free stats

කාන්තාවක් කියන්නේ සමාජයක් තුළ ඉතාම ස්වාධීන පෞර්ශයක් බව අපි කවුරුත් දන්නවා. ඇය බොහෝ නිර්මාණවල ස්වාධීන හිමිකාරිනියක්. ආදරය, වේදනාව, දුක, දුක නිසා උපන් කඳුළ ඇය විසින් යම් දිනයක බොහෝ නිර්මාණයන්වලට හේතුවක් කරගන්නවා. ඒ වේදනාව, දුක, බිය, සංත්‍රාසය මැදින් ඇය යලිත් නැගිටිනවා. මාතෘත්වයත් ඇයගේ අපූර්ව නිර්මාණයක්.

බුදුන් වහන්සේ වරක් මෙහෙම කියනවා.

මවක් වීමත් මිහිරක්”

ශක්තිමත් ගැහැණියකට දරාගන්න බැරි දේවල් ජීවිතයේ නැහැ. මේ හැමදෙයක්ම දවසක වෙනස් වෙනවා. කිසිම දෙයක් සදාකාලික නැහැ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. අද දවසෙදි ඔබ විදවන ජීවිතය හෙට දවසෙදි ඔබට පන්නරයක් වෙනවා. අම්මා කෙනෙක් වෙන්න ඔබට පුළුවන් නම්, අනෙක් ජීවිතයක වගකීම දරාගන්න ඔබට පුළුවන් නම් අද දවසේ ජීවිතය තුළ ඇතිවන නැතිවන සියල්ලේ වගකීම දරාගන්නත් පුළුවන්. අද දවසේ ඔබ ප්‍රතික්‍ෂෙ වෙනවා නම්, වේදනාවට පත්වෙනවා නම්, තනිවෙනවා නම් ඒ මොහොත ඔබව සොයාගන්න අවස්ථාවක් කරගන්න.

ඒ මොහොත තමයි ඔබට ඔබව හමුවෙන තැන
තනියම නැගිටින්න පුළුවන් කියලා මතක් කරලා දෙන තැන
ඒක තමයි ඔබට දරාගැනීම හුරුකරන තැන
හිත හයිය වෙන තැන
කොටින්ම කිව්වොත් ඔබ ගොඩයන තැන

ජීවත් වීමෙදි අපිට තියෙන ලොකුම බය තමයි තනිවෙන්න තියෙන බය. මේ නිසාම අපි කාගෙහරි ඇගෙ එල්ලිලා ඉන්නවා. කාට හරි බයෙන් යටත් වෙලා ඉන්නවා, ඇනුම් පද බැනුම් ඉවසනවා. තනිවෙන්න තියෙන බය නිසා. නමුත් තනිවෙන්න බය වෙන්න එපා. ඒක ඔබට උරුම දෙයක්. මහගම සේකර මහත්මයා “ප්‍රබුද්ධ” කවි පොතේ එක තැනක කියනවා

දෙනෝදහසක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ”

කියලා.

ලෝකේ සාර්ථක වුණු හුඟක් මිනිස්සු වැඩ කලේ තනියම. ඒ අයට ඕන වුණා තනිවෙන්න. මිනිස්සුන්ට ඇබ්බැහි වීම තමයි මේ ලෝකේ තියෙන නරකම දේ. ඒ නිසා කාටහරි ඇබ්බැහි වෙන එක නවත්තන්න. ඒ වගේම පුද්ගලිකත්ව ආරක්‍ෂා කරගන්න. ඒක තමයි ඔබට තිබෙන ලොකුම හයිය. ඔබේ පුද්ගලිකත්වය සමාජයට නිරාවරණය නොවන තුරු ඔබ ආරක්‍ෂිතයි. පවුල ඇතු-ලේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. සැමියා එක්ක අදහස් මතවාදවලදී ගැටෙනවා වෙන්න පුළුවන්. සැමියාගේ පවුලේ අය එක්ක ප්‍රශ්න ඇතිවෙනවා වෙන්න පුළුවන්. උත්තරය ඔබම හොයාගන්න. ඔබේ ප්‍රශ්න කාත් එක්කවත් බෙදාගන්න යන්න එපා.

විසඳාගන්න අමාරුම ප්‍රශ්නයක් නම් මනෝ උපදේශනයට යොමු වෙන්න. ඔබ මනෝ උපදේශනයට යොමුවෙන්නේ මානසික ලෙඩක් තියෙන නිසා නෙවෙයි. ඔබ එයට යොමුවිය යුත්තේ ඔබේ ගැටළුවට රහස්‍යභාවය සහිතව පිළිතුරක් අවශ්‍ය නිසයි. ඒ වගේම ඔබ මනෝ උපදේශනයට යොමුවුණු බව කවුරුත් දැනගන්න ඕන නැහැ. සැමියා එක්ක කතා කරන්න. ප්‍රශ්නයක් වුණා නම් ඒ ප්‍රශ්නය විසඳාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. එයා කැමති අකමැති දේවල් ගැන කතා කරන්න. එයා අකමැති දේවල් ඔයා කරනවා නම් ඒවා කරන්නේ ඔබට යම් යහපත් ප්‍රතිලාභයක් තියෙන නිසානම් ඒ ගැන එයා එක්ක කතා කරලා පැහැදිලි කිරීමක් කරන්න.

ආදරය කරන කෙනෙකුට ඇහුම්කන් දුන්නා කියලා ඔබේ ස්වාධීනත්වයට හානියක් වෙන්නේ නැහැ. ඔබට ඔබව නැතිවෙන්නේ නැහැ. තනිකම සුන්දර වුණාට තනියම තීරණ ගන්න එක සුන්දර නැහැ. එයින් එක් පාර්ශවයක් අසරණ වෙන්න පුළුවන්. ඒ නිසා කතාබහ කරන්න. තීරණ ගැන සාකච්ඡා කරන්න. මුලින් සඳහන් කලා වගේ ජීවිතයේ මිහිරිතම අභියෝග තිබෙන්නේ ඉදිරියට. ඒවට මුහුණ දෙන්න තරම් ශක්තිමත් වෙන්නේ දැන් ඔබට ඇතිවන ප්‍රශ්න. ඔබ ඒවාට මුහුණ දෙන ආකාරය. අපි මෙයට පෙර ලිපියකිනුත් මේ බව අනාවරණය කළා. සමාව දීලා අතෑරලා දාන්න ඔබට පුළුවන් නම් බොහෝ ප්‍රශ්න විසඳාගන්න ඒ වගේම සිත් රිදීම් මඟහරවා ගන්න පුළුවන්.

ඔබේ සාර්ථකබව පිළිබඳව වගකීම අදම ඔබේ අතට ගන්න. කිසිම කෙනෙකුට ඔබව නවත්වන්න බැහැ. නවතිනවාද නැද්ද කියන තීරණය තිබෙන්නේ ඔබේ අතේ. ඒ නිසා ශක්තිමත් වෙන්න. හොඳ බිරිඳක් හොඳ මවක් හොඳ මිතුරියක් වීමේ අත්තිවාරම දාන්න අදම පටන්ගන්න. හොඳින් ඉගෙන ගන්න. ඒක ඔබේ ස්වාධිනත්වයට රුකුලක්. ඔබට හොඳ අධ්‍යාපනයක් තියෙනවා නම් ඔබ ස්වාධීන ගැහැණියක්. කිසිවකුට යටත් කළ නොහැකි ශක්තිමත් චරිතයක්. ඉතින් ඔබට ගොඩනැගෙන්න තවත් පහසුයි.

නිහඬ වෙන්න. ඔබේ අදහස්වලට වටිනාකමක් දෙන්න උවමනා කරන තැන්වල ඒ අදහස්වලට ඉඩක් දෙන්න පුළුවන්. නමුත් හැම තැනක්ම හැම ඉඩක්ම ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ ඔබට ආfවිණික වෙන්න. අනිත් අය කොපි කරන මිනිස්සු අතරේ ඔබ මුල් පිටපතක් වෙන්න. හැම අම්මා කෙනෙක්ම එක වගේ නැහැ. හැම බිරිඳක්ම එකවගේ නැහැ. තවත් බිරිඳක් තවත් අම්මා කෙනෙක් වගේ වෙන්න උත්සහ කරන තැනම ඔබ අසීරුවට පත්වෙනවා. ඒක ඔබට අතිරේක මානසික බරක් වෙනවා. ඒ නිසා ඔබ ඔබම වෙන්න.

2017 වසරේ ජාත්‍යන්තර ෆෝර්බ්ස් සඟරාවට අනුව ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ හතරවන ස්ථානය දිනාගත් කළු ජාතික ජනප්‍රිය නිවේදිකා ඔෆ්රා වින්ප්‍රේ මෙහෙම කියනවා….

අන් අයගේ අදහස් හා විවේචන තුළින් නොව, අන් අය අනුකරණයෙන් නොව ඔබ ඔබම වෙමින් ඔබ තුළින් ලෝකය දකින්න. එය ඔබේ ආත්ම අභිමානයයි……..”

ඉතින් ඔබ ඔබම වෙන්න. ඔබට ආවේණික වෙන්න. විලාසිතාවක් කළත්, නිර්මාණයක් කළත්, ඔබ ඔබම වෙන්න….

විවේක වෙලාව හොඳ පොතක් කියවන්න චිත්‍රපටයක් බලන්න වෙන්කරන්න. සුරතල් සතෙක් ඇතිකරන්න. ගෙදර කුරුළු ලෑල්ලක් හදලා කෑම ටිකක් සතුන්ට වෙන්කරන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න උත්සහ කරන්න. ඔබට තනියම සතුටු වෙන්න මේ දෙවල් ප්‍රමාණවත්. අද දවසේ මුහුණ දෙන හැම අත්දැකීමක්ම හෙට දවසේ පන්නරය වන බව හොඳින් මතකයේ තියාගන්න.

සටහන චාපා හංසිනි ආටිගල