස වැනි රෝග ලක්ෂණ මතුවේ. ඇතැම්විට උණ පවතින අවස්ථාවන්ද තිබේ. සෙම්ප්‍රතිශ්‍යාව පිළිබදව කිසිවිටකවත් සරලව නොසිතිය යුතුය. දරුවාට උගුරේ ආසාදනයක් ඇතිවී ආහාර ගැනීම දියරවර්ග පානය වෙනදාට වඩා අඩුනම් ඇගපත රිදීමක් ඇඟපතේ වේදනාවක් ඇතිබව පෙනේ නම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකිරීම වැදගත්ය.

මෙසේ ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාවකදී ප්‍රතිජීවක ඖෂධ ලබාදීම අවශ්‍ය නොවේ. දරුවාට උණ ඇත්නම් දරුවාගේ බරට අනුව නියමිතව පැරසිටමෝල් මාත්‍රාව ලබා දීම වැදගත්ය. මෙවැනි අවස්ථාවන් වලදී දරුවාට විවේකය ඉතාමත් වැදගත්ය. ඒ අනුව දරුවාට සෙල්ලම් කිරීමට ඉඩ නොදීම මව්වරුන්ගේ වගකීමකි. සෙම්ප්‍රතිශ්‍යාවකදී වෛරස් ආසාදනයට අමතරව බැක්ටීරියා ආසාදනයක් ද ඇති වුවහොත් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඉතාමත් වැදගත් වන්නේය. විශේෂයන්ම කුඩා දරුවන් අතර නිතරම සෙම්ප්‍රතිශ්‍යාගතිය ඇතිවන්නේ ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩුකම හා පෝෂණ ඌණතාවන් හේතුවෙන් ය.

සෙම්ප්‍රතිශ්‍යාවකදී දරුවන්ට දැනෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ හුස්ම ගැනීමට ඇති අපහසුවයි. මෙවන් අවස්ථාවලදී දරුවා වහාම වෛද්‍ය ප්‍රතිකාරයන් සදහා යොමුකිරිම ඉතාමත් වැදගත්ය. සෙම සහිත කැස්ස දරුවාට පවතින විට සිරප් වර්ග නොදිය යුතුය. සෙම පිටව යාමට ඉඩදීම ඉතාමත් වැදගත්වන බැවිනි. අධික ලෙස කැස්ස පවතින අවස්ථාවන් වලදී පමණක් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යාම සුදුසුය. එවන් විටකදී වෛද්‍යවරයා දරුවා පරික්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදේ.

                        දීපාල් පෙරේරා
                        ළමා රෝග විශේෂඥ වෛද්‍ය
                        රිජ්වේ ආර්යා ළමා රෝහල

                        සටහන ශ්‍රියානි විජේසිංහ