free stats

S.M.P නිශාන්ති
පල්ලෙකැලේ පවුල් සෞඛ්‍ය නිලධාරිනී
පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය

පුංචි සිඟිත්තා මෙලොව එලිය දකින්නට පෙර සිටම ගැබිණි වියේ මව්වරුන් කුසේ සිටින දරු පැටියා ගැන කොතරම් සිහින දකිනවාද. පැටියාට ගැලපෙන ඇඳුම් පැලඳුම්, පැටියාගේ ආරක්ෂාව , ආහාර ගැන මව්වරුන් හරියට හිතනවා. දරුවා සමග ඉදිරියට ගත කරන්න තිබෙන කාර්යබහුල කාලය ගැනත් අම්මලා ජීවිතය ගැනත් අම්මලාට තියෙන්නේ සැකය මුසු සතුටක්. බිළිඳා ඉපදීමෙන් පසුව හරි පරිස්සමින් , ආරක්ෂිතව ඇති දැඩි කරන්නට අම්මයි, තාත්තයි දෙන්නම හුඟක් මහන්සි වෙනවා. අද අපි කතා කරන්නෙ පුංචි පැටියා ඉපදුනාට පස්සෙ ගත කරන අලු‍ත් ජීවිතේ ගැන, ඒ පරිසරය ඇතුලේ අම්මලා බබා වෙනුවෙන් සැලකිලිමත් විය යුතු මූලික කරුණු ගැනයි.

  • අලු‍ත් බිළිඳා සමඟ ගෙවන කාලය හා නව අත්දැකීම්

ඔබේ කැදැල්ලට එක් වූ නව ජන්මියා සමග ඔබටත්, ඔබේ පවුලේ අයටත් අලු‍ත් ජීවිතයක් ලැබෙනවා. මවක් විදියට ඔබේ දවස දැන් වෙනදාට වඩා බොහෝ කාර්යබහුලයි. විශේෂයෙන් මවට මෙය අලු‍ත් අත්දැකීමක් නිසා මුල් කාලයේදී තරමක අපහසුතාවක් , බියක් ඇතිවීම සාමාන්‍යයයි. මේ අලු‍ත උපන් බිලිඳා සමග කාලය ගත කිරීමේදී මව දැන ගෙන තිබිය යුතු කරුණු කාරණා ගණනාවක් තිබෙන බව අප කියන්නෙත් ඒ නිසයි. බිළිඳාට ඇතිවන අපහසුතා , රෝග තත්ව වගේම පැටියාගේ සාමාන්‍ය දිනපතා ජීවන චක්‍රය පිලිබඳවත් මවට මනා අවබෝධයක් තිබිය යුතුයි. ඒ සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා මෙන්ම වෛද්‍යවරුන් ගෙන් ද මවට නිරන්තරව උපදෙස් ලබාගන්න පුළුවන්.

  • ගැලපෙන ළදරු නිෂ්පාදන

අපේ රට උෂ්ණ කලාපීය රටක්. නිතරම වගේ උණුසුම් දේශගුණයක් තමයි තියෙන්නෙ. නුවරඑලිය වගේ නිතරම සීත දේශගුණයක් තියෙන ප්‍රදේශත් අපේ රටේ තියෙනවා. මේ දේශගුණ ආකාර දෙකක් නිසා ඊට ගැලපෙන ඇඳුම් පැලඳුම් භාවිතා කිරීමට අම්මලා සැලකිලිමත් විය යුතුයි. උණුසුම් ප්‍රදේශ වල ජීවත් වන බිලිදුන්ටත්, සීත ප්‍රදේශ වල ජීවත් වන බිලිදුන්ටත් එකම වර්ගයේ ඇඳුම් යොදා ගැනීම උචිත වන්නෙ නැහැ. උෂ්ණ ප්‍රදේශ වල බිළිඳුන්ට ඉපදී මුල් දින කීපය හැරුන විට ඉන් ඉදිරියටත් වූල් වලින් නිපද වූ මේස්, තොප්පි වගේ ශරීරය දැඩි උණුසුමක් ඇති කරන ඇඳුම් පැලඳුම් ඇන්දවීම සුදුසු නැහැ.

         වැහි සහිත කාලගුණයක් පවතින දින වලදී නම් එවැනි වූල් තොප්පි, මේස් හා ඇඳුම් පාවිච්චි කිරීම වඩාත් සුදුසුයි .  සීත ප්‍රදේශ වල බිලිඳුන්ට ෆැනල් හා වූල් වලින් නිමකල ඇඳුම්, කපු රෙදි ඇඳුමට උඩින් ඇන්දවීම මගින් බිළිඳා සීතලෙන් ආරක්ෂා කර ගන්නට පුළුවන් .
  • දරුවාගේ ආරක්ෂාව අලු‍ත් බිළිඳා බැලීමට ඔබේ අසල්වැසියන්, ඥාතීන් නිවසට පැමිණෙනවා. මේ පැමිණෙන පිරිසට පැටියා දැන්ම අතගාන්න , වඩා ගන්න දෙන්න ඕන නැහැ. ඊට හේතුව පුංචි පැටියා ඉක්මනින් බාහිර ආසාදන හා අපහසුතා වලට ගොඳුරු වීමට වැඩි ඉඩකඩක් පවතින නිසායි. නිවසේම සාමාජිකයෙකු වුවත් පිටත සිට පැමිණෙන විට ඇඳුම් මාරු නොකර, අත් නොසෝදා දරුවා ස්පර්ශ කිරීමෙන් වැලකිය යුතුයි. බෝවන රෝග සහිත අය පැටියා සිටින කාමරයට යෑමෙන් වැලකීම ඉතා වැදගත්.
  • නිදිකරවීම
    මවට හැකි සෑම අවස්ථාවකදීම බිළිඳා තම තුරුලේ තබා ගනිමින් නිදි කරවීම වැදගත්. මෙහිදී දරුවා වේගයෙන් එහෙ මෙහෙ සෙලවීම , පැද්දීම නොකල යුතුයි. එමගින් අනවශ්‍ය ලෙස දරුවා ගැස්සීම නිසා මොලයේ සියුම් නහර වලට හානි සිදුවීමට ඉඩ තියෙනවා. නිදිකරවූ පසු දරුවා තැබීමට ගණකම් මෙට්ටයක් භාවිතා කිරීම සුදුසුයි . හිසට කොට්ටා තැබීම අවශ්‍ය වන්නේ නැහැ. කිරි ලබා දීමෙන් පසුව බිලිඳා ඇලයට හරවා නිදි කරවීමත් වැදගත්.

අලු‍ත උපන් පැටියාට ඇතිවන සුලබ ගැටලු‍ කීපයක් තියෙනවා.

  • උදරයට වාතය පිරීම නිසා ඇති වන තත්ත්වයන්, බඩ පිපුම, අසහනයෙන් ඇඹරීම, නිතර නිතර දියර සහිතව මල පහ කිරීම.
  • ඉක්කාව. ඉහත තත්ත්වයන් සියල්ල ඇතිවන්නේ උදරයට වාතය පිරීම හේතුවෙන්. නිවැරදි ස්ථාපිතයක හා සම්බන්ධයට අනුව මව්කිරි දීමෙන් හා දරුවාට ගුඩුස් යැවීමෙන් මෙම තත්වයන් මග හරවා ගත හැකියි.
  • හැඩීම. පුංචි පැටියා තම අවශ්‍යතා හා අපහසුතා මවට පවසන්නේ හැඩීම මගිනුයි. බඩගිනි වූ විට මුත්‍රා හෝ මල පිට වීමේදී , සීතල හා උණුසුම වැඩිවූ විට , යම් ශරීර වේදනාවක් හේතුවෙන් දරුවා හැඩීමට පටන් ගනී. හැඩීමට හේතුව ඉතා පරික්ෂාකාරීව මව සොයා ගත යුතුයි. දිගින් දිගටම දරුවා හඬන්නේ නම් නිශ්චිත හේතුවක් සොයා ගැනීමට මවටද නොහැකි වූයේ නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම අත්‍යවශ්‍යයි.

මල පහවූ සෑම විටම පැටියාගේ ගුදය අවට හා ලිංගික ප්‍රදේශය පිරිසිදු කල යුතුයි. මෙය සිදු කල යුත්තේ ඉහල සිට පහලටයි.

ඉකිලි ප්‍රදේශය නිරතුරුව වියලිව තබා ගැනීමට ක්‍රියා කරන්න. තෙත් ගතිය තිබීමෙන් එම ප්‍රදේශයේ සම රත් පැහැ ගැන්වී ආසාදනය වීමට ඉඩ තිබෙනවා.

භාවිත කල රෙදි සැර රහිත මෘදු බේබි සබන් යොදා තුන් හතර වතාවක් සෝදා තද අව්වෙ වේලා ඉස්ත්‍රික්කයෙන් මැද නැවත පාවිච්චියට ගන්න.

නැපි ඇන්ද වීමේදි නැපියෙන් ආවරණය වන ප්‍රදේශය රත් පැහැ ගැන්වී ආසාදනය වී ඇත්නම් තෙත රෙදි හැකි ඉක්මනින් ඉවත් කරන්න.දරුවා නිදන විට එම ප්‍රදේශයට සුලං වැදීමට සලස්වන්න. ඒ මඟින්ද මේ ⁣තත්වය අඩු නොවේ නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න.

  • පෙකණිය හා එහි ආරක්ෂාව

බිළිඳා සේදීමෙන් පසු පිරිසිදු රෙද්දකින් පෙකනියේ තෙත මාත්තු කර සුලං වැදීමට සලස්වා එය වේලෙන්නට හරින්න. පෙකනිය වැසීම හෝ ආලේපන ගැල්වීමෙන් වලකින්න. නැපිය අන්දවන විට පෙකනිය ආවරණය නොවන පරිදි අන්දවන්න. පෙකනිය හැලීමට දින පහත් දහයත් අතර කාලයක් ගතවෙනවා පෙකනිය වටා ප්‍රදේශය ඉදිමී රතු වී , දුර්ගන්ධයක් හමන්නේ නම් හෝ සැරව ස්‍රාවයන් පිටවන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි.

  • බිළිඳු සමේ ආරක්ෂාව

මුල් කාලයේදි බිළිඳාගේ සමෙහි කිසිවක් ආලේප නොකරන්න. සම වියලි නම් පමණක් වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කරන්න. කිහිලි , ඉකිලි ප්‍රදේශ වල සැරව බිබිලි පවතී නම් දිනපතා ගලා යන ජලයෙන් පිරිසිදු කර වියලිව තබන්න. බිබිලි දහය පහලවකට වැඩියෙන් තිබේ නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතුයි.

  • මව් කිරි හා අතිරේක ආහාර

පැටියා ට මුල් මාස 6 යන තුරු මව් කිරි පමණක් ආහාර ලෙස ලබා දිය යුතුයි. මාස 6 න් පසු අමතර ආහාර හඳුන්වා දිය යුතුයි. මාස 6 වන තෙක් දරුවාට අවශ්‍ය ජලය හා අනෙක් සියලු‍ම පෝෂ්‍ය පදාර්ථ මව් කිරිවලින් සැපයෙනවා. තවද මුල් මාස 6 තුල මව්කිරි දීම තුලින් නව බිලිඳා ලෙඩ රෝග වලින්ද ආරක්ෂා කරගත හැකියි. ඒ සදහා අවශ්‍ය ප්‍රතිදේහ මව්කිරි වලින් ලබා දෙනවා.

  • බිලිඳාගේ නින්ද

නව ජන්මියාට දිනකට පැය 18 නින්දක් අවශ්‍යයි. හැකි සෑම විටම මව් තුරුලේ නිදි කරවීම ඉතා වැදගත් වෙනවා. නැලවිලි ගී කියා දරුවා නිදි කරවීම තුලින් දරුවාගේ මනෝ සමාජීය සංවර්ධනයක්ද සිදු වෙනවා.

මේ කරුණු කාරණා නිවැරදිව අනුගමනය කිරීමෙන් අලු‍ත ඉපදුනු පැටියාගේ ශරීර සුවතාවටත්, සෞඛ්‍යමත් වර්ධනයටත් මනා පිටිවහලක් ආදරණීය අම්මාවරුන්ට ලැබෙනු නොඅනුමානයි.

සටහන කුමුදිකා සපුතන්ත්‍රි