අපි දරුවන්ට මොන තරම් ආදරේද? ඒ ආදරේ මෙන්න මෙච්චරයි කියලා අපිට කියන්න බැහැ. තනි දරුවෙක් එහෙමත් නැත්නම් එක දරුවෙක් ඉන්න ගෙවල්වල මේ තත්ත්වය වඩාත් හොඳින් දකින්න ලැබෙනවා. එකම දරුවා නිසා හුඟක් වෙලාවට දරුවට සැර කරන්න ගහන්න බනින්න වුණත් දෙමව්පියෝ කැමති නැහැ. එකම දරුවානේ තමන්ගේ දරුවානේ කියලා හුඟක් අම්මලා මේ දරුවාව ආදරය විතරක් දිලා හදනවා. නමුත් දරුවෙකුට ආදරය විතරක් ප්‍රමාණවත් ද? ඇත්තම කිව්වොත් දරුවෙකුට ආදරය තුළින් ලැබෙන සුන්දර අත්දැකීම් වගේම දුක තරහව වගේ අත්දැකීම් අත්‍යවශ්‍ය වෙනවා. ඒ තුළින් දරුවා සමාජය පිළිබඳව ඉගෙන ගන්නවා. තනි දරුවෙක් ඉන්න පවුලක ඒ දරුවා හිතුවක්කාර වෙන්නේ, කණ්ඩායම් හැගීමෙන් තොරව කටයුතු කරන්නේ මෙන්න මේ කියන අධික ආදරය තුළ තනිව ජීවත් වීම සහ බෙදාහදා ගැනීමේ නොහැකියාව නිසයි.
ඒ අයට පිරිසක් සමඟ එක්ව සිදු කරන කාර්යයන් බොහෝ සෙයින් අපහසු වනවා. නිවස තුළ ඇති පරිසරයේ සහෝදර සහෝදරියන් නොමැතිව තනිව ජීවත් වු නිසා මේ දරුවන්ට කණ්ඩායම් වශයෙන් සිදුකරන කාර්යයන් සඳහා හුරු වීම සරල වන්නේ නැහැ. පවුලක් වශයෙන් සාමූහික වීමේ අත්දැකීම් දරුවා තුළ නැති නිසා සමහර අවස්ථාවලදි දරුවා කම්පනයට පත්වෙන්න පුළුවන්. විශේෂයෙන් කණ්ඩායම් ක්‍රියාකාරකම්වල නිරත වෙද්දි අදහස් මතිමතාන්තර පළ කිරීම අතින් තනි දරුවන් සිටින්නේ විශාල පසුබෑමක. මේ දරුවන් පවුල තුළ තනිව හැදුනු නිසා පිරිසක් ඉදිරියේ ප්‍රතික්ෂේප වීම ඒ අයට පුරුදු නැහැ. ඉතාම හොඳ අදහසක් වුණත් ඉදිරිපත් කරන්න මේ අය පසුබට වෙන්නේ අන්න ඒ බිය නිසායි.
තනි දරුවෙක් සිටින පවුල් වල ඒ දරුවා වෙනුවෙන් ලැබෙන වරප්‍රසාද ප්‍රමාණය ඉතාම වැඩියි. සමහර වෙලාවට කෑම එක වතුර ටික පවා ලඟට ගෙනත් දෙන්න තරම් දෙමව්පියන්ගේ ආදරය බලවත් වන අවස්ථා දකින්න ලැබෙනවා. නමුත් සමාජයේ දි දරුවාට කිසිසේත්ම මෙවැනි වරප්‍රසාද හිමි වන්නේ නැහැ. ආයතන, රැකියා කරන ස්ථානවලදි බොහෝ විට අප සියලුම දෙනාට සියලු කාර්යයන් තනිව කරගන්නට සිදුවන අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස විවාහයෙන් අනතුරුව ගෙවන ජීවිතය බොහෝ විට වගකීම් බහුල කාලසීමාවක් බව අපි කවුරුත් දන්නවා. සමහර විට කාර්ය බහුල සැමියෙකුගේ බිරිඳක් නම්, වගකීම් දරන්නට අකැමැති බිරිඳකගේ සැමියෙකු නම් ඒ ඒ පුද්ගලභාවයන් අනුව හැඩගැසෙන්නට සිදුවනවා. එවැනි පුද්ගලභාවයන් තුළින් නිවසේදි දෙමව්පියන්ගෙන් ලැබුණු වරප්‍රසාද බලාපොරොත්තු වන්නට බැහැ.
සහෝදර සහෝදරියන් සහිත පවුලක හැදී වැඩෙන දරුවා ඉතාම පහසුවෙන් එකිනෙකා තුළ පවතින මෙවැනි ලක්ෂණ හඳුනාගන්නවා. නමුත් තනිව හැදී වැඩුණු දරුවෙක් සියලු වරප්‍රසාද බුක්ති විදින දරුවෙක්ට මෙවන් අවස්ථා විද දරාගන්නට අපහසුයි. මෙවැනි දරුවන් නිරන්තරයෙන් අනෙක් පුද්ගලයන්ගෙන් වරප්‍රසාද බලාපොරොත්තු වන නිසා ඒ හා සමානව නිරන්තරයෙන් වේදනාවට පත්වනවා. “එයා මට කිසිම උදව්වක් කරන්නේ නැහැ. මම ම තනියම හැමදේම කරනවා” වැනි අදහස් මතුවන්නේ එවැනි දරුවන් තුළයි. “අපෝ අපේ අයියත් ඔහොම තමයි මට නම් ඕවා හොඳට පුරුදුයි” වැනි අදහස් දරන්නේ සහෝදර සාහෝදරියන් සමඟ ජීවත් වුණු මවගෙන් පියාගෙන් එතරම් වරප්‍රසාද හිමි නොවුණු දරුවන් පමණයි.
උපදින සෑම දරුවෙක්ම යම් කාල සීමාවකදි දෙමව්පියන්ගෙන් ඈත් වනවා. ඉන් අනතුරුව ඔවුන්ට ජීවත් වන්නට සිදුවන්නේ සාමාන්‍ය සමාජයෙයි. මේ සමාජය තුළ ස්වාධීන වීම එතරම් පහසු නැහැ. මේ නිසා දරුවා මුල් කාලයේ පටන්ම ස්වාධීන දරුවෙක් ලෙස නිර්මාණය කළ යුතුයි. දරුවා ස්වාධීන කිරීම සඳහා ඇති මූලිකම පියවර වන්නේ තීරණ ගන්නා අවස්ථාවලදි ඔහු ඒ සඳහා සම්බන්ධ කරගැනීමයි. “පුතේ ඔයා මේ පොතේ ඔයා කැමති චිත්‍රයක් අඳින්න. කැමති අකුරු ලියන්න” වගේ පුංචි පුංචි තීරණ තනිවම ගන්නට ඉඩ දීම තුළින් දරුවා ස්වාධීනව සිතන්නට ඉගෙන ගන්නවා. ගමනක් යන්නට සූදානම් වන අවස්ථාවක ඒ සඳහා සුදුසු ඇඳුම තෝරාගන්නට ඉඩ දීම වැනි කාර්යයන් තුළින් දරුවා තනිව තීරණ ගන්නට ඉගෙන ගන්නවා. ඒ තුළින් දරුවා අත්දැකීම් ඉගෙන ගන්නවා. මෙවැනි දරුවන් තනි දරුවන් ලෙස වුණත් පිරිසක් අතර කැපී පෙනෙන්නට ඉගෙන ගන්නේ මේ නිසයි.
ඒ වගේම තනි දරුවන් ලෙසින් සමාජයට අවතීර්ණ වීමෙන් අනතුරුව ස්වාධින ලෙස සිය කාර්යයන් සාර්ථක කරගත් දරුවන් සිටිනවා. මේ සඳහා බලපාන්නේ ඒ දරුවන්ගේ නිවෙස් ඒ ආශ්රිත පරිසරයෙන් ලබාගන්නා අත්දැකීම්. උපතින් ලැබෙන ජානවලට වඩා නූතන ලෝකයේ දරුවා ගතිගුණ හැඟීම් නිර්මාණය කරගන්නේ අවට සමාජය තුළින්. “මට එකයි ඉන්නේ ඒ නිසා මම එයාව හරියට හදනවා” කියලා හිතන දෙමව්පියන් වගේම “එක දරුවා නිසා ගහන්න බනින්න බෑ” කියලා හිතන දෙමව්පියනුත් ඉන්නවා. නමුත් මුලින් කිව්වා වගේ මේ අත්දැකීම් සියල්ල දරුවාට අවශ්‍යයි. ප්රතික්ෂෙප වීම්, දුක වේදනාව, පරාජය වැනි අත්දැකීම් දරුවාට අත්‍යාවශ්‍යයි. මේ තුළින් දරුවා නිර්මාණය වනවා. අප ජීවත් වන සමාජයේදි අප නිරන්තර පළිගැනීම් වේදනාවන්ට ලක්වනවා. එවැනි අවස්ථාවලදි සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලැබෙන්නේ මුල් කාලීනව එවැනි අත්දැකීම් ලැබු දරුවන්ට පමණයි.
තනි දරුවෙක් වුණත් පිරිසක් සමඟ හැදුනු දරුවෙක් වුණත් වර්ථමාන සමාජයට ගැලපෙන්නේ හොඳින් තෙම්පරාදු වුණු දරුවෙක් පමණයි. ඒ නිසා දරුවාගේ සියලු කාර්යයන් කරදීම හා අධික ආදරය දීම වෙනුවට ස්වාධීන දරුවෙක් නිර්මාණය කිරීම වඩාත් වටිනවා. කුඩා කාලයේ පටන්ම තනි කාමරයක නින්දට යාමට සැලැස්වීම, තනිව ආහාර ගැනීමට සැලැස්වීම, වැනි කාර්යයන් මඟින් තනිව නැගී සිටින්නට හැකි ධෛර්යවන්ත දරුවෙක් බිහිවනවා.
මනෝ ප්‍රවර්ධන උපදේශිකා
රත්නා පුෂ්ප කුමාරි
සටහන චාපා හංසිනි ආටිගල