free stats

– මහාචාර්ය කාලෝ ෆොන්සේකා

අනාදිමත් කාලයේ පිරිමියා ගැහැණිය දේවත්වයට ආරූඪ කළේ ඔහුට කිසිසේත් කළ නොහැකි කාර්යක් ඇයට කළ හැකි වූ බැවිනි. එය තම වර්ගයේ නව මිනිස් පැටවකු මිනිස් සංහතියට දායාද කිරීමේ හැකියාවකි. බැලූ බැල්මට මිනිස් පැටවා බිහි වන්නේ හුදෙක් ම ගැහැණියකගේ අනුභාවයෙනි. ඒ ප‍්‍රාතිහාර්යය බඳු සංසිද්ධිය සඳහා පිරිමියාගෙන් සිදු වූ අනිවාර්ය කාර්යභාරය අවබෝධ කරගැනීමට අත්‍යවශ්‍ය ඥාන ශක්තිය හා තීක්ෂ්ණ බුද්ධි මහිමය සමස්ත පිරිමි පැලැන්තියට එදා නොතිබුණා සේ ය. පිරිමි ගැහැනු සංසර්ගය හා ඊට දස මසකට පසු ව සිදු වන දරු උපත අතර හේතුඵල සම්බන්ධතාව අවබෝධ කරගැනීමේ තර්ක ශක්තිය ආදි පිරිමින්ට තිබුණේ නැතිවා සේ ය. ඒ සෑම සංසර්ග ක‍්‍රියාවලියකට ම පසු ව දරු උපතක් සිදු වූයේ නැති බැවිනි. එහෙයින් දරු උපතක් සඳහා සංසර්ග ක‍්‍රියාවලියේ තීරණාත්මක දායකත්වය අනිවාර්ය බව අනාදිමත් කාලයේ සිටි පිරිමින්ට අවබෝධයක් නැත. එහෙත් සංසර්ගයකන් තොරව දරු උපතක කිසි විටෙක සිදු නොවන බව සෑම සරු වැඩිහිටිි ගැහැණියකගේම ජීවන අත්දැකීම වූ බැවින් දරු උපතකට සරු පිරිිමියෙක්ගේ තීරණයක වැදගතක්ම ඔවුන් දැන සිටිි බවට සැක නැත.

මේ  ප‍්‍රජනන සංසිද්ධියේ සංකීර්ණභාවය නිසා ජනිත වූ සැකයේ වාසිය ගැහැනුන්ට හිමි විය. මිනිස් පැටවුන් බිහි කිරීමේ ශක්‍යතාව සතු වන්නේ තනි ව ම තම ස්ත‍්‍රී වර්ගයාට පමණක් ය යන මිත්‍යාව සමාජයේ පැතිරිණි. ඒ නිසා ම ගැහැනිය දේවත්වයෙන් සැලකිය යුතු ය, යන අදහස මුල් මිනිස් සමාජවල පැලපදියම් විය.

වර්තමාන යුගයේ දිත් එවැනි මිත්‍යා පදනම් කරගෙන නොවුණත් මාතෘත්වයට සුවිශේෂ සැලකීමක් හිමි වීම යුක්ති යුක්ත ය කියා 1948 වසරේ දී සම්මත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තියේ පවා සඳහන් ව ඇත. ඒ නිසා ප‍්‍රජනන ක‍්‍රියාවලිය සඳහා පිරිමියකුට වඩා ගැහැනිය වැදගත් ය, යන ගැඹුරු සත්‍යය තහවුරු වී තිබේ. ස්වාමිපුරුෂයකු වශයෙන් ප‍්‍රජනන ක‍්‍රියාවලිය සඳහා පිරිමියකු අවශ්‍ය ම නැත; අත්‍යවශ්‍ය වන්නේ ශූක‍්‍රාණු දානපතියකු පමණි. එහෙයින් මාතෘත්වය පිළිබඳ ව මා සිත තුළ ඇත්තේ අනාදිමත් කාලේ විසූ පිරිමින් තුළ තිබූ ගෞරවයට නොදෙවෙනි ගෞරවයකි. මගේ ඒ ගෞරවාදරය නිරායාසයෙන් ප‍්‍රකාශ වූයේ මගේ මෑණියන්ට මා පිදු ගී කුසුමකිනි. එහි පදමාලාව මෙසේ ය:

පදාර්ථයට පණ කවා 
කුසෙහි සගවලා 
කෙමෙන් පෙමින් මා අඹා 
ලොවට බිහි කළා

මගේ මෑණියනේ 
දුකින් පිරි ලොවේ 
මා නිබඳ දන්නා 
නිවන ඔබ ම වේ.

මාතා යතා නියං පුත්තං
කියා මා ගයන ගාතා 
ඔබට නිසි ම වේ.”

යන ගීතයේ පදමාලාව සහ තනුව මා සිත තුළ ජනිත වූයේ නිරායාසයෙනි. අනතුරු ව ඊට ඉතා අලංකාර ආරම්භක,  අතුරු සහ සමාප්ත වාද්‍ය ඛණ්ඩ යොදා සකස් කරන ලද්දේ  තිස්සසිරි පෙරේරා නම් වූ සංගීතවේදියා විසිනි. මා අපේක්ෂා කළ අයුරින් ම එය ප‍්‍රශස්ත ලෙස ගායනා කරන ලද්දේ මා හිතාදර  අසහාය ගායක එඞ්වඞ් ජයකොඩි විසින් බව සඳහන් කරන්නේ  කෘතඥතා පූර්වක භක්ත්‍යාදරයෙනි. අනුනට උපකාර කරන එවැනි පුතුන් මෙලොවට බිහි කළ ඔවුනගේ මෑණිවරුන්ට ද මගේ ගෞරවය පිරිනමන්නේ මාතෘත්වයට කෙරෙන තවත් ප‍්‍රශස්තියක් වශයෙනි.