දරුවකුගේ බොහොමයක් ජීවන කුසලතා හැඩ ගැස්වෙන්නේ ක්‍රියාකාරකම් තුලිනි. උපතේ සිට දරුවකු පසු කර යන විවිධ වර්ධන පියවර සලකා බැලූ විට දරුවකුගේ ජීවිතය කෙතරම් දුරට ක්‍රියාකාරකම් හා බද්ධව පවතිනවාද යන්න නොරහසකි. ක්‍රියාකාරකම් හරහා ජීවිතයේ කායික, මානසික සේම චර්යාත්මක සංවර්ධනය දරුවකු හට ලබා දීම අසීරු කාරණයක් නොවේ.
දරුවකුගේ හැසිරීම් රටාව ගත් කල උපතේ සිට ජානමය හා ප්රවේණිගතව පවුල් සංස්ථා හරහා එන චර්යාවන් මෙන්ම වර්ධනය සමග සමාජීයව මෙන්ම පාරිසරික ව ලැබෙන අත්දැකීම් ඔස්සේ එන විවිධ චර්යාවන් තිබෙන බව පෙනීයයි. මේවා සැමවිටම සුභවාදී කෝණයකින් බැලිය හැකි මට්ටමේ ඒවා නොවීමට ඉඩකඩ ඇත. ඉතින් වැඩිහිටි ඔබද දරුවකුගේ චර්යා සංවර්ධනය ට ඔබගේ දායකත්වය ද අතිමහත් ලෙස බලපාන බව සිහියේ තබා ගත යුතුයි.
මෙම ලිපිය ඔස්සේ මතුකර පැහැදිලි කිරීමට යන කරුණ වන්නේ දරුවකුගේ චර්යා සංවර්ධනයට ක්‍රියාකාරකම් යොදාගන්නේ කෙසේද යන්නයි. මෙහිදී යහපත් චර්යා වඩ වඩාත් ඔප් නැංවීමට මෙන්ම අයහපත් චර්යා අධෛර්යමත් කර දරුවාගෙන් බැහැර කිරීම යන කාරණා දෙකම සැලකිල්ලට ගනු ලැබෙයි.
දරුවෙකුගේ යහපත් චර්යාවන් උදාහරණ ලෙස ගෙන පැහැදිලි කිරිම අනවශ්‍ය වුවත් , යම්තාක් දුරට වටහා ගැනීමේ පහසුව වෙනුවෙන් මෙසේ සටහන් කල හැක. එකිනෙකා සමග ද්‍රව්‍ය හුවමාරු කරගනිමින් කටයුතු කිරීම, අනෙකෙකු සමග මිත්‍රශීලී ව කටයුතු කිරීම, සම වයසක සිටින දරුවකු හට හැකි අන්දමින් සහය වීම ආදිය උදාහරණ ලෙස සඳහන් කළ හැක. මෙවැනි යහපත් චර්යා සාර්ථකව ජීවිතයට එකතු කරගන්නා දරුවා නිතර ප්‍රශංසාවට ලක්විය යුතු අතර එම චර්යාවන් තවදුරටත් ඔප් නැංවෙන ක්‍රියාකාරකම් වල යෙදවිය යුතු වේ. ඒ සඳහා සාමූහික/කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉතාම සුදුසු වේ. දරුවකු තනිව ක්‍රීඩා හෝ ක්‍රියාකාරකම් වල යෙදවීම මගින් දරුවාගේ තනි කුසලතා වර්ධනය වන නමුත් සාමූහික ක්‍රියාකාරකම් මගින් අන්තර් පුද්ගල සම්බන්ධතා මෙන්ම සමාජීය ක්‍රියාකාරකම් වැඩි දියුණු කළ හැක. එමෙන්ම අනුකරණය ද මෙහිදී සුබදායී ලෙස භාවිතා කල හැක.
දෙමවුපියන් වශයෙන් බොහොමයක් විට දරුවාගේ යහපත් චර්යාවන් ට අවධානය අඩුවන හේතුව එය සාමාන්‍ය කරණය වී තිබීමයි. නමුත් දරුවාගේ ඕනෑම යහපත් චර්යාවක්ම අඩුම තරමේ ප්‍රශංසාවකින් හෝ දිරිගැන්වීමකින් (අත්පොළසන් දීම, mbs up වැනි දේ) අගය කළ යුතුය.
දෙමවුපියන් බොහෝ විට ගැටලු මතුකරනුයේ දරුවන් වෙතින් හමුවන අයහපත් චර්යාවන් ය. මෙවැනි අයහපත් චර්යාවන් රාශියක් දරුවන් තුළ හමුවිය හැකි අතර එම හැම චර්යාවක්ම හැම දරුවකු වෙතම නොපවතින බවත්, බොහෝ අයහපත් හැසිරීම් ඉතා පහසුවෙන් මග හරවා ගත හැකි බවත් අවධාරණය කල යුතුය.
කුඩා දරුවන් කලහකාරී වීම, අන් දරුවන් සමග මුසු නොවීම, සෙල්ලම්බඩු ආදිය බෙදාගෙන ක්‍රීඩා නොකිරීම, අදහස් හුවමාරු කර නොගැනීම, අන් කෙනෙකුට ඉඩ නොදීම වැනි බොහෝ ගැටලුකාරී හැසිරීම් දෙමවුපියන් සහ මූලික අධ්‍යාපන ක්රියාවලියෙහි යෙදෙන ගුරුභවතුන් අත්විඳින සුලබ කාරණා වේ.
මෙම බොහෝ කාරණාවලට හේතුපාදක වන්නාවූ කාරණා එකක් හෝ කිහිපයක් තිබිය හැකි අතර විසඳුම් සෙවීමේදී එම හේතූන් මනාව වටහා ගැනීම ඉතා වැදගත් ය.
කෙසේ වුවත් ක්‍රියාකාරකම් ආශ්රයෙන් දරුවකුගේ අහිතකර හැසිරීම් රටා මගහරවා ගැනීම පහසු කාර්යයකි. එයට අවශ්‍ය වනුයේ වැඩිහිටියන් ගේ නිර්මාණශීලී මනස සහ දරුවා පිළිබඳ සහකම්පනයයි.
ක්‍රියාකාරකම් ගැන පැහැදිලි කිරීමේදී දරුවකුගේ අයහපත් චර්යාවන් මැඩ පවත්වන්නට සහ ඒවා අධෛර්යමත් කොට ඉවත් කරන්නට තනි සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් දෙවර්ගයම වැදගත් වේ.
තනි ක්‍රියාකාරකම් යනු දරුවා වෙන්ව රැගෙන කළ හැකි ක්‍රියාකාරකම්ය. මෙහිදී අයහපත් හැසිරීම්වලින් දරුවාගේ අවධානය ඉවත් කරන්නට සමත් වන ක්‍රියාකාරකම් තෝරාගත යුතු වේ. මෙය දරුවාගෙන් දරුවාට වෙනස්විය හැක. නමුත් අවබෝධ කරගැනීමේ පහසුව සහ යම් අදහසක් මනසට ගානීමෙහිලා එබඳු ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ.
- චිත්‍ර ඇඳීම
දරුවාට යහපත් චර්යා මතුකර දිය හැකි අන්දමේ මාතෘකාවක් තෝරාදීම, එසේත් නැතිනම් දරුවා ගේ රුචිකත්වයට අනුව නිදහසේ අඳින්නට ඉඩ දීම, දරුවාගේ චිත්‍ර ගැන ඔහු/ ඇය සමග කතාකිරීම, අගය කිරීම්, ප්‍රසංශා කිරීම, චිත්‍රය ඔස්සේ හැඟීම් වටහා ගැනීම ආදිය
- නිර්මාණාත්මක ක්‍රියාකාරකම්
කොලාජ්, ඔරිගාමි, අත්කම් භාණ්ඩ . මේ මගින්ද දරුවා සිය හැඟීම් සහ අවශ්‍යතා මෙන්ම ආතතීන් ද නිදහසේ ප්‍රකාශ කරයි
- කතන්දර කියාදීම
Social stories ක්‍රමය මෙහිදී ඉතා වැදගත් ය. දරුවාගෙන් ඉවත් කල යුතු හැසිරීම් යටපත් කරගන්නට සහ හොඳ චර්යා මතුකර දෙන අන්දමේ රූප කථාවන් ලෙස මේවා නිර්මාණය කල යුතු වේ.
- කණ්ඩායම් ක්‍රියාකාරකම්
මේ තුලින් පෙරකී අන්දමට දරුවා අන්තර්පුද්ගල ක්‍රියාකාරිත්වයෙන් බොහෝ දියුණු වේ. දරුවාට සෙසු දරුවන් සමග මුසු වන්නට ඉඩ ලබා දිය යුතුය. සෙල්ලම් ගෙවල්, කණ්ඩායම් ක්‍රීඩාවන් ආදිය මේ සඳහා උදාහරණ වේ.
මීට අමතරව දරුවාගේ අවශ්‍යතාවය සහ ගැටලුකාරී තත්වයට අනුව දරුවාටම ගැලපෙන අන්දමේ ක්‍රියාකාරකම් මාලාවක් ඔබට ඔබේ වෘත්තීය චිකිත්සක නිලධාරියා වෙතින් ලබාගත හැක.මෙම ලිපිය දරුවන්ට අදාල පොදු කරුණු ගැන පමණක් ඔබ දැනුවත් කරන්නට සම්පාදනය කරන්නක් බව කරුණාවෙන් සලකන්න.
දරුවකුගේ ළමා ජීවිතය ගත්කල එය යාන්ත්‍රික ජීවිතයක් බවට පත් නොකර සජීවී ක්‍රියාකාරකම් වලින් සපිරුණු එකක් බවට පත්කල හොත් බොහෝ නිසරු අවැදගත් චර්යාවන් ගෙන් දරුවා මුදාගත හැකි අතර ඒ වෙනුවට යහපත් සහ පිළිගත හැකි චර්යාවන් ආදේශ කර දිය හැක.
කිත්මා වාසනා දහනායක
වෘත්තීය චිකිත්සක (ආචාර්ය)
භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය
ජාතික රෝහල
කොළඹ