free stats

අද වන විට වෙනවාදාට වඩා වැඩි දරුවන් පිරිසක් කතාව සම්බන්ධව යම් යම් පසුබෑම් පෙන්නුම් කරයි. මේ තත්ත්වයට මූලිකව බලපාන හේතුවක් ලෙස පවුලේ සාමාජිකයන්ගෙන් දරුවාට ලැබෙන සක්‍රීය දායකත්වය අවම වීම දැක්විය හැකියි. කාර්යබහුල ජීවන රටාව සමග දරුවන් සමග ගතකිරීමට දෙමාපියන්ට ලැබෙන කාලය අවම වී ගොස් ඇති අතරම ඒ තත්ත්වය වක්‍රාකාරව දරුවන් කෙරේ බලපෑම් ඇති කරන්නේ මෙවැනි ගැටලූකාරී තත්ත්වයන් මතු කරමිනි. දරුවා ඉතා උද්යෝගයෙන් ක්‍රියාශීලීව ගත කරන අවස්ථාවන්වලදී අඩුම තරමේ පැයක පමණ කාලයක්වත් දරුවා සමග ඒ අවස්ථාවට එක්වන්න මව්පියන් වන ඔබ සැලකිලිමත් විය යුතුයි. දරුවෙකු තම භාෂාව ඉගෙනීම අරඹන්නේ මව්කුස තුළ සිටින කාලයේ සිට වන අතරම මොලොවට බිහිවීමත් සමග මොහොතින් මොහොත ඒ දැනුම වැඩිදියුණු කරගනී.

තම වටපිටාව තුළින් දරුවන් යම් යම් දේ තමා වෙත ග්‍රහණය කරගන්නා ආකාරය පුදුමය දනවන සුලූය. කතාව හා සම්බන්ධයෙන්ද මේ තත්ත්වය මෙසේමය. වටපිටාවෙන් මොහොතින් මොහොත ග්‍රහණය කරගන්නා වචන අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය අයුරින් භාවිත කිරීමට ඕනෑම දරුවෙකුට හැකියාව පවතී. අන්න ඒ නිසාම දරුවෙකුගේ වටපිටාව තුළින් අසන්නට දකින්නට ලැබෙන දේ සැමවිටම දරුවාට උත්තේජනයක් සපයන ආකාරයේ දේවල්ම විය යුතුය. කාටූන් වැනි වැඩසටහන් හරහා කිසිදු විටෙක දරුවෙකුගේ කතන හැකියාවන්ගේ සංවර්ධයක් ඇති වන්නේ නැත.

දරුවෙකුගේ කථන හැකියාව සංවර්ධනය උදෙසා වැදගත් සරල, සක්‍රීය ක්‍රම

දරුවාට සරල බසින් අමතන්න

කුඩා දරුවෙකුට කතා කිරීමේදී භාවිත වන බස සැමවිටම සරල භවිය යුතුය. කතාවේ හෝ භාෂාවේ ඌනතාවයක් නොමැති දරුවෙකුහට එක් භාෂාවක් පමණක්ම කතා කිරීම අනිවාර්ය දෙයක් නොවන අතරම කතාවේ හෝ භාෂාවේ ඌනතා සහිත දරුවෙකු සිටින මව්පියන් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ එවැනි දරුවෙකුට භාෂාවන් කිහිපයක් ඉගැන්වීමට යාම කථන හා භාෂා ඌණතාවය වර්ධනය වීමට හේතුවක් විය හැකි බවයි. ඒ හේතුව මත ඕනෑම දරුවෙකුට මූලිකව එක් භාෂාවකින් කතා කිරීම වඩා උචිතය. දරුවා වයසින් වැඩෙත්ම වෙනත් භාෂාවක් ඉගැන්වීම අපහසු නොවන බව සිහිතබාගන්න.

දරුවා සමග කතා කිරීමේදී කෙටි වාක්‍ය භාවිතයට ගන්න

ඔබ පවසන දේ වචන ගණනාවක් සහිත දීර්ඝ වාක්‍යයක් නම් එය වටහා ගැනීම කුඩා දරුවෙකුට අපහසුය. කෙටි වාක්‍ය යොදාගනිමින් දරුවාට කතා කළ විට භාෂාව වටහා ගැනීමටත් වචන මාලාව පිළිබඳව දැනුවත් වීමටත් අවශ්‍ය තැනට අවශ්‍ය වචනය යෙදීමටත් දරුවා දරුවත් වනු ඇත.

ඔබේ හඬ නිසි අයුරින් පාලනය කරන්න

සැමවිටම ඔබ පවසන වාක්‍යයේ ප්‍රධාන වචනය තීව්‍ර වන අයුරින් කතා කිරීම ඉතා වැදගත් කරුණකි. මිනිස් මොළය වඩා හොඳින් උත්තේජනයට නිසි අයුරින් හඬ පාලනය වීම ඉතා වැදගත් වේ. එබැවින් දරුවා සමග කතාකරන හැම අවස්තාවකදීම මේ කරුණ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න.

ඔබේ හැඟීම් මුහුණේ ඉරියව් තුළින් පෙන්නුම් කරන්න

දරුවා සමග කතා කරන හැම වෙලාවකදීම අදාල අදහසට, හැඟීමට අදාල ඉරියව්ව වෙනස් කරන්න. ඇස් කුඩා කිරීම/විශාල කිරීම/නලල රැලි ගැන්වීම/සිනහව/දුක වැනි හැඟීම් මුහුණේ ඉරියව් සමගින් පෙන්නුම් කරමින් දරුවා සමග කතා කරන්න.

අදාල අවස්ථාවේදී අදාල අංගචලනයන් භාවිත කරන්න

උදාහරණයක් ලෙස ලොකු බෝලයක් ගැන දරුවාට විස්තු කරන අවස්ථාවකදී දෙඅත් විහිදුවා එහි ප්‍රමාණාත්මක බව පෙන්වීමට ඔබට හැකියි.

යම් යම් දේ සහ පින්තූර භාවිතයෙන් දරුවාට කියාදෙන්න

ඔබත් දරුවාත් අතර සිදුවන කතාබහට අදාල රූප යොදා ගන්න ඔබට හැකියි. පින්තූර භාවිතයේදී ත්‍රිමාණ රූප භාවිතය වඩාත් සුදුසුය.

සරල ගීත ගයමින් ඒ සඳහා වූ සරල අංග චලන ඉදිරිපත් කරන්න

දරුවා සමග දරුවාගේ වයසට යමින් ගී ගයමින් රංගනයේ යෙදෙන්න වැඩිහිටි වුවත් ඔබටත් සිදුවනු ඇත. උදාහරණයක් ලෙස “අලියා හොඬවැල පද්දනවා” මේ පද පෙළ සරල අංග චලනයන් සමගින් දරුවාට කියාදෙන්නටත් ඒ සඳහා දරුවා සම්බන්ධ කරගැනීමටත් ඔබට හැකියාව ඇත.

සෙල්ලම් බඩු සමග දරුවාව තනි නොකරන්න

සෙල්ලම් බඩු සමග වුවද සෙල්ලම් කිරීමේදී ඒ සඳහා ඔබේ දායකත්වයත් ලබාදෙන්න. දරුවා සමඟ කතා කරමින් ඔබත් සෙල්ලම් කරන්න.

රූපවාහිනියට හෝ පරිගණක ක්‍රීඩා වෙත දරුවා යොමු කිරීමෙන් වලකින්න

මෙවැනි දේ හරහා කිසිදු ආකාරයක උත්තේජනයක් දරුවෙකුට හිමි වන්නේ නැත. ඒ නිසා බහතෝරන වියේ දරුවන් සමග එක්ව සිටීම ඉතා වැදගත් වනු ඇත. මන්ද දරුවා හා එක්ව ක්‍රියාකාරකම්වල යෙදෙන්න යෙදෙන්න දරුවා භාෂාව ඇතුළු බොහොමයක් දේ ඔබෙන් අවශෝෂණය කරගනු ඇත.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය පුණ්‍යානි බන්දුතිලක මහත්මිය
දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල
කළුබෝවිල

සටහන චාපා හංසිනි ආටිගල