ගර්භණීභාවය පිළිබඳව කතා කරන සෑම විටම අපිට ඇසෙන දෙයක් තමයි නිසි කළ වයසට මව්පියන් විය යුතුයි කියන කාරණය. ඒ අනුව මව්පදවිය සඳහා වයස අවුරුදු 22 ත් 33 ත් අතර කාලය වඩාත් සුදුසුයි කියලා වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. වයස අවුරුදු 35ට පෙර මෙන්ම 35 න් පසු ගැබ් ගැනීම පිළිබඳව කතා කළත් අඩු වයස් ගැබ් ගැනීම් ගැන අපි අවධානය යොමු නොකරන්නේ අවට බොහෝ රටවල මෙන් මෙරට අඩු වයස් විවාහයන් නීතියානුකූලව සිදු නොවන නිසයි. නමුත් ඉතාම ඈත ගම්බද ප්‍රදේශ වල දැඩි ආර්ථික දරිද්‍රතා සහිත පවුල්වල සමහර අවස්ථාවලදී මෙවන් විවාහයන් සිදුවනවා. විවාහ වීමේ වයස කුමක් වුවත් දරුවන් පිළිසිඳ ගැනීමේ දී නිසි වගකීම් කොටසක් තිබෙන බව අප අමතක නොකල යුතුයි.
දරු පිළිසිඳ ගැනීමක් සඳහා කාන්තාවක් කායිකව මානසිකව හා ආර්ථිකව සූදානම් වීම පිළිබඳව අප මෙහිදි විශේෂයෙන් කතා කළ යුතුයි. එසේම විවාහ නොවී සිදුවන ලිංගික සම්බන්ධතාවලදී කොන්ඩමයක් භාවිත නොකිරීම නිසා සිදුවන උපත් පිළිබඳ වගකීමක් නොමැති බැවින් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීමත් අත්‍යාවශ්‍යයි.
කාන්තාවක් මල්වර වීමෙන් අනතුරුව ඇය ජීව විද්‍යාත්මකව පිළිසිඳගැනීමකට සූදානම් වනවා. ඇය මල්වර වන වයස කුමක් වුවත් එයින් අනතුරුව ලිංගික එක්වීමක් සිදුවුවහොත් ඇයට පිළිසිඳගැනීමක් සිදුවිය හැකියි. නමුත් මව්පදවිය යනු එක්තරා වගකීමකි. දරුවෙක් ප්‍රසූත කිරීම කෙසේ සිදුවුවත් වඩාත්ම වැදගත් කාරණය වන්නේ දරුවා හොඳ සමාජ ජීවියෙකු ලෙස නිර්මාණය කරන්නේ කෙසේද යන්නයි. මේ සඳහා මවට මෙන්ම පියාට වැඩි වගකීමක් පැවරෙනවා. ඒ සඳහා මූලිකව ඒ දෙදෙනාට හොඳ සමාජ අවබෝධයක් තිබිය යුතුයි. මේ සඳහා නිසි අධ්‍යාපනය ලැබීම, යම් කිසි වෘත්තියක නිරතවීම ආදී කරුණු සම්පූර්ණ විය යුතුයි. එවිට දරුවෙක් රැකබලා ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය පාරිසරික, සමාජීය දැනුම ලැබී තිබෙනවා.
දරුවෙක් පිළිසිඳ ගැනීම සඳහා අත්‍යවශ්‍ය තවත් බොහෝ දේ තිබෙනවා. මුලින්ම දරුවෙක් බිහිකිරීම සඳහා හොඳ සහකරුවෙක් සමග විවාහ දිවියට ඇතුළත් විය යුතුයි. එහිදි තමා මෙන්ම සහකරුවාත් ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමක සිටීම වැදගත් වනවා. එමෙන්ම දරු පිළිසිඳ ගැනීමකට මූලික සැලැස්මක් අවශ්‍යයි. සමහර අවස්ථාවලදී දෙදෙනා මධු සමය ගත කළ පළමු ලිංගික එක්වීමේ දී දරුවන් පිළිසිඳගන්නට පුළුවන්. එවැනි අවස්ථා අපිට මඟහරින්න බැහැ. ඒ සඳහා කළයුතු එකම ප්‍රතිකර්මය වන්නේ විවාහයට මාස තුනකට පෙර සිට පෝලික් ඇසිඩ් ලබාගැනිම සහ විවාහයට පෙර ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබාගැනීමයි. එවැනි හදිසි අවස්ථා හැරෙන්නට වෙනත් අවස්ථාවකදී දරුවන් පිළිසිඳ ගැනීමට පෙර ඒ සඳහා සූදානම් වීම වැදගත් වනවා.
බොහෝ දෙනෙක් අඩුවයසෙන් ගැබ් ගන්නේ ඔවුන්ට දරුවන් අවශ්‍ය නිසාම නොවේ. එය සාමාන්‍ය ලිංගික සම්බන්ධයක ප්‍රතිපලයක් වීමට වැඩි ඉඩක් තිබෙනවා. එවැනි සබධතාවයක අවශ්‍යතාවය දරුවන් පිළිසිඳ ගැනීම නොවේ. නමුත් හදිසියේ හෝ දරුවන් පිළිසිඳගැනීමක් සිදුවුවහොත් එයින් අසරණ වීම හා බලාපොරොත්තු නොවු සිදුවීමනට මුහුණ දීමට සිදු වීම නිසා එන මානසික කම්පනය දරාගැනීමට නොහැකි වන්නට පුළුවන්. මෙය යම් මවක් මානසික වශයෙන් අස්ථාවර වීමටත් හේතුවක්. අඩු වයසින් එනම් වයස අවුරුදු දහ අට සම්පූර්ණ වීමෙන් පසුව විවාහ වුවත් බොහෝ දෙනෙක් දරු පිළිසිඳගැනීමක් පිළිබඳව එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.
මේ වනවිට සෑම කාන්තාවකගේම සිරුර පිළිසිඳ ගැනීමකට සූදානම් වී තිබෙනවා. ඇය මල්වර වන්නේ ඒ නිසයි. නමුත් එසේ සිරුර සූදානම් නොවේ නම් කිසිම විටෙක ඩිම්බ පිටවන්නේ නැහැ. අනෙක් අතින් අඩුවයසින් දරුවන් ලැබීමේ දී තිබෙන සමහර වාසි නම් අම්මා නිරෝගී කාන්තාවක් වීමයි. මේ වයසේ දී ඇයට දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා රෝග ආදී කිසිවක් ඇතිවන්නේ නැහැ. මේ වයසේ දී ඇති ගැටළු වන්නේ නොදැනුවත් බව හා ආර්ථිකමය වශයෙන් ඇති අස්ථාවර බවයි.
ගැටළුව ඇත්තේ සිරුර සම්බන්ධව නොවෙයි. මේ වයසේ දී පිළිසිඳගත්තා කියා සිරුරට කිසිඳු හානියක් සිදුවන්නේ නැහැ. නමුත් ආර්ථික වශයෙන් ස්ථාවර නැතිනම්, පෝෂදායි ආහාර පිළිබඳව ගැටළු මතුවනවා. එමෙන්ම නිසි අධ්‍යාපනය ලබා නොමැති නම් රැකියාවක් සඳහා යාමට හෝ අඩුම වශයෙන් ගර්භණී භාවය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත් අවස්ථාවක් නොලැබී යනවා. මෙම තත්ත්වය, විශේෂයෙන් පෝෂණ ගැටළු අඩු බර දරුවන් බිහිවීමට හේතුවක් වෙනවා. සමහර කාන්තාවන්ට තමන්ගේ ගර්භණී භාවය පිළිබඳව අවබෝධයක් මෙන්ම අවධානයක් නැහැ. ඒ නිසාම සමහර අවස්ථාවලදී ඔවුන් අතින් තමන් වෙනුවෙන් කළයුතු දේ පවා මඟහැරෙනවා.
අපි නිරන්තරයෙන් දැනුවත් කරන මව්පදවිය සම්බන්ධව කළ යුතු කාර්යයන් පිළිබඳව අවබෝධය නොලැබී යාමත් මෙහිදි සිදුවනවා. ව්‍යායාමවල අවශ්‍යතාවය, වතුර හොඳින් පානය කිරීම ආදී වැදගත් කරුණු මඟහැරෙන්නට පුළුවන්. යම් දෙදෙනකුට ඔවුන් කැමති වයසේ දී විවාහ වීම ගැටළුවක් නෙවෙයි. නමුත් මව් පදවිය පිය පදවිය පිළිබඳව පෙර සූදානම වැදගත් වනවා. එමෙන්ම විවාහ වීමට පෙර අඩු වයස් ලිංගික සබධතා සඳහා දරුවන් පෙළබීම වැළැක්වීම සඳහා ඔවුන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම ඉතාම වැදගත් වනවා. එහිදි අනෙකාගේ ලිංගික නිදහස ආරක්‍ෂා කිරීමට, වැරදි ලිංගික පෙළබවීම් වලින් ඈත් වීමට මෙන්ම තමා විසින් තමාව ආරක්‍ෂා කරගැනීමට දරුවා පුහුණු කළ යුතුයි. නිසි අධ්‍යාපනයක් ලැබීමේ වගකීම හා ඉලක්කයක් කරා ජීවිතය මෙහෙය වීමේ වැදගත්කම කුඩා කාලයේ දීම දරුවාට පෙන්වා දීම ඉතාම වැදගත් වනවා.
සටහන චාපා හංසිනි ආටිගල
වෛද්‍ය අශෝක කරුණානන්ද
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
මහනුවර මහ රෝහල