free stats

අපි හැමෝටම ජීවිතේ විවිධ කාල පරිච්ඡේදවලදි සැබෑ කරගත යුතු සිහින, ජයගත යුතු ඉලක්ක තිබෙනවා. තනිකඩව සිටි කාලයේදීට වඩා විවාහ දිවියට ඇතුළු වූ පසු කාන්තා පුරුෂ දෙපාර්ශවයේම වගකීම් සහගත බව වැඩිවෙන බව ඔබ හොඳින්ම දන්නා කරුණක්. විවාහයෙන් පසු දෙදෙනාගේ අනාගත ඉලක්ක සපුරාගැනීමේදි වඩාත්ම සැලකිලිමත් විය යුතු සාධක වෙන්නෙ ඔබ දෙදෙනාගේ කැදැල්ලට අලු‍තෙන් එකතුවන සාමාජිකයන්ගේ සම්ප්‍රාප්තිය. ඕනෑම විවාහක යුවලකගේම වගේම ඔවුන්ගේ වැඩිහිටියන්ගේද බලාපොරොත්තුව වෙන්නෙ පුංචි දරුවකුගේ ආගමනය.

නමුත් වර්තමානය වන විට අපගේ අවශ්යතා වෙනස්, ඒ සඳහා කැපවිය යුතු අකාරය අතීතයට වඩා වෙනස්. අප ජීවත්වෙන්නෙ කාර්යබහුල ජීවන රටාවක් සහිත සමාජයක. අතීත වැඩිහිටි පරම්පරාවල මව්වරු ගෘහණියක් ලෙස කටයුතු කරමින්, රැකියාවක නිරතව මුදල් උපයන තම සැමියා වෙනුවෙන් තම යුතුකම් ඉටු කරමින් නිවසට වී තම දරුවන් බලාගත්තත් වර්තමානය වන විට පවතින තරඟකාරී සමාජ ක්‍රමයත් සමඟ එසේ ජීවත්වීමට කාන්තාවකට අපහසුයි. මුදල් ඉපැයීමේ කාර්ය පුරුෂ පාර්ශවයට පමණක් සීමාකොට කාන්තාවට නිවසට වී නිවසේ වැඩ කටයුතුවල නිරතවෙමින් දරුවන් බලාගැනීමට නම් ඇයගේ ස්වාමි පුරුෂයාට ඉහළ වැටුපක් හිමිවිය යුතුයි.

නමුත් වර්තමානයේ භාණ්ඩ හා සේවාවල මිළ ගණන් අනුව බොහෝ දෙනෙකුට ලැබෙන වැටුප පවුලක් නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන නිසා කාන්තාවන් බොහෝ පිරිසක් රැකියාවක නිරත වෙනවා. ඒ වගේම අතීතයට වඩා දියුණු අධ්‍යාපන ක්‍රමයක් පවතින නිසා කාන්තාවන් රැකියාවක් කළත් නොකළත් ඉගෙනීමෙන් ඉදිරියට යෑමේ ප්‍රවණතාවයක් දකින්න පුළුවන්. මේ සියළු කාරණා නිසා විවාහයෙන් පසු කාන්තාවක් පෙර සිටියාට වඩා කර්යබහුල සහ වගකීම් සහගත තත්වයකට නිතැතින්ම පත්වෙනවා.

නිවසේ වැඩ කටයුතු, බිරිඳක් වශයෙන් සැමියාට ඉටුවිය යුතු යුතුකම්, දියණියක්, සහෝදරියක් වශයෙන් තම පවුලට ඉටුවිය යුතු යුතුකම්, රාජකාරි ස්ථානයේ වැඩ කටයුතු, උසස් අධ්‍යාපනයේ නිරත වේ නම් ඒ සම්බන්ධ වගකීම ආදිය නිසා කාන්තා පාර්ශවය අධික කාර්යබහුල තත්වයකට වගේම ආතතියකට පත්වෙන බව රහසක් නෙමෙයි. මේ සියල්ල අතරතුර ඔබට මවකගේ භුමිකාවට පණ පොවන්න සිදුවෙනවා කියන්නෙම ඔබට අලු‍ත් අත්දැකීමක් වගේම අධික ලෙස වගකීම් ඉහළ යාමක්. මේ සියලු‍ කටයුතු අතර බොහෝවිට මව්වරුන්ට මඟ හැරෙන්නෙ ඇයගේ දරුවා බව මේ ලිපිය ඉදිරියට කියවගෙන යනකොට ඔබටම වැටහේවි.

පුංචි දරුවකු ඉබේ හැදෙන්නට ඉඩ නොදී ඔබ විසින් දරුවා මෙහෙයවිය යුතුයි. නිසි මඟ පෙන්වීමක් නොමැති දරුවන් වයසින් වැඩෙත්ම ජීවිතය වරද්දා ගන්නා අයුරු ඔබ ප්‍රවෘත්ති හරහා ඕනෑතරම් දැක ඇති.

ඔබේ දරුවා එලෙසන් ජීවිතයෙන් පරාජය වෙනවාට ඔබ කැමතිද? පිළිතුර ‘නැත‘ කියන එක නේද? ඕනෑම මවක් පියෙක් කැමති තම දරුවා දිනෙක ජීවිතය ජයගන්නා අයුරු දැකීමටයි. එයට අඩිතාලම දැමිය යුත්තේ දරුවා කුස තුළට පැමිණි දා පටන්මය. එම නිසයි ඔබ ගැබ්ගත් දින සිට සතුටින් කල් ගෙවිය යුත්තේ. තම මවගේ සතුට පුංචි පැටියා නිරෝගීමත් කරන්න හේතු සාධකයක් බව ඔබ දැනටමත් දන්න කරුණක්. ඒ වගේම දරුවා මේ ලෝකයට බිහිවූ දා පටන් ඔබ විසින් දරුවා නිසියාකාරව මෙහෙයවිය යුතුයි. දරුවාගේ මුල් අවුරුදු තුනක කාලය කියන්නෙ මොළයේ වර්ධනය 80%කින් පමණ වර්ධනය වී යම් යම් දේවල් ඉගෙනගැනීම සඳහා ඔහු උත්සහ කරන කාලයයි. දරුවා කතා කරන්න පටන්ගත් විට කාලයත් සමඟ ඔබෙන් විවිධාකාරයෙ ප්‍රශ්න අසමින් ඒ වගේම ඔබගේ චර්යාවන් අධ්‍යනය කරමින් දරුවා යම් යම් දේ ග්‍රහණය කරගැනීමට උත්සහ කරනවා. ඒ අවස්ථාවලදී ඔබ කාර්යබහුල නිසා ඔබ දරුවා අසන පැනයකට වුවමනාවට එපාවට පිළිතුරු දෙනවානම් එයින් දරුවා කනස්සල්ලට පත්වෙනවා. ඔබ දිගින් දිගටම දරුවා ඔබට කරදරයක් ලෙස සලකා ඔබේ ඉගෙනීම් හෝ රාජකාරි කටයුතුවලට නිවසේදීත් මුල් තැන දී කටයුතු කරන්නේනම් ඔබේ දරුවාට නිරන්තරයෙන් ලක්වන්නට සිදුවන්නේ ප්‍රතික්‍ෂෙප කිරීම්වලටයි. එයින් දරුවාගේ පෞරුෂය පවා කඩාවැටීමට ලක්විය හැකිය. දරුවාට අවශ්‍ය වන්නේ ප්‍රශ්න අසමින් ඉගෙනීමටයි. මව හෝ පියා එම අවස්ථාවලදී

අම්මා වැඩක් ඔයා එතකම් සෙල්ලම් කරන්න‘

වැනි දේ පවසා හෝ ඕනවට එපාවට පිළිතුරු දීම හෝ දරුවාව ඔබ අසලින් ඈත්කිරීම හෝ නිසා සිදුවන්නේ ඔබගේ හැසිරීම් නිසාම ප්‍රශ්න අසමින් ඉගෙනීමට පසුබෑමක් දරුවා තුළ වර්ධනය වීමයි. ඉන්පසු පාසල් අධ්‍යාපනයට යොමුවූ පසුද දරුවා ප්‍රශ්න අසමින්, විචක්ෂණශීලීව සිතමින් ඉගෙනීම කරනු වෙනුවට ගුරුවරයා උගන්වන දේ පමණක් අසා සිට එය කටපාඩම් කර ඉගෙනීමට යොමුවිය හැකිය. එම නිසා ඔබගේ දහසකුත් රාජකාරි අතර දරුවාට ප්‍රමුඛතාවය දෙන්න අමතක කරන්න එපා.

එලෙසම ඉපදී මුල් මාස හයෙන් පසු මව්කිරිවලට අමතරව ආහාරවලට දරුවා හුරුකිරීමේදී දරුවාට වෙහෙසක් වන අන්දමින් එය සිදුකිරීම බොහෝ මව්වරු විසින් කරන වැරදි ක්‍රියාපිළිවෙතක්. ඔබගේ කාර්යබහුලත්වය නිසා බලෙන් මෙන් දරුවාට කවන්නට යාමේදී දරුවාට ආහාර එපාවීමට ඇති හැකියාව වැඩියි. එලෙසම දරුවාට එම බලකිරීම නිසාම ආහාර ගැනීම ප්‍රතික්‍ෂෙප කිරීමට ඔහු වැඩි නැඹුරුතාවක් දක්වනවා. එහිදී දරුවාට බලකරනවා වෙනුවට ඔබ දෙපළ ආහාර ගන්නා වෙලාවට සතුටෙන් දරුවා සමඟ ආහාර ගන්න උත්සහ කරන්න. ඔබ දෙපල සතුටෙන් එම අවස්ථාවෙ සිටිනු දැකීමත් දරුවාට ප්‍රීතියක් ගෙනදේවි. පසුව දරුවාද ඔබව අනුගමනය කරමින් සතුටෙන් ආහාර ගන්නට හුරුවනවා. එසේම දරුවාට තනියම ආහාර ගැනීමට හුරු කිරීමේදී සැමවිටම කෑමට පෙර අත සෝදන්න, කෑම කන අතරතුර නිහඬව කෑම කන්න,කෑමෙන් පසු අත සෝදන්න ආදි යහපත් සිරිත් කියාදෙන්න.

ඔබ දෙදෙන කෑම මේසයේදී හැසිරිය යුත්තේ දරුවාට ආදර්ශමත් වන අයුරින්. එම කාල සීමාව තුළ පවුල පමණක් ඔබේ රාජකාරිය විය යුතුයි. ඔබගේ ජංගම දුරකතනය භාවිතයෙන් පසෙකින් තැබීමට තරම් ඔබ පරිත්‍යාගශීලි විය යුත්තේ එබැවිනි. කෑම ගන්නා අවස්ථාවේදී මව හෝ පියා දුරකථනයේ සිටිනු දකින දරුවාද පසුකාලීනව හුරුවන්නේ එයටයි. ඔබ ආදර්ශමත් ලෙස කෑම ගන්නා අතරතුර හැසිරේනම් දිනෙක දරුවාද ආදර්ශයට ගන්නේ සතුටින් පිරුණු කෑම මේසයක අත්දැකීම මිස දුරකථනය පාවිච්චි කරමින් ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින්,කෙටි පණිවිඩවලට ප්‍රතිචාර දක්වමින් ගතකරන ආතතිය පිරුණු කෑම මේසයක අත්දැකීම නොවේ. තවද දරුවා ආහාර ගැනීමට මැළිකමක් දක්වන්නේනම් කිසිවිටක ඔහුට/ඇයට ජංගම දුරකථනයේ ඇති ගේම් එකක් හෝ වීඩියෝ එකක් හෝ නැරඹීමට ඉඩ දී ආහාර කවන්නට උත්සහ ගන්න එපා. ඔබට ඇති ඊළඟ රාජකාරියක් වෙනුවෙන් දරුවාට ඉක්මණට කැවීම සඳහා එලෙස ගන්නා උත්සහයේදී දරුවා ආහාරය ගැන සැලකිලිමත් නොවී වීඩියෝවට හෝ ගේම් එකට ඇබ්බැහි වී ආහාර ගන්නා අතර, එයින් සිදුවන්නේ දරුවා ගේම්වලට ඇබ්බැහිවීම යි. එවිට ඔහු පසුකාලීනව පවා ගේම් එකක් ප්ලේ කරන අතරතුර ආහාර ගැනීමට හුරුවේ. එයින් බිහිවන්නේ කිසිම දෙයක් පිළිබඳව අවධානයකින් තොරව වැඩෙන දරුවෙකි.

තවත් වැදගත් කරුණක් වන්නේ දරුවා ඉදිරියේ අනෙක් අවස්ථාවලදී ඔබ දෙදෙනාගේ හැසිරීමයි. රාජකාරි අවසන් වී නිවසට පැමිණ එහි වූ ආතතිය හිතේ තබාගෙන ඔබ දෙදෙනා බහින්බස් වුනහොත් එය දකින දරුවා කුඩා කල සිටම පවුල් සංස්ථාව පිළිබඳ ආතතියකින්, බියකින්, කලකිරීමකින් පසුවේ. ඔබ දෙදෙනාගේ ගැටළු කිසිවිටක දරුවන් ඉදිරියේ සාකච්චා නොකළ යුතුයි. දරුවන්ගේ ලෝකය සතුටෙන් පිරුණක්. දෙමාපියන් ලෙස ඔබ දෙදෙනා කළ යුත්තේ ඔවුන්ගේ ලෝකයට ගොස් හැකි තරම් වෙලාවක් ඔවුන් සමඟ සතුටෙන් ගත කිරීමයි. වෙනත් අය ගැන අපහාසාත්මකව කතා කිරීම ආදිය කිසිවිටකත් දරුවන් ඉදිරියේ පැවසීම සුදුසු නැත. එසේ වුවහොත් දරුවන්ද අනෙකාගේ වැරදි දැකීමට සහ අපහාස කිරීමට පෙළඹෙනවා.

සමහර වෙලාවට පුංචි දරුවන චිත්‍රයක් ඇඳ එය ලස්සනදැයි ඔබෙන් අසනවා විය හැකියි. එවන් අවස්ථාවල ඔබ කුමන වැඩක නිරත වුනත් දරුවාට පිළිතුරු දීමේදී දරුවා නොසලකා හරිමින් හෝ නිසි ඇගයීමකින් තොරව පිළිතුරු දීම සුදුසු නැත. සමහර විට ඔබ ආහාර පිසින වෙලාවක, රාජකාරි කටයුත්තක නිරතවෙන වෙලාවක, ඔබගේ උසස් අධ්‍යාපන කටයුත්තක නිරත වන වෙලාවක දරුවා පැමිණ චිත්‍රය පෙන්වා ඔබෙන් ලැබෙන ප්‍රතිචාරය බලාපොරොත්තුවනවා විය හැකියි. දරුවා එසේ කරන්නේ ඒ පිළිබඳ ඇගයීමක් ඔහුට අවශ්‍යනිසා මිස ඔබගේ කටයුත්තට බාධාකිරීමට නොවේ. දරුවකු කියන්නේ මනස වැඩෙමින් පවතින කෙනෙකු නිසා ඔබගේ වැඩ කටයුතුවලට බාධාවක්ද නැද්ද යන්න තේරුම්ගැනීමට හැකියාවක් ඔහුට නොමැත. එම නිසා එම අවස්ථාවලදී සැරෙන් කතාකොට දරුවා එතනින් ඉවත් කිරීමට කිසිසේත්ම කටයුතු කිරීම සුදුසු නැත. එයින් ඔහු ප්‍රතික්‍ෂෙප වුණු මානසිකත්වයකින් වැඩෙන්නට පටන්ගන්නවා. විනාඩියක් දෙකක් වැය කර ඔහුගේ හැකියාව අගය කරන්න. ඒ වගේම ඔබත් වැඩක බව කරුණාවෙන් සුහදව තේරුම් කර දෙන්න. එසේ නොකර දරුවාට ඕන විදියට චිත්‍රයක් ඇඳ පාඩුවේ හැදෙන්නට අතහැර දමන්න එපා.

හැකි සෑම වෙලාවකම දරුවා සමඟ සෙල්ලම්කරන්න, ආදර්ශමත් ගීතයක්, කතන්දරයක් කියා දෙන්න උත්සහ කරන්න. එයින් දරුවාගේ සිතුවිලි හැඩගස්වන්න. කුඩා ළමුන් සඳහා වන ගීත සහිත සීඩී තැටියක් ගෙනැවිත් එය වාදනය වන්නට ඉඩ හැර දරුවා එය අසා සිටීයැයි බලාපොරොත්තුවන්නට එපා. දරුවා එයා අසා සිට ගායනා කරන්නේ එය ඔහුට ඇසෙන නිසයි. පුංචි පැළයක් විශාල ගසක් බවට පළ දරා වැඩෙන්නේ එයට වතුර,හිරු එළිය,පෝෂක ආදිය නිසියාකාරව ලැබේනම් පමණි. එම නිසා දරුවා සමඟ එකතු වී ගීත කියාදෙන්න. ගායනා කරන්න. එවිට දෙමාපියන්ගේ ආදරයත් මුසුව ඉගෙන ගන්නා ඔහු දිනෙක බබළන චරිතයක් බවට පත්වේවි.

සැමවිටම ඔබේ කාර්යබහුල දින චර්යාව තුළ ඉඩක් වෙන් කරගෙන දරුවා අගය කරන්න, දිරිමත් කරන්න. එවිට ඔහු පසුගාමී චරිතයක් නොවී මනා පෞරුෂයකින් හෙබි දරුවකු බවට කැපී පෙනෙන ලෙස වර්ධනය වේ. දරුවා සමඟ කාලය ගත කිරීම සඳහා ඔබ දෙදෙනාගේ රාජකාරි කටයුතු ආදිය පිළිබඳවත් සැලකිලිමත් වෙමින් කාල සටහනක් දළ වශයෙන් සාදා ගැනීම වැදගත්වේවි. එවිට දරුවා නිර්මාණශීලී බුද්ධිමත් දරුවකු බවට වැඩෙන අතර ඔබගේ ඉලක්කවලට යාමටද ශක්තිමත් බැඳීමක් වර්ධනය කරගෙන ආදර්ශමත් පවුලක් ලෙස ජීවත්වීමටද ඔබට හැකියාව ලැබෙනු ඇත.

සටහන ප්‍රියාශා හෙට්ටිහේවා